Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | විවාහය

විවාහය දෙකඩ කරන්න ඊර්ෂ්‍යාවට ඉඩ දෙන්න එපා!

විවාහය දෙකඩ කරන්න ඊර්ෂ්‍යාවට ඉඩ දෙන්න එපා!

 ඔයාගේ සැමියා ගැන නැත්නම් බිරිඳ ගැන ඔයාගේ හිතේ සැකයක් තියෙනවා නම්, එයා ගැන විශ්වාසයක් නැත්නම් විවාහ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න අමාරුයි. ඒ නිසා ඊර්ෂ්‍යාවට ඔයාලා අතරට රිංගන්න ඉඩ දෙන්න එපා. ඒත් කොහොමද ඒක කරන්නේ?

මේ ලිපියෙන්

 ඊර්ෂ්‍යාව කියන්නේ මොකක්ද?

 “ඊර්ෂ්‍යාව” කියන වචනේ අදහස එක එක තත්වයන්වලට අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ ලිපියේ කතා කරන්නේ විවාහ වුණ කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් ඊර්ෂ්‍යාව ගැනයි. සමහරවිට ඔයාගේ සැමියා ගැන නැත්නම් බිරිඳ ගැන තව කෙනෙක් ඕනෑවට වඩා උනන්දු වෙනවා ඇති. එහෙම නැත්නම් ඔයාගේ සැමියා නැත්නම් බිරිඳ තව කෙනෙක් ගැන ඕනෑවට වඩා උනන්දු වෙනවා ඇති. ඒ වගේ වෙලාවට නම් ඊර්ෂ්‍යාවක් දැනෙන එක සාමාන්‍යයි. ඇත්තටම කිව්වොත් ඒ වගේ දෙයක් වුණාම ඊර්ෂ්‍යා කරන්න ඔයාට අයිතියක් තියෙනවා. මොකද විවාහය කියන්නේ දෙන්නෙක් අතර ඇති වෙන කිට්ටුම බැඳීමයි. ඒ නිසා ඒ බැඳීම ආරක්ෂා කරගන්න එයාලා එයාලට පුළුවන් හැම දේම කරනවා.

 බයිබල් ප්‍රතිපත්තිය: “එසේ ඔවුන් එතැන් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙකු මෙන් වෙනවා. දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.”—මතෙව් 19:6.

 “ඉරිසියාව කියන්නේ ගින්නක් ඇති වෙද්දී අනතුරු අඟවන එලාම් එකක් වගේ. මොකද ඉරිසියාවක් දැනෙද්දී කෙනෙක්ට ඉඟියක් ලැබෙනවා එයාගේ විවාහ ජීවිතේට අනතුරක් වෙන්න යනවා කියලා. ඒ නිසා එයාට පුළුවන් ඒ වෙනුවෙන් ඉක්මන් පියවර ගන්න.”බෙන්ජමින්.

 හැබැයි කිසිම පදනමක් නැතුව ඊර්ෂ්‍යා කරන එකෙන් වෙන්නේ අනිත් කෙනා ගැන අපි අනවශ්‍ය විදිහට සැක කරන එකයි. එහෙම නැත්නම් නැති ප්‍රශ්නයක් මවාගෙන බොරුවට බය වෙන එකයි. හැබැයි ඔයා ඔයාගේ විවාහ සහකරුට ඇත්තටම ආදරේ නම් ඒ වගේ දේකට ඔයා කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ. (1 කොරින්ති 13:4, 7) මහාචාර්ය රොබට් එල්. ලේහි කියන දේ බලන්න. “බොරු හේතු මවාගෙන ඉරිසියා කරන එකෙන් වෙන්නේ ඔයාම රැකගන්න දඟලන ඔයාගේ විවාහ බැඳීම ඔයාගෙම අතින් කඩලා දාන එකයි.” a

 අනවශ්‍ය විදිහට ඊර්ෂ්‍යා කරන්න පෙලඹෙන්නේ ඇයි?

 ඔයා කලින් විවාහ වෙලා හිටපු කෙනා ඔයාට ද්‍රෝහි වෙලා තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයාගේ අම්මා හරි තාත්තා හරි අනිත් කෙනාට ද්‍රෝහි වෙලා තියෙනවා නම් ඒ වගේ ඊර්ෂ්‍යාවක්, බයක් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

 “මං පොඩි කාලේ මගේ තාත්තා අම්මාව දාලා වෙන කෙනෙක් එක්ක ගියා. ඒ සිද්ධියෙන් පස්සේ මං කිසිම කෙනෙක්ව විශ්වාස කළේ නෑ. ඒක මගේ විවාහ ජීවිතේටත් බලපෑවා. සමහර වෙලාවට මට මගේ මහත්තයා ගැනත් සැක හිතුණා.”මෙලීසා.

 තවත් හේතුවක්: ඔයා ඔයාවම අඩු තක්සේරු කරගන්නවා නම්, ඔයා කොයි වෙලාවෙත් ඉන්නේ සැකයෙන් නම් ඔයාට හිතෙන්න පුළුවන් ඕනම කෙනෙක් ඔයාගේ විවාහයට තර්ජනයක් කියලා. සමහරවිට හැම තිස්සේම ඔයා ඔයාටම කියාගනියි ‘කොයි වෙලේක හරි මගේ මහත්තයා නැත්නම් නෝනා වෙන කෙනෙක් එක්ක පැනලා යයි’ කියලා.

 “මහත්තයාගේ යාළුවෙක් දවසක් මහත්තයාගෙන් ඇහුවා එයාගේ වෙඩින් එකේ දෙවෙනි මනමාලයාට එනවාද කියලා. එහෙම ගියොත් ඉතිං මහත්තයාට දෙවෙනි මනමාලිගේ ළඟින්ම ඉන්න වෙනවානේ. මං ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. ඒ නිසා මං මහත්තයාට කිව්වා බෑ කියන්න කියලා.”නයෝමි.

 විවාහ චාරිත්‍ර වාරිත්‍ර රටින් රටට වෙනස්. ඒ නිසා ක්‍රිස්තියානීන් විදිහට අපි හැම තිස්සේම බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට අනුව වැඩ කරන්න ඕනේ. එහෙම බලද්දී නයෝමි හිතපු විදිහ හරි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි පස්සේ නයෝමිට හිතුණා ඒ වගේ ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න කිසිම පදනමක් නැහැ කියලා. බලන්න එයා කියන දේ. “සමහර වෙලාවට මගේ හිතට ලොකු බයක් දැනෙනවා. මට හිතෙනවා මගේ මහත්තයා අනිත් ගෑනු අයත් එක්ක මාව සන්සන්දනය කරනවා කියලා. හැබැයි මං දන්නවා ඒ ඔක්කොම මං හිතින් මවාගත්ත මනස්ගාත විතරයි කියලා.”

 ඒ මොනවා වුණත් ඊර්ෂ්‍යාව කියන්නේ හරිම භයානක දෙයක්. මොකද ඔයාගේ සැමියාට නැත්නම් බිරිඳට වෙන කෙනෙක් එක්ක සම්බන්ධකමක් තියෙනවා කියලා ඔයාගේ හිතේ සැක ඇති කරන්න ඒකට පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ දෙයක් කියලා එයාට චෝදනා කරන්න වුණත් ඔයා පෙලඹෙන්න පුළුවන්. මොකක්ද ප්‍රතිඵලය? ඒකෙන් ඔයාගේ විවාහ ජීවිතේ ගොඩක් ප්‍රශ්න ඇති වෙයි. ඒ විතරක් නෙවෙයි ඒ ගැන හිතලා ඔයා ලෙඩ වෙයි.

 බයිබල් ප්‍රතිපත්තිය: “ඊර්ෂ්‍යාව පිළිකාවක් වගේ.”—හිතෝපදේශ 14:30, Easy-to-Read Version.

 ඊර්ෂ්‍යාව පාලනය කරගන්නේ කොහොමද?

 විශ්වාසය වැඩි කරගන්න. ඔයාගේ හිතේ සැක ඇති වෙන හේතු ගැන හිතනවා වෙනුවට දැනටමත් ඔයාගේ බිරිඳ, සැමියා ඔයාට විශ්වාසවන්තයි කියලා පෙන්නලා තියෙන විදි ගැන හිතන්න.

 “මං මහත්තයාගේ හොඳ ගුණාංග ගැන හිතන්න පටන්ගත්තා. එයා කවුරු හරි කෙනෙක් ගැන සැලකිලිමත් වෙන්නේ ඇත්තටම ඒ කෙනාට උදව් කරන්න ඕනෙ නිසා. නැතුව නරක අදහසකින් නෙවෙයි. අනික මගේ අම්මලාගේ කසාදේ කැඩුණා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නෑනේ මටත් ඒකම වෙයි කියලා.”මෙලීසා.

 බයිබල් ප්‍රතිපත්තිය: ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා සියල්ල විශ්වාස කරයි.’—1 කොරින්ති 13:4, 7.

 සැකය දිහා සැකයෙන් බලන්න. කලින් සඳහන් කරපු මහාචාර්ය ලේහි මෙහෙම කියනවා. “සාමාන්‍යයෙන් මොනවා හරි දෙයක් අපේ හිතට ආවොත් අපි හිතනවා ඒක තමයි ඇත්ත කියලා. සමහරු කියනවා ‘මට කෙනෙක් හැරෙද්දී කියන්න පුළුවන් එයා මොකටද එන්නේ කියලා.’ ඉතින් ඒක සාක්ෂියක් කරගෙන තමන් හිතන දේ තමයි හරියටම හරි කියලා එයාලා තීරණය කරනවා. හැබැයි දෙයක් හිතුණා කියලා ඒක හැම වෙලේම ඇත්ත වෙන්නේ නෑ. ඒ වගේම තමන් හිතන දේ හැම වෙලේම හරි යනවා කියලා හිතලා තව කෙනෙක්ව සැක කරන එකත් සාධාරණ නෑ.” b

 “මොකක් හරි දෙයක් වුණාම නිගමනයකට එන්න ඉක්මන් වෙනවා කියන්නේ ප්‍රශ්න නැතුවට ප්‍රශ්න දාගන්නවා වගේ වැඩක්.”නාඩීන්.

 බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි.”—ෆිලිප්පි 4:5.

 ඔයාට හැඟෙන විදිහ ගැන කතා කරන්න. ඔයාට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න හේතුව මොකක් වුණත් ඒ ගැන ඔයා විවාහ වුණ කෙනාත් එක්ක කතා කරන්න. ඊටපස්සේ දෙන්නාටම පුළුවන් එකඟතාවකට ඇවිල්ලා එක් එක් කෙනා වැඩ කරන්න ඕනෙ විදිහ ගැන සාධාරණ සීමා දාගන්න.

 “ඔයා ඔයාගේ මහත්තයා එක්ක නැත්නම් නෝනාත් එක්ක කතා කරන්න යන්න ඕනෙ එයා ඔයාව හිතාමතාම රිද්දනවා කියලා හිතාගෙන නෙවෙයි. ඒ වෙනුවට ඔයාව සතුටින් තියන්න එයාගේ හිතෙත් ලොකු ආසාවක් තියෙනවා කියලා විශ්වාස කරන්න. සමහරවිට ඔයා පුංචි පුංචි දේවල්වලට ටක් ගාලා හිත රිද්දගන්න කෙනෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් ඔයා අනිත් කෙනාගෙන් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙනවා ඇති. අනිත් අතට ඔයාට මීට වඩා ආදරයක්, සැලකිල්ලක් ඕනෙ කියලා ඔයාගේ සැමියා, බිරිඳ තේරුම් අරන් නැති වෙන්නත් පුළුවන්.”සියාරා.

 බයිබල් ප්‍රතිපත්තිය: “සියලුදෙනා තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි.”—1 කොරින්ති 10:24.

a b The Jealousy Cure කියන පොතෙන්.