Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට වෙනම බයිබලයක් තියෙනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට වෙනම බයිබලයක් තියෙනවාද?

 බයිබලය ගැන අධ්‍යයනය කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟක් බයිබල් පරිවර්තන යොදාගෙන තියෙනවා. ඒත් දැනටමත් තමන්ගේම භාෂාවෙන් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ තියෙන අය ඒක හුඟක් අගය කරනවා. ඒකට හේතුව, ඒකේ දෙවියන්ගේ නම සඳහන් වීම, ඒකේ නිවැරදිභාවය හා පැහැදිලිකමයි.

  •   දෙවියන්ගේ නම සඳහන් වීම. බයිබලය පරිවර්තනය කරද්දී ඒකේ කර්තෘට නිසි ගෞරවය දෙන්න සමහර බයිබල් ප්‍රකාශකයන් අසමත් වෙලා තියෙනවා. උදාහරණයකට, එක බයිබල් පරිවර්තනයක් පළ කරන්න සුළු වශයෙන් හෝ දායක වුණ 70කට වැඩි පිරිසකගේ නම් ඒකේ සඳහන් කළත් බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවියන්ගේ නම ඒකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා!

     ඊට හාත්පසින්ම වෙනස්ව, බයිබලයේ මුල් පිටපත්වල තැන් දහස් ගණනක දෙවියන්ගේ නම සඳහන් වෙලා තිබුණ තැන්වලම ‘නව ලොව පරිවර්තනයෙත්’ දෙවියන්ගේ නම සඳහන් කරලා තියෙනවා. හැබැයි පරිවර්තනය කරන්න දායක වුණ කමිටුවේ කිසි කෙනෙක්ගේ නම් ඒකේ සඳහන් වෙන්නේ නැහැ.

  •   නිවැරදිභාවය. මුල් බයිබලයේ තියෙන අදහස් හැම බයිබලයකම නිවැරදිව පරිවර්තනය කරලා නැහැ. නිදසුනකට, එක පරිවර්තනයක මතෙව් 7:13වෙනි පදය පරිවර්තනය කරලා තිබුණේ ‘පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. මන්ද නිරයට ඇතුල් වන දොරටුව විශාලය. පාරත් පළලය. එහි පහසුවෙන් යා හැකිය’ කියලයි. ඒ වුණත් මුල් භාෂාවෙන් සඳහන් වෙලා තිබුණේ “විනාශය” කියලා මිසක “නිරය” කියලා නෙමෙයි. පරිවර්තකයන් “නිරය” කියන වචනය ඇතුළත් කළේ දුෂ්ට අය නිරාගින්නේ සදහටම දැවි දැවී ඉන්නවා කියලා විශ්වාස කරපු නිසා වෙන්න පුළුවන්. හැබැයි බයිබලයේ කොහොමටවත් ඒ වගේ දෙයක් කියන්නේ නැහැ. ඒ නිසා ‘නව ලොව පරිවර්තනයේ’ ඒක නිවැරදිව මේ විදිහට සඳහන් වෙනවා.“පටු දොරටුවෙන් ඇතුල් වන්න. මන්ද විනාශය කරා යන පාර පළල්. එහි බොහෝ ඉඩකඩද තිබෙනවා. එයින් ඇතුල් වන්නන්ද බොහෝයි.”

  •   පැහැදිලිකම. හොඳ පරිවර්තනයක් නිවැරදි එකක් විතරක් නෙමෙයි පැහැදිලි වගේම පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් එකකුත් වෙන්න ඕනේ. මේ උදාහරණය බලන්න. යේසුස්ගේ නියෝජිතයෙක් වන පාවුල් රෝම 12:11 කිව්ව දේ වචනානුසාරයෙන්ම පරිවර්තනය කළොත් “උතුරන ආත්මයට” කියන අදහසයි එන්නේ. හැබැයි දැන් පාවිච්චි කරන ඉංග්‍රීසි භාෂාවට අනුව නම් ඒ කියමනේ කිසි තේරුමක් නැහැ. ‘නව ලොව පරිවර්තනයේ’ ඒ අදහස පැහැදිලිව දක්වලා තියෙන්නේ මෙහෙමයි. “දෙවිගේ බලය ලබා උද්‍යෝගිමත් වන්න.”

 දෙවියන්ගේ නම සඳහන් වීම, නිවැරදිභාවය හා පැහැදිලිකම යන දේවලට අමතරව තියෙන තවත් විශේෂ දෙයක් නිසා ‘නව ලොව පරිවර්තනය’අනිත් පරිවර්තනවලට වඩා විශිෂ්ටයි. ඒ, කිසිම අය කිරීමකින් තොරව ඒක බෙදාහරින නිසයි. ප්‍රතිඵලයක් හැටියට මිලියන සංඛ්‍යාත සෙනඟකට, සල්ලි නැති අයට පවා තමන්ගේම භාෂාවෙන් බයිබලය කියවන්න පුළුවන් වෙලා තියෙනවා.