Skip to content

නිර්මාණයක්ද?

නියමු තල්මසාගේ නම් ඇඟේ එල්ලෙනවා බොරු

නියමු තල්මසාගේ නම් ඇඟේ එල්ලෙනවා බොරු

 නැව් බඳක ඇලිලා ඉන්න බෙල්ලන් වගේ කුඩා සමුද්‍ර ජීවීන්ව ඔයා දැකලා තියෙනවාද? නැව් හිමියන්ට නම් උන් මහා හිසරදයක්. නැව් බඳේ ඇලෙන මේ කුඩා ජීවීන් බඳ පුරාම බෝ වෙනවා. ඒ නිසා නැවේ වේගය අඩු වෙනවා විතරක් නෙමෙයි ගමනට වැය වෙන ඉන්ධන ප්‍රමාණයත් වැඩි වෙනවා. අවුරුදු කීපයකට සැරයක් විශාල මුදලක් වැය කරලා නැව් බඳ පිරිසිදු කරන්නත් වෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න විද්‍යාඥයන් පරිසරය දෙසට අවධානය යොමු කරලා තියෙනවා.

 මේ ගැන හිතන්න: දිගු වරල් සහිත නියමු තල්මසාගේ (Globicephala melas) සමේ අපූරු ක්‍රියාවලියක් සිදු වෙනවා කියලා අධ්‍යයනවලින් සොයාගෙන තියෙනවා. ඒ නිසා නියමු තල්මසාට ඌගේ සම පිරිසිදු කරගැනීමට හැකියාවක් තියෙනවා. නියමු තල්මසාගේ සමේ පියවි ඇසට නොපෙනෙන ඒ මේ අත විහිදුණු කාණු තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ සිහින් කාණු අතර තියෙන හිඩැස් සමුද්‍ර ජීවීන්ට අහිතකර ජෙල් වර්ගයකින් වැහිලා තියෙනවා. කාලෙන් කාලෙට සම අලුත් වෙද්දී ජෙල් තට්ටුව ගැලවිලා අලුත් ජෙල් තට්ටුවක් හැදෙනවා. උගේ හම හැදිලා තියෙන මේ අපූරු විදිහ නිසා බෙල්ලන් වැනි කුඩා සමුද්‍ර ජීවීන්ට උගේ ඇඟේ එල්ලිලා ඉන්න අමාරුයි.

 නැවක බඳ පිරිසිදු කිරීමටත් මේ ක්‍රමය අනුකරණය කරන්න පුළුවන්ද කියලා විද්‍යාඥයන් අධ්‍යයනය කළා. මොකද කාලෙකට ඉහතදී මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට නැව් බඳේ තීන්ත වර්ගයක් ආලේප කළත් ඒ තීන්ත සමුද්‍ර ජීවීන්ට විෂ සහිතයි කියලා හොයාගත්තාට පස්සේ ඒවා තහනම් කළා. නියමු තල්මසාගේ සමේ සිදු වෙන ක්‍රියාවලිය අනුකරණය කරලා හොයාගෙන තියෙන අලුත් ක්‍රමය නම් සමුද්‍ර ජීවීන්ට හානිකර නැහැ. නැව් බඳ ආරක්ෂා කිරීමට බඳ පුරාම සිහින් සිදුරු සහිත විශේෂ දැල් ආවරණයක් සවි කරනවා. මේ ආවරණයේ ඇති සිදුරුවලින් රසායනික ද්‍රව්‍යයක් නිකුත් වෙනවා. ඒ ද්‍රව්‍යය මුහුදු ජලය සමඟ මිශ්‍ර වුණාම මිලි මීටර් 0.7ක් පමණ ඝනකම ඇලෙන සුළු ජෙල් තට්ටුවක් හැදෙනවා. ඒකෙන් මුළු නැව් බඳම ආවරණය වෙනවා. නියමු තල්මසාගේ සමේ තියෙන ජෙල් තට්ටුව වගේ මේ ජෙල් තට්ටුවත් පරණ වෙද්දී ගැලවිලා යනවා. එතකොට ඒකේ ඇලිලා හිටපු බෙල්ලන් වැනි සමුද්‍ර ජීවීනුත් ඒ එක්කම ඉවත් වෙනවා. ඊටපස්සේ අලුත් ජෙල් තට්ටුවක් හැදිලා නැව් බඳ ආරක්ෂා වෙනවා.

නැව් බඳේ ඇලෙන බෙල්ලන් වැනි කුඩා ජීවීන් නිසා නැවේ වේගය අඩාළ වෙනවා. ඒවා ඉවත් කරන්නත් ලේසි නැහැ

 මේ ක්‍රමය නිසා බෙල්ලන් ඇතුළු සමුද්‍ර ජීවීන් නැව් බඳ මත ඇලෙන එක සම්පූර්ණයෙන්ම වගේ වළක්වාගන්න පුළුවන් කියලා පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. නැව් පිරිසිදු කරන්න වැය වෙන විශාල මුදල ඉතුරු කරගන්න පුළුවන් නිසා නැව් සමාගම්වලටත් මේ ක්‍රමය ගොඩක් වාසිදායක වෙයි.

 ඔයාගේ නිගමනය මොකක්ද? නියමු තල්මසාගේ සමේ සිදු වෙන මේ ක්‍රියාවලිය ඌට ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් එය කාගේ හරි නිර්මාණයක්ද?