Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

යොහන් 1:1 - “පටන්ගැන්මෙහිදී වාක්‍යාණෝ සිටිසේක.”

යොහන් 1:1 - “පටන්ගැන්මෙහිදී වාක්‍යාණෝ සිටිසේක.”

 “බොහෝ කලකට ඉහතදී එනම්, අන් සියල්ල සෑදීමට පෙර ‘වචනය’ නමැති තැනැත්තා සිටියේය. ඔහු සිටියේ දෙවි සමඟය. ‘වචනය’ නමැති එම තැනැත්තා දෙවිට සමානකමක් ඇති බලවත් කෙනෙකි.”—යොහන් 1:1, ‘නව ලොව පරිවර්තනය.’

 “පටන්ගැන්මෙහිදී වාක්‍යාණෝ සිටිසේක. වාක්‍යාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක. වාක්‍යාණෝ දෙවියන්වහන්සේව සිටියේය.”—යොහන් 1:1, ‘පැරණි අනුවාදය.’

යොහන් 1:1 අදහස

 යේසුස් ක්‍රිස්තුස් පොළොවට එන්න කලින් ඔහු ගත කරපු ජීවිතය ගැන දැනගන්න ඒ පදය අපිට උදව් වෙනවා. (යොහන් 1:14-17) යොහන් 1:14වෙනි පදයේ ‘වචනය’ (ග්‍රීක භාෂාවෙන් “හෝ ලෝගොස්”) කියන යෙදුම යොදාගෙන තියෙන්නේ පදවි නමක් විදිහට. පේන විදිහට යේසුස්ව ඒ පදවි නමින් හඳුන්වලා තියෙන්නේ ඔහු දෙවියන්ගේ පණිවිඩ අනිත් අයට දැනුම් දීපු නිසයි. පොළොවට එන්න කලිනුත් පොළොවේ ජීවත් වුණු කාලෙදිත් ආපහු ස්වර්ගයට ගියාට පස්සෙත් යේසුස් දිගටම දෙවියන්ගේ වචනය විදිහට කටයුතු කරනවා.—යොහන් 7:16; එළිදරව් 1:1.

 “පටන් ගැන්මේදී” කියලා යොහන් 1:1 කතා කරන්නේ දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කරන්න පටන්ගත්ත කාලයටයි. හැම දෙයක්ම නිර්මාණය කරන්න කලින් “වාක්‍යාණෝ” නැත්නම් “වචනය” විදිහට හඳුන්වන යේසුස්ව දෙවියන් නිර්මාණය කළා. ඊටපස්සේ යේසුස්ව යොදාගෙන තමයි දෙවියන් අනිත් හැම දෙයක්ම නිර්මාණය කළේ. (යොහන් 1:2, 3) බයිබලයේ යේසුස්ව “දෙවිගේ කුළුඳුල් නිර්මාණය” හැටියට හඳුන්වලා තියෙන එකෙනුත් ‘අන් සියල්ල සෑදීමට දෙවියන් ඔහුව හවුල් කරගත්තා’ කියලා සඳහන් වෙන එකෙනුත් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා.—කොලොස්සි 1:15, 16.

 යේසුස් පොළොවට එන්න කලින් ‘දෙවියන් හා සමාන කෙනෙක් වුණා.’ ඔහුව ඒ විදිහට හඳුන්වන්න හේතු දෙකක් තියෙනවා. 1. දෙවියන්ගේ පණිවිඩය අනිත් අයට දැනුම් දුන්නේ යේසුස්. 2. දෙවියන් අනිත් හැම දෙයක්ම නිර්මාණය කළේ ඔහුගේ පළමු නිර්මාණය වුණ යේසුස් මාර්ගයෙන්.

යොහන් 1:1 අවට පද

 බයිබලයේ යොහන් පොතේ සඳහන් වෙන්නේ යේසුස් මේ පොළොවේදී ගත කරපු ජීවිතය සහ ඔහු කරපු සේවය ගැනයි. යේසුස් පොළොවට එන්න කලින් ගත කරපු ජීවිතය ගැනත් ඔහුට දෙවියන් එක්ක තිබුණු කිට්ටු බැඳීම ගැනත් මිනිසුන්ට මඟ පෙන්වන්න දෙවියන් යේසුස්ව යොදාගත්ත විදිහ ගැනත් අපිට යොහන් පොතේ 1වෙනි පරිච්ඡේදයේ මුල් පදවලින් තේරුම්ගන්න පුළුවන්. (යොහන් 1:1-18) යේසුස් පොළොවේ සේවය කරපු කාලයේදී ඔහු කියපු, කරපු දේවල් හොඳින් තේරුම්ගන්න ඒ තොරතුරු අපිට උදව් වෙනවා.—යොහන් 3:16; 6:38; 12:49, 50; 14:28; 17:5.

යොහන් 1:1 ගැන තියෙන වැරදි අදහස්

 වැරදි අදහස: යොහන් 1:1 අන්තිම වාක්‍යය පරිවර්තනය කරන්න ඕනෙ “වාක්‍යාණෝ දෙවියන්වහන්සේව සිටිසේක” කියලයි.

 නිවැරදි අදහස: හුඟක් බයිබල් පරිවර්තනවල ඒ අදහස පරිවර්තනය කරලා තියෙන්නේ ඒ විදිහට වුණත් සමහර බයිබල් පරිවර්තනවල ඒක පරිවර්තනය කරලා තියෙන්නේ ඊට වඩා වෙනස් විදිහට. ඒ ඇයි? මුල් බයිබල් පිටපත්වල දෙවියන් (ග්‍රීක භාෂාවෙන් “තෙඔස්”) කියන වචනය ඒ පදයේ දෙවතාවක් සඳහන් වෙලා තියෙනවා. 1වෙනි වතාවේ සඳහන් වෙන්නේ “දෙවියන්” විදිහට. 2වෙනි වතාවේ සඳහන් වෙන්නේ “දෙවි කෙනෙක්” විදිහට. ඒ පදයේ “තෙඔස්” කියන වචනය දෙවිදිහකට පාවිච්චි කරලා තියෙන්නේ ඇයි? හුඟක් විශාරදයන් ඒ ගැන අදහස් දක්වලා තියෙනවා. උදාහරණයකට, බයිබල් පරිවර්තන ගැන සඳහන් වන පොතක මෙහෙම කියනවා. “යොහන් 1:1 අන්තිම වාක්‍යයේ “2වෙනි වතාවට ‘දෙවියන්’ නැත්නම් ‘තෙඔස්’ කියන වචනය යොදාගෙන තියෙන්නේ විශේෂණ පදයක් විදිහටයි. එහෙම බලද්දී ඇත්තටම ඒ වචනය පරිවර්තනය කරන්න ඕනෙ ‘දෙවියන්ට සමාන කෙනෙක්’ නැත්නම් ‘දෙවි කෙනෙක්’ විදිහටයි.” a (The Translator’s New Testament) තවත් සමහර විශාරදයන් b කියලා තියෙන දේවල්වලිනුත් අනිත් බයිබල් පරිවර්තනවලිනුත් ඒ වෙනස පැහැදිලිව තේරුම්ගන්න පුළුවන්.—“ යොහන් 1:1 තවත් පරිවර්තනවලින්” කියන කොටස බලන්න.

 වැරදි අදහස: යොහන් 1:1 “වාක්‍යාණෝ” විදිහට හඳුන්වලා තියෙන්නේ සියලු බලැති දෙවියන්ව.

 නිවැරදි අදහස: යොහන් 1:1 “වාක්‍යාණෝ දෙවියන්වහන්සේ සමඟ සිටිසේක” කියලා සඳහන් වෙන එකෙන් පැහැදිලි වෙනවා ඒ පදයේ කතා කරන්නේ එක්කෙනෙක් ගැන නෙමේ දෙන්නෙක් ගැන කියලා. හුඟක් අය විශ්වාස කරන විදිහට “වාක්‍යාණෝ” හැටියට හඳුන්වලා තියෙන්නේ එකම සැබෑ දෙවියන්ව නම් “වාක්‍යාණෝ දෙවියන්වහන්සේ සමඟ සිටිසේක” කියලා කියන්න බැහැ නේද? ඒ කාරණය තවත් හොඳින් තේරුම්ගන්න අපිට අවට පදත් උදව් වෙනවා. මොකද යොහන් 1:18 කියන්නේ ”කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත” කියලයි. හැබැයි “වාක්‍යාණෝ” නැත්නම් “වචනය” විදිහට හඳුන්වන යේසුස් ගැන යොහන් 1:14 මෙහෙම කියනවා. “‘වචනය’ නමැති එම තැනැත්තා මිනිසෙක් වී අප අතරේ ජීවත් විය. එසේ ජීවත් වෙද්දී ඔහුගේ තේජස දැකගැනීමට අපට හැකි විය.”

 වැරදි අදහස: “වාක්‍යාණෝ” විදිහට හඳුන්වන තැනැත්තාට පටන්ගැන්මක් නැහැ.

 නිවැරදි අදහස: යොහන් 1:1 “පටන්ගැන්මේදී” කියන වචනය යොදාගෙන තියෙන්නේ දෙවියන්ගේ පටන්ගැන්ම ගැන කතා කරන්න කියලා හිතන්න බැහැ. මොකද දෙවියන්ට පටන්ගැන්මක් නැහැ. යෙහෝවා c දෙවියන්ට “පටන්ගැන්මක්වත් අවසානයක්වත්” නැහැ කියලා බයිබලේ සඳහන් වෙනවා. (ගීතාවලිය 90:1, 2) හැබැයි “වාක්‍යාණෝ” නැත්නම් “වචනය” විදිහට හඳුන්වලා තියෙන යේසුස් ක්‍රිස්තුස්ට පටන්ගැන්මක් තියෙනවා. බයිබලයේ ඔහුව “දෙවිගේ මුල්ම නිර්මාණය” හැටියට හඳුන්වලා තියෙන එකෙන් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා.—එළිදරව් 3:14.

 වැරදි අදහස: වාක්‍යාණන්ව “දෙවි කෙනෙක්” විදිහට හඳුන්වන එක හරියට දෙවිවරු කීපදෙනෙක්ට නමස්කාර කරන්න කියලා කියනවා වගේ.

 නිවැරදි අදහස: “දෙවියන්” කියන අදහස දෙන්න ග්‍රීක භාෂාවෙන් යොදාගෙන තියෙන්නේ “තෙඔස්” කියන වචනයයි. සියලු බලැති දෙවියන්ව හඳුන්වන්න පාවිච්චි කරන්නෙත් ඒ වචනයමයි. “දෙවියන්” කියන අදහස දෙන්න හෙබ්‍රෙව් භාෂාවෙන් යොදාගෙන තියෙන්නේ “එල්” සහ “එලෝහිම්” කියන වචනයි. ඒත් ඒ හෙබ්‍රෙව් වචනවලින් මූලිකවම අදහස් වෙන්නේ “බලවත් තැනැත්තා” කියන අදහසයි. ඒ වගේම ඒ වචනය සියලු බලැති දෙවියන්ව, අනිත් දෙවිවරුන්ව විතරක් නෙමේ මිනිසුන්ව හඳුන්වන්නත් යොදාගෙන තියෙනවා. (ගීතාවලිය 82:6; යොහන් 10:34) එහෙනම් දෙවියන් අනිත් හැම දෙයක්ම නිර්මාණය කරන්න පාවිච්චි කරපු යේසුස්වත් ඒ විදිහට හඳුන්වන එක වැරදි නැහැ නේද? (යොහන් 1:3) “වචනය” නැත්නම් “වාක්‍යාණෝ” විදිහට හඳුන්වලා තියෙන යේසුස්ව “දෙවි කෙනෙක්” විදිහට හඳුන්වන එක යෙසායා 9:6 කියන දේටත් එකඟයි. මොකද ඒ අනාවැකියේ සඳහන් වුණා දෙවියන් තෝරගත්ත කෙනාව නැත්නම් ගැලවුම්කරුව “බලවත් දෙවි” (හෙබ්‍රෙව් භාෂාවෙන් “එල් ගිබ්බෝ”) විදිහට හඳුන්වනවා කියලයි. හැබැයි ඒ පදයේ යේසුස්ව හඳුන්වලා තියෙන්නේ “සියලු බලැති දෙවියන්” (හෙබ්‍රෙව් භාෂාවෙන් “එල් ශඩ්ඩයි”) විදිහට නෙමෙයි කියලා අපි මතක තියාගන්න ඕනේ.—උත්පත්ති 17:1; 35:11; නික්මයාම 6:3; එසකියෙල් 10:5.

 දෙවිවරු කීපදෙනෙක්ට නමස්කාර කරන්න කියලා බයිබලයේ කිසිම තැනක කියලා නැහැ. යේසුස් මෙහෙම කිව්වා. “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි.” (මතෙව් 4:10) බයිබලයේ මෙහෙමත් කියනවා. “බොහෝ ‘දෙවිවරු’ සිටිති. එසේම ස්වර්ගයෙහි හෝ පොළොවෙහි හෝ සිටින සමහරුන්ව ‘දෙවිවරුන්’ සහ ‘ස්වාමිවරුන්’ ලෙස සලකනු ලැබේ. නමුත් අපට සිටින්නේ එක දෙවි කෙනෙක්ය. එනම් පියාණන්ය. සියල්ල සෑදුවේ ඔහුය. අපද ජීවත් වන්නේ ඔහු උදෙසාය. එලෙසම සිටින්නේ එක ස්වාමීන් කෙනෙක්ය. එනම් යේසුස් ක්‍රිස්තුස්ය. දෙවි සියල්ල සෑදුවේ ඔහුව යොදාගෙනය. අපට ජීවනය ලැබුණෙත් ඔහු නිසාය.”—1 කොරින්ති 8:5, 6.

 යොහන් 1:1 තවත් පරිවර්තනවලින්

 “පටන්ගැනීමේදී වචනය නමැති තැනැත්තා සිටියේය. වචනය නමැති තැනැත්තා දෙවියන් සමඟ සිටියේය. වචනය නමැති තැනැත්තා දෙවි හා සමාන කෙනෙක් විය.”—The Bible—An American Translation, 1935, by J.M.P. Smith and E. J. Goodspeed.

 “සියලු දේවල පටන්ගැන්මේදී ’ලෝගොස්’ නමැති තැනැත්තා සිටියේය. ’ලෝගොස්’ නමැති තැනැත්තා දෙවියන් සමඟ සිටියේය. ’ලෝගොස්’ නමැති තැනැත්තා දෙවියන් හා සමාන කෙනෙකු විය.”—The Bible—Containing the Old and New Testaments, 1950, by James Moffatt.

 “පටන්ගැනීමේදී වචනය නමැත්තා සිටියේය. වචනය දෙවියන් සමඟ සිටියේය. වචනය නමැත්තා දෙවි කෙනෙක් හා සමාන විය.”—The New Testament in an Improved Version, 1808, edited by Thomas Belsham, based on a New Testament translation by William Newcome.

 “පටන්ගැනීමේදී වචනය නමැති තැනැත්තා සිටියේය. වචනය නමැති තැනැත්තා දෙවියන් සමඟ සිටියේය. වචනය නමැති තැනැත්තා දෙවියන් හා සමාන කෙනෙකි.”—The Authentic New Testament, 1958, by Hugh J. Schonfield.

a The Translator’s New Testament, කියන පොතේ 451 පිටුව.

b විශාරද ඩේවිඩ් බෙඩූන් මෙහෙම කියනවා. යොහන් 1:1 අන්තිම වාක්‍යයේ “‘වචනය’ නමැති තැනැත්තා යන කර්තෘව විස්තර කිරීමට භාවිත කරලා තියෙන්නේ සියලු බලැති දෙවියන් සඳහා භාවිත කරන “හෝ තෙඔස්” යන යෙදුම් නොව “තෙඔස්” යන යෙදුමයි. වාක්‍යයක ආඛ්‍යාතයක් “හෝ” යන කොටස නැතුව භාවිත කරන විට එය එම වාක්‍යයේ කර්තෘ පිළිබඳ විස්තරයක් පමණයි. ඒ අනුව ‘වචනය’ නමැති තැනැත්තාව විස්තර කිරීමට “තෙඔස්” යන වචනය භාවිත කර තියෙන්නේ ඔහු සියලු බලැති දෙවියන් කියා පැවසීමට නොවේ. ඒ වෙනුවට ඔහු දෙවියන්ට සමාන ගතිලක්ෂණ ඇති ඉතා බලවත් කෙනෙකු බව විස්තර කිරීමටයි.”

c යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.