Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

යෙසායා 40:31 - “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය යළි නැඟිටින්නෝය”

යෙසායා 40:31 - “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය යළි නැඟිටින්නෝය”

 “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය යළි නැඟිටින්නෝය. ඔවුහු තම සවිය වැඩි කරගෙන රාජාලීන් මෙන් ඉහළටම පියාඹන්නෝය. ඔවුහු දුවන්නෝය. නමුත් වෙහෙසට පත් නොවෙති. ඔවුහු ඇවිදින්නෝය. නමුත් විඩාවට පත් නොවෙති.”—යෙසායා 40:31, ‘නව ලොව පරිවර්තනය.’

 “ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.”—යෙසායා 40:31, ‘පැරණි අනුවාදය.’

යෙසායා 40:31 අදහස

 යෙහෝවා a දෙවියන් තමන්ගේ සේවකයන්ට ප්‍රශ්න විඳදරාගන්න, ඒවායින් ගොඩ එන්න අවශ්‍ය ශක්තිය දෙනවා කියලා සහතික වෙනවා.

 “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය යළි නැඟිටින්නෝය.” තමන්ගේ සේවකයන්ට උදව් කරන්න දෙවියන්ට බලය තියෙනවා කියලත් ඒ දේ කරන්න ඔහු ආසාවෙන් ඉන්නවා කියලත් විශ්වාස කරන අයට අනිවාර්යයෙන්ම දෙවියන්ගේ උදව් ලබන්න පුළුවන්. (හිතෝපදේශ 3:5, 6) දෙවියන් ඔහුගේ සේවකයන්ට උදව් කරන එක විදිහක් තමයි ඔහුගේ බලය දීලා එයාලව ශක්තිමත් කරන එක.—ලූක් 11:13.

 “ඔවුහු තම සවිය වැඩි කරගෙන රාජාලීන් මෙන් ඉහළටම පියාඹන්නෝය.” බයිබලේ කියන මේ දෙයින් දෙවියන් කෙනෙක්ට ඔහුගේ බලය දීලා උදව් කරන විදිහ ගැන ලස්සන පින්තූරයක් අපේ හිතේ මැවෙනවා. රාජාලියෙක් ඉහළ අහසට පියාඹන්නේ උණුසුම් වායු ධාරාවල උදව්වෙන්. ඌ වායු ධාරාවකට ඇතුල් වුණාම උගේ ලොකු අත්තටු දෙක විහිදුවලා ඒ වායු ධාරාව දිගේ කැරකි කැරකි ඉහළට යනවා. ඒ විදිහට වායු ධාරාවෙන් ධාරාවට මාරු වෙවී ඌට යන්න ඕන තැනට ඌ යනවා. පැය ගාණක් තිස්සේ ඌ ඉහළ අහසේ පියෑඹුවත් ඌට ලොකු වෙහෙසක් දැනෙන්නේ නැහැ.

 “ඔවුහු දුවන්නෝය. නමුත් වෙහෙසට පත් නොවෙති.” ප්‍රශ්නවලට මුහුණ දෙද්දී සමහර වෙලාවට අපි හෙම්බත් වෙනවා, මානසිකව වැටෙනවා. හැබැයි ඕනම දේකට හොඳින් මුහුණ දෙන්න දෙවියන් ඔහුගේ බලය දීලා අපිව ශක්තිමත් කරනවා. ඒ නිසා හුඟක් අමාරු තත්වයන්වලට මුහුණ දෙද්දී වුණත් දිගටම හරි දේ කරන්න අපිට පුළුවන්. නියෝජිත පාවුල් ඒක අද්දැක්කා. එයා මෙහෙම කියනවා. “මන්ද මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.”—ෆිලිප්පි 4:13.

යෙසායා 40:31 අවට පද

 ඒ දේ ලියන්න දෙවියන් අනාගතවක්තෘවරයෙකු වුණ යෙසායාට මඟ පෙන්නුවේ ක්‍රි.පූ. 8වෙනි සියවසේදී. පේන විදිහට යෙහෝවා දෙවියන් ඒ වචන කියලා තියෙන්නේ අවුරුදු 70කට බැබිලෝනියේ වහලුන් විදිහට ගෙනියපු යුදෙව්වන්ව දිරිගන්වන්න. පස්සේ කාලෙක බැබිලෝනියෙන් නිදහස් වෙලා ඒ යුදෙව්වන් ආයේ එද්දී දෙවියන් කියපු වචන ඉටු වුණ විදිහ එයාලා දැක්කා. (යෙසායා 40:1-3) ක්‍රි.පූ. 537දී එයාලා බැබිලෝනියේ ඉඳලා යෙරුසලමට ආපු ඒ දුෂ්කර ගමන b පුරාම දෙවියන් ඔහුගේ බලය දීලා එයාලව ශක්තිමත් කරපු විදිහ එයාලා අද්දැක්කා.—යෙසායා 40:29.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.

b වහල්කමෙන් නිදහස් වෙලා ආපහු යෙරුසලමට එන්න එයාලට කිලෝමීටර් 1,600ක් (සැතපුම් 1,000ක්) විතර ඇවිදින්න වුණා.