Skip to content

අනිත් අය වෙනුවෙන් දේවල් දෙන එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

අනිත් අය වෙනුවෙන් දේවල් දෙන එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 කැමැත්තෙන්ම සහ අවංක චේතනාවෙන් අනිත් අය වෙනුවෙන් දේවල් පරිත්‍යාග කරන එක හොඳ දෙයක් කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒකෙන් ලැබෙන කෙනාට වගේම දේවල් දෙන කෙනාටත් සතුටක් ලැබෙනවා. (හිතෝපදේශ 11:25; ලූක් 6:38) “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලා යේසුස් කිව්වේ ඒ නිසයි.—ක්‍රියා 20:35.

 දෙවියන් සතුටු වෙන්නේ මොන වගේ පරිත්‍යාග ගැනද?

 අපි කැමැත්තෙන්ම පරිත්‍යාග කරද්දී දෙවියන් ඒ ගැන සතුටු වෙනවා. “කොපමණ ප්‍රමාණයක් දෙනවාද කියා එකිනෙකා තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය. අකමැත්තෙන් හෝ වෙනත් කෙනෙකුගේ බල කිරීම නිසා හෝ දීමෙන් ප්‍රයෝජනයක් නැත. මන්ද දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය” කියලා බයිබලයේ කියනවා.—2 කොරින්ති 9:7.

 අපේ නමස්කාරය වුණත් දෙවියන් පිළිගන්නේ අපි කෙනෙක්ට මොනවා හරි දෙද්දී අවංක චේතනාවෙන් ඒක දුන්නොත් විතරයි. (යාකොබ් 1:27) අවශ්‍යතාවක් තියෙන කෙනෙක්ට අපි කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා උදව් කරද්දී දෙවියන් ඒ ගැන සතුටු වෙනවා. දෙවියන් ඒක සලකන්නේ අපි දෙවියන්ට ණයක් දුන්නා හා සමානවයි. (හිතෝපදේශ 19:17) අපි ඒ විදිහට කටයුතු කරද්දී දෙවියන් අපිට ආශීර්වාද කරනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.—ලූක් 14:12-14.

 දෙවියන් අසතුටු වෙන්නේ මොන වගේ පරිත්‍යාග ගැනද?

 වාසි ප්‍රයෝජන ලබාගැනීමේ අරමුණින් අපි පරිත්‍යාගයන් කරනවා නම් දෙවියන් ඒ ගැන සතුටු වෙන්නේ නැහැ. ඒ ගැන උදාහරණ කීපයක් බලමු.

 දෙවියන් අකමැති දේවල් කරන්න උදව් වෙන දෙයක් අපි අනිත් අයට දෙනවා නම් දෙවියන් ඒ ගැන සතුටු වෙන්නේ නැහැ. උදාහරණයකට සූදුවේ නියැලෙන්න, මත්ද්‍රව්‍ය භාවිත කරන්න නැත්නම් මත්පැන් අනිසි විදිහට පාවිච්චි කරන්න අපි කෙනෙක්ට මුදල් දෙනවා නම් ඒක වැරදියි. (1 කොරින්ති 6:9, 10; 2 කොරින්ති 7:1) ඒ වගේම වැඩ කරන්න පුළුවන්කම තියෙද්දීත් කම්මැලිකමට වැඩ නොකර ඉන්න කෙනෙක්ට උදව් කරන එකත් සුදුසු දෙයක් නෙමෙයි.—2 තෙසලෝනික 3:10.

 අපි කරන පරිත්‍යාගය නිසා අපේ පවුලේ අයගේ අවශ්‍යතා පිරිමහන්න අපි අපොහොසත් වෙනවා නම් දෙවියන් ඒ ගැන සතුටු වෙන්නේ නැහැ. පවුලේ මූලිකයා පවුලේ අයගේ අවශ්‍යතා සපයන්න ඕනෙ කියලා බයිබලයේ කියලා තියෙනවා. (1 තිමෝති 5:8) ඒත් එයා පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේවල් සපයන්න බැරි වන තරමට අනිත් අයට උදව් කරනවා නම් ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඒ වගේම මහලු දෙමාපියන්ට සලකන්නේ නැතුව තමන්ට තියෙන දේවල් “දෙවිට කැප කළා” කියලා කියන එකත් යේසුස් අනුමත කළේ නැහැ.—මාක් 7:9-13.