Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

යෙසායා 41:10 - “භය නොවන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි”

යෙසායා 41:10 - “භය නොවන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි”

 “භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි. කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය. මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි. ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නෙමි.”—යෙසායා 41:10, ‘නව ලොව පරිවර්තනය.’

 “භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න. මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත් කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නමැති දකුණතින් නුඹ උසුලන්නෙමි.”—යෙසායා 41:10, ‘පැරණි අනුවාදය.’

යෙසායා 41:10 අදහස

 ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් මොන අභියෝගවලට මුහුණ දුන්නත් ඔහු එයාලට උදව් කරනවා කියලා යෙහෝවා a දෙවියන් පොරොන්දු වෙනවා.

 “මම ඔබ සමඟ සිටින්නෙමි.” ඔහුගේ සේවකයන් බය වෙන්න අවශ්‍ය නැත්තේ ඇයි කියලා යෙහෝවා දෙවියන් කියනවා. මොකද එයාලා තනි වෙලා නැහැ. එයාලා මුහුණ දෙන දේවල් ඔහු දකිනවා. එයාලා කරන යාච්ඤාවලට ඔහු සවන් දෙනවා. ඒක හරියට ඔහු එයාලත් එක්කම ඉන්නවා වගේ.—ගීතාවලිය 34:15; 1 පේතෘස් 3:12.

 “ඔබේ දෙවි මමය.” යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ව සනසනවා. ඔහු ඒක කරන්නේ එයාලා මොන තත්වයට මුහුණ දුන්නත් ඔහු තවමත් එයාලගේ දෙවියන් කියලත් එයාලව ඔහුගේ සේවකයන් හැටියට පිළිගන්නවා කියලත් මතක් කරලයි. දෙවියන්ගේ සේවකයන් මොන අමාරු දේ අද්දැක්කත් එයාලට උදව් කරන්න දෙවියන්ට පුළුවන්. එහෙම කරන එකෙන් ඔහුව වළක්වන්න කිසිම දේකට බැහැ.—ගීතාවලිය 118:6; රෝම 8:32; හෙබ්‍රෙව් 13:6.

 “මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි. ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නෙමි.” යෙහෝවා දෙවියන් එකම අදහස තුන් විදිහකින් කියලා තියෙනවා. ඒ, ඔහුගේ සේවකයන්ට ඔහු අනිවාර්යයෙන්ම උදව් කරනවා කියන දේ කාවද්දන්න. ඔහුගේ සෙනඟට උදව් ඕන වෙද්දී ඔහු උදව් කරන්නේ කොහොමද කියන එක පෙන්නන්නයි ඔහු අපිව දකුණතින් අල්ලගෙන ඉන්නවා කියලා කියන්නේ. කෙනෙක් වැටුණොත් දෙවියන්ට පුළුවන් ඔහුගේ දකුණතින් ඒ කෙනාව නැඟිටුවන්න.—යෙසායා 41:13.

 දෙවියන් ඔහුගේ සේවකයන්ව ශක්තිමත් කරන්න, එයාලට උදව් කරන්න පාවිච්චි කරන ප්‍රධානම දේ තමයි ඔහුගේ වචනය වන බයිබලය. (යොෂුවා 1:8; හෙබ්‍රෙව් 4:12) උදාහරණෙකට දුප්පත්කම අසනීප වගේ ප්‍රශ්න එක්ක පොරබදින අයට, ආදරේ කරන කෙනෙක්ගේ මරණය නිසා දුකෙන් ඉන්න අයට නොසැලී ඒ තත්වයන්ට මුහුණ දෙන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා. (හිතෝපදේශ 2:6, 7) දෙවියන්ට පුළුවන් ඔහුගේ බලය දීලා ඔහුගේ සේවකයන්ට උදව් කරන්න. ඒ බලය නිසා ඔහුගේ සේවකයන්ට පුළුවන් ප්‍රශ්න අද්දැක්කත් ඒවායින් යටපත් වෙන්නේ නැතුව ඒවාට හොඳින් මුහුණ දෙන්න.—යෙසායා 40:29; ලූක් 11:13.

යෙසායා 41:10 අවට පද

 වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගිය විශ්වාසවන්ත යුදෙව්වන්ට මේ වචන ලොකු සහනයක් වුණා. එයාලා වහල්භාවයේ හිටපු කාලය අවසන් වෙන්න ළං වෙලා තියෙද්දී බැබිලෝනිය සහ ඒ අවට ජාතීන් යටත් කරගන්න සතුරෙක් එනවා කියන ආරංචිය අහන්න ලැබෙයි කියලා යෙහෝවා දෙවියන් යුදෙව්වන්ට කලින්ම කිව්වා. (යෙසායා 41:2-4; 44:1-4) ඒ ආරංචිය නිසා බැබිලෝනිවරුන් සහ ඒ අවට ජාතීන් හොඳටම බය වුණත් යුදෙව්වන්ට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද එයාලව ආරක්ෂා කරන්න යෙහෝවා දෙවියන් එයාලත් එක්ක හිටියා. ඒ නිසයි ඔහු තුන් පාරක්ම කියන්නේ “භය නොවන්න” කියලා.—යෙසායා 41:5, 6, 10, 13, 14.

 යෙහෝවා දෙවියන් යෙසායා 41:10 සඳහන් වදන් බයිබලේට ඇතුළත් කළේ බැබිලෝනියේ වහල්භාවයට යන විශ්වාසවන්ත යුදෙව්වන්ව සනසන්නයි. ඒත් ඔහු ඒ වචන අද වෙන කල් ආරක්ෂා කරලා තියෙනවා. ඔහු එහෙම කළේ ඔහුගේ හැම සේවකයෙක්වම සනසන්නයි. (යෙසායා 40:8; රෝම 15:4) අතීතයේ හිටපු ඔහුගේ සේවකයන්ට ඔහු උදව් කරපු විදිහටම අද ඉන්න ඔහුගේ සේවකයන්ටත් ඔහු උදව් කරනවා.

යෙසායා 41වෙනි පරිච්ඡේදය කියවද්දී ඒකට අදාළ විස්තරාත්මක පාදසටහන් සහ යොමු දැක්වීම් බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.