Skip to content

සමාව දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

සමාව දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 “සමාව දෙන්න” කියලා බයිබලයේ පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයෙන් අදහස් වෙන්නේ “අතහැරලා දාන්න” කියන එකයි. ඒක හරියට කෙනෙක් තමන් දුන්න ණයක් ආපහු ඉල්ලන්නේ නැතුව ඉන්නවා වගෙයි. යාච්ඤා කරන්න උගන්වද්දී යේසුස් ගෝලයන්ට කිව්වේ “අපේ පව්වලට සමාව දෙන්න. මන්ද අපට වැරදි කළ [ණයව සිටින, පාදසටහන] සියලුදෙනාට අපිත් සමාව දෙනවා” කියලා යාච්ඤා කරන්න කියලයි. (ලූක් 11:4) දුෂ්ට දාසයාගේ උපමාව ගැන කියද්දිත් යේසුස් සමාව දෙන එක ණයක් අමතක කරලා දාන එකට සමාන කෙරුවා.—මතෙව් 18:23-35.

 අමනාපය හිතේ තියාගන්නේ නැතුව අතහැරලා දාන එකෙනුත් වෙච්ච දේ හරිගස්සන්න වරද කරපු කෙනා යමක් කරන්න ඕන කියලා බලාපොරොත්තු නොවෙන එකෙනුත් අපි පෙන්වන්නේ සමාව දෙනවා කියන එකයි. කෙනෙක් මුළු හිතින්ම සමාව දෙන්නේ පරාර්ථකාමී ප්‍රේමයක් තියෙනවා නම් විතරයි. මොකද ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා අමනාපයක් සිතේ තබාගන්නේ නැහැ’ කියලා බයිබලයේ කියනවා.—1 කොරින්ති 13:4, 5.

සමාව දෙනවා කියන එකෙන් අදහස් නොකරන දේ

  •   වරද, වරදක් නෙමෙයි කියලා හිතන එක. වැරදි ක්‍රියා හානිකර නැහැ කියලා හෝ ඒවාවල වරදක් පේන්න නැහැයි කියලා කියන අයව බයිබලයේ හෙළාදකිනවා.—යෙසායා 5:20.

  •   කිසිම වරදක් වුණේ නැති ගාණට ඉන්න එක. දාවිත් රජ බරපතළ වැරදි කෙරුවාම දෙවියන් ඔහුට සමාව දුන්නත් ඒ වැරදිවලින් ඇති වන ප්‍රතිඵල වැළැක්වුවේ නැහැ. දාවිත්ගේ වැරදි ගැන වාර්තා කරන්න පවා දෙවියන් සැලැස්සුවා. ඒක අදටත් අපිට කියවන්න පුළුවන්.—2 සාමුවෙල් 12:9-13.

  •   තමන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න අනිත් අයට ඉඩහරින එක. හිතන්න ඔයා කාට හරි ණයක් දෙනවා කියලා. ඒත් ඒ කෙනා සල්ලි නාස්ති කරපු නිසා පොරොන්දු වුණ විදිහට ඒ ණය ගෙවන්න බැරි වෙනවා. හැබැයි එයා ඒ ගැන හුඟක් කනගාටු වෙලා ඔයාගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේ වෙලාවක ඔයාට පුළුවන් හිතේ අමනාපයක් තියාගන්නෙවත් ඒ ගැන ආපහු මතු කරන්නෙවත් නැතුව සම්පූර්ණයෙන්ම ඒ ණය අමතක කරලා දාන්න. එහෙම නැත්නම් ආපහු කවදාවත් එයාට ණයක් දෙන්නේ නැහැ කියලා තීරණය කරන්නත් ඔයාට පුළුවන්.—ගීතාවලිය 37:21; හිතෝපදේශ 14:15; 22:3; ගලාති 6:7.

  •   පදනමක් නැතුව සමාව දෙන එක. හිතාමතාම වැරදි කරන, පසුතැවිලි නොවී දිගින් දිගටම වැරදි කරන, තමන්ගේ වැරදි පිළි නොගන්න, තමන්ගේ වැරදි අත් නොහරින, තමන් කරපු වැරදිවලට සමාව ඉල්ලන්නේ නැති අයට දෙවියන් සමාව දෙන්නේ නැහැ. (හිතෝපදේශ 28:13; ක්‍රියා 26:20; හෙබ්‍රෙව් 10:26) ඒ වගේ අයව දෙවියන් සලකන්නේ ඔහුගේ සතුරන් හැටියටයි. ඉතින් ඔහු සමාව නොදෙන අයට අපි සමාව දෙන්න ඕන කියලා ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.—ගීතාවලිය 139:21, 22.

     ඔයාට අසාධාරණකම් කරපු, දරුණු විදිහට සලකපු කෙනෙක් ඔයාගෙන් සමාව ගන්නේ නැත්නම් හරි, වරද පිළිගන්නෙත් නැත්නම් හරි මොනවාද කරන්නේ? බයිබලයේ උපදෙස් දෙන්නේ “කෝප වීමෙන් වළකින්න. උදහස් වීම අත්හරින්න” කියලයි. (ගීතාවලිය 37:8) කෙනෙක් ඔයාට වරදක් කෙරුවාම ඒ වරද නොසලකාහැරියේ නැතත් ඒ ගැන කේන්තියෙන් දැවි දැවී ඉන්න එකෙන් වළකින්න ඔයාට පුළුවන්. එයා කරපු දේ ගැන දෙවියන් ක්‍රියාමාර්ගයක් ගනියි කියන විශ්වාසයත් තියාගන්න. (හෙබ්‍රෙව් 10:30, 31) අපේ හිතට දැනෙන වේදනාව ආපහු කවදාවත් නොදැනෙන කාලයක් දෙවියන් ගේනවා කියලා දැනගන්න ලැබීමෙනුත් ඔයාට සහනයක් ලබාගන්න පුළුවන්.—යෙසායා 65:17; එළිදරව් 21:4.

  •   ඔයාට වරදක් කළා කියලා හිතාගෙන ඔයා සමාව දෙන්න හිතන එක. සමහරවිට කෙනෙක් තව කෙනෙක් එක්ක අමනාප වෙන්නේ එයා තමන්ට වරදක් කෙරුවා කියලා හිතාගෙනයි. ඒත් එයා අතින් වරදක් වෙලත් නැතුව ඇති. එහෙමනම් අමනාප වෙන්න හේතුවක් නැහැ කියලා තමන් පිළිගන්න ඕනේ. බයිබලයේ මෙහෙම කියනවා. “අමනාප වීමට ඉක්මන් නොවන්න. මන්ද සිත තුළ අමනාපයක් ඇති කරගන්නේ මෝඩයන්ය.”—දේශනාකාරයා 7:9.

කෙනෙක්ට සමාව දෙන්න නම් . . .

  1.   සමාව දෙනවා කියන එකට ඇතුළත් වෙන දේ මතක තියාගන්න. කිසිම වරදක් වුණේ නැති ගාණට ඔයා ඉන්නේ නැහැ. ඒ වුණත් ඔයා ඒක අතහැරලා දානවා.

  2.   සමාව දෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන හිතන්න. කේන්තිය, අමනාපය අයින් කරගන්නවා නම් හිත සන්සුන් කරගන්න ඔයාට පුළුවන්. ඒක ඔයාගේ සෞඛ්‍යයටත් හොඳයි. ඒ වගේම සතුටෙන් ඉන්නත් පුළුවන්. (හිතෝපදේශ 14:30; මතෙව් 5:9) ඊටත් වඩා, ඔයාගේ වැරදිවලට දෙවියන්ගෙන් සමාව ලබාගන්න නම් ඔයා අනිත් අයට සමාව දෙන්න ඕනේ.—මතෙව් 6:14, 15.

  3.   අනුකම්පාව පෙන්වන්න. අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා. (යාකොබ් 3:2) අපිට සමාව දෙනවාට අපි කැමති නම් අපිත් අනිත් අයගේ වැරදිවලට සමාව දෙන්න ඕනේ.—මතෙව් 7:12.

  4.   සාධාරණ වෙන්න. අනිත් අය අපිට පුංචි පුංචි වැරදි කරද්දී “අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න” කියලා බයිබලයේ දීලා තියෙන උපදෙස අදාළ කරගන්න අපිට පුළුවන්.—කොලොස්සි 3:13.

  5.   ඉක්මනින් විසඳගන්න. කේන්තිය පැසවන්න ඉඩ නෑර කාරණය ඉක්මනින්ම විසඳගන්න.—එෆීස 4:26, 27.