Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

හෙබ්‍රෙව් 11:1 - “ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය”

හෙබ්‍රෙව් 11:1 - “ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය”

 “විශ්වාසය යනු තමන් බලාපොරොත්තු වන දේවල් ඉටු වන බව කිසි ලෙසකින්වත් සැක නොකිරීමයි. එසේම තමන් විශ්වාස කරන දේ ඇසට නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි ඇති නිසා ඒවා නිසැකව පිළිගැනීමයි.”—හෙබ්‍රෙව් 11:1, ‘නව ලොව පරිවර්තනය.’

 “ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.”—හෙබ්‍රෙව් 11:1, ‘පැරණි අනුවාදය.’

හෙබ්‍රෙව් 11:1 අදහස

 දෙවියන් ගැන අපිට තියෙන්න ඕනෙ මොන වගේ විශ්වාසයක්ද කියලා මේ පදයේ පැහැදිලිව විස්තර කරලා තියෙනවා. විශ්වාසය කියන්නේ යම් දෙයක් නිකම්ම පිළිගන්න එක නෙවෙයි කියලත් ඒ පදයෙන් පැහැදිලි වෙනවා.

 “විශ්වාසය යනු තමන් බලාපොරොත්තු වන දේවල් ඉටු වන බව කිසි ලෙසකින්වත් සැක නොකිරීමයි.” හෙබ්‍රෙව් 11:1 “විශ්වාසය” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයට “කිසි සැකයක් නැහැ, ස්ථිර විශ්වාසයක්” කියන අදහසුත් ඇතුළත් වෙනවා. සැබෑ විශ්වාසයක් කියන්නේ තමන් ආස දේ දවසක ඉටු වෙයි කියලා නිකම්ම හිතින් මවාගෙන ඉන්න එක නෙවෙයි. හෙබ්‍රෙව් 11:1 කියන විදිහට ඒ වගේ විශ්වාසයක් තියෙන කෙනෙක්, ඉටු වෙයි කියලා එයා බලාගෙන ඉන්න දේ අනිවාර්යයෙන්ම වෙනවා කියන එක ගැන පොඩ්ඩක්වත් සැක කරන්නේ නැහැ. ඒ පදයේ “කිසි ලෙසකින්වත් සැක නොකිරීම” කියන අදහස දෙන්න පාවිච්චි කරලා තියෙන ග්‍රීක වචනය “ඔප්පුවක්” විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්. කෙනෙක්ගේ අතට තමන්ට අයිති ඉඩමක ඔප්පුව ලැබුණාම එයා ඒ ඉඩම තාම දැකලා නැති වුණත් අනිවාර්යයෙන්ම ඒ ඉඩම එයාට අයිතියි, ඒක එයාට ලැබෙනවා කියලා එයා දන්නවා. ඒ ගැන එයාට පුංචිම සැකයක්වත් නැහැ. විශ්වාසයෙන් ඉන්න කෙනෙකුත් ඒ වගේ. එයා බලාපොරොත්තු වෙන දේවල් ඉටු වෙනවා කියලා එයාට කිසිම සැකයක් නැහැ.

 ‘විශ්වාසය යනු තමන් විශ්වාස කරන දේ ඇසට නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි ඇති නිසා ඒවා නිසැකව පිළිගැනීමයි.’ සැබෑ විශ්වාසයක් ඇති කරගන්න ස්ථිර සාක්ෂි තියෙන්නම ඕනේ. කෙනෙක්ට ඒ සාක්ෂි උදව් වෙනවා යම් දෙයක් ඇහැට පේන්නේ නැති වුණත් ඒක ඇත්තටම තියෙනවා කියලා පිළිගන්න.

හෙබ්‍රෙව් 11:1 අවට පද

 හෙබ්‍රෙව් පොතේ සඳහන් වෙන්නේ මුල් සියවසේ යෙරුසලමේ සහ ඒ අවට හිටපු ක්‍රිස්තියානීන්ට පාවුල් ලියපු තොරතුරු. විශ්වාසය කොච්චර වැදගත්ද කියලා පාවුල් මේ ලිපියෙන් එයාලට කාවැද්දුවා. උදාහරණෙකට එයා මෙහෙම කිව්වා. “යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම් ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක. මන්ද දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත් දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ඔහු ආශීර්වාද කරන බවත් විශ්වාස කළ යුතුයි.” (හෙබ්‍රෙව් 11:6) හෙබ්‍රෙව් 11:1න් විශ්වාසය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කළාට පස්සේ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නපු අය ගැනත් පාවුල් කිව්වා. ඒ අය විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නුවේ කොහොමද කියලත් එයා මතක් කළා.—හෙබ්‍රෙව් 11:4-38.