Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

රෝම 12:12 - “බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න”

රෝම 12:12 - “බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න”

 “ඔබට තිබෙන බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න. පීඩා පැමිණෙන විට විඳදරාගන්න. නොකඩවාම යාච්ඤා කරන්න.”—රෝම 12:12, ‘නව ලොව පරිවර්තනය.’

 “බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න.”—රෝම 12:12, ‘පැරණි අනුවාදය.’

රෝම 12:12 අදහස

 මේ බයිබල් පදේ පාවුල් රෝමයේ හිටපු ක්‍රිස්තියානීන්ට පීඩා, විරුද්ධවාදිකම් මැද දිගටම විශ්වාසවන්තව ඉන්න උදව් වෙන දේවල් තුනක් ගැන කතා කරනවා.

 “බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න.” ක්‍රිස්තියානීන්ට පුදුමාකාර බලාපොරොත්තුවක් තියෙනවා. බයිබලේ කියනවා සමහර අයට ස්වර්ගයේ සදාකාල ජීවිතයත් වැඩිදෙනෙක්ට පාරාදීස පොළොවක සදාකල් ජීවිතයත් ලැබෙනවා කියලා. (ගීතාවලිය 37:29; යොහන් 3:16; එළිදරව් 14:1-4; 21:3, 4) දේවරාජ්‍යයෙන් a මේ පොළොවේ තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳන විදිහ එයාලට ඇස් දෙකෙන්ම දැක බලා ගන්න අවස්ථාව තියෙනවා. (දානියෙල් 2:44; මතෙව් 6:10) ඒ නිසයි කොච්චර පීඩා ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණත් එයාලා සතුටින් ඉන්නේ. මොකද දිගටම විඳදරාගෙන ඉන්න එකෙන් දෙවියන්ගේ අනුමැතිය ලැබෙනවා කියලත් එයාලගේ බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලත් එයාලට කිසිම සැකයක් නැහැ.—මතෙව් 5:11, 12; රෝම 5:3-5.

 “පීඩා පැමිණෙන විට විඳදරාගන්න.” බයිබලේ “විඳදරාගැනීම” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයෙන් “පැනලා යන්නේ නැතුව ප්‍රශ්නෙට මුහුණ දෙන එක, කොච්චර අමාරු වුණත් දෙයක් දිගටම කරන එක සහ විශ්වාසය අත්හරින්නේ නැතුව ඉන්න එක” අදහස් වෙනවා. ක්‍රිස්තියානීන් “මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසා” b එයාලට කොහොමත් පීඩාවලට මුහුණ දෙන්න වෙනවා කියලා එයාලා දන්නවා. (යොහන් 15:18-20; 2 තිමෝති 3:12) ඒ නිසයි දිගටම විඳදරාගන්න එක වැදගත් වෙන්නේ. කෙනෙක් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉඳලා විඳදරාගද්දී දෙවියන් එයාට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. (මතෙව් 24:13) ඒ විශ්වාසය තමයි එයාට උදව් වෙන්නේ මොන ප්‍රශ්න ආවත් දිගටම ඉවසීමෙන්, සතුටින් ඒවා විඳදරාගන්න.—කොලොස්සි 1:11.

 “නොකඩවාම යාච්ඤා කරන්න.” දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න නම් දිගටම යාච්ඤා කරන්න කියලා බයිබලේ සැරින් සැරේ ක්‍රිස්තියානීන්ව දිරිගන්වලා තියෙනවා. (ලූක් 11:9; 18:1) ඒ නිසයි එයාලා ජීවිතේ හැම කාරණයකදීම යාච්ඤා කරලා දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන්නේ. ඒ වගේම දෙවියන් මත රඳා ඉන්නේ. (කොලොස්සි 4:2; 1 තෙසලෝනික 5:17) මොකද එයාලට හොඳටම විශ්වාසයි එයාලා දෙවියන් දීලා තියෙන නීතිවලට කීකරු වෙද්දී, ඔහුව සතුටු කරන්න එයාලට පුළුවන් හැම දේම කරද්දී දෙවියන් අනිවාර්යයෙන්ම එයාලට ඇහුම්කන් දෙනවා කියලා. (1 යොහන් 3:22; 5:14) ඒ වගේම දිගටම යාච්ඤා කරද්දී ඕනම දෙයක් දරාගන්න අවශ්‍ය ශක්තියත් දෙවියන් දෙනවා කියලා එයාලා දන්නවා.—ෆිලිප්පි 4:13.

රෝම 12:12 අවට පද

 ක්‍රි.ව. 56දී පාවුල් මේ ලිපිය ලියන්නේ රෝමයේ හිටපු ක්‍රිස්තියානීන්ට. ඒකේ 12වෙනි පරිච්ඡේදයේ දෙවියන් කැමති ගුණාංග වර්ධනය කරගන්න විදිහ ගැන, ක්‍රිස්තියානීන් එක්ක සහ අනිත් අයත් එක්ක පෑහිලා වැඩ කරන විදිහ ගැන වගේම පීඩා මැද දිගටම සාමකාමීව ඉන්න පුළුවන් විදිහ ගැන පාවුල් කතා කරලා තියෙනවා. (රෝම 12:9-21) රෝමයේ හිටපු ක්‍රිස්තියානීන්ට ඒ මඟ පෙන්වීම් ලැබුණේ හරිම වෙලාවේදී. මොකද වැඩි කල් යන්න කලින් එයාලට හුඟක් පීඩාවලට මුහුණ දෙන්න වුණා.

 ඊට අවුරුදු කීපයකට පස්සේ ඒ කියන්නේ ක්‍රි.ව. 64දී රෝමයේ ලොකු ගින්නක් ඇති වුණා. ඒ කාලෙම කටකතාවක් පැතිරුණා ඒකට වග කියන්න ඕනෙ නීරෝ අධිරාජ්‍යයා කියලා. රෝම ඉතිහාසඥ ටැසිටස් කියන විදිහට මේ චෝදනාවෙන් බේරෙන්න නීරෝ ඒක ක්‍රිස්තියානීන් පිට පැටෙව්වා. පේන විදිහට ඒත් එක්කම ක්‍රිස්තියානීන්ට පීඩා රැල්ලකට මුහුණ දෙන්න වුණා. ඒත් එකට එක කරන්නේ නැතුව, විශ්වාසය රැකගෙන දිගටම විඳදරාගන්න පාවුල් දීපු මඟ පෙන්වීම් එදා හිටපු ක්‍රිස්තියානීන්ට ගොඩක් උදව් වුණා. (1 තෙසලෝනික 5:15; 1 පේතෘස් 3:9) එයාලගේ ආදර්ශය අද ඉන්න අපිටත් හුඟක් වටිනවා.

 රෝම පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ දෙවියන් පොළොව සම්බන්ධයෙන් තමන්ගේ අරමුණ ඉටු කරන්න ස්වර්ගයේ පිහිටුවලා තියෙන ආණ්ඩුවක්. ඒ ගැන වැඩි විස්තර දැනගන්න “දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.

b බයිබලේ සමහර තැන්වල “ලෝකය” කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ දෙවියන්ගෙන් ඈත් වුණ මිනිස්සුන්ව විස්තර කරන්න.