Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විද්‍යාව ගැන හිතන්නේ මොකක්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විද්‍යාව ගැන හිතන්නේ මොකක්ද?

 විද්‍යාවේ දියුණුව නිසා සොයාගන්න දේවල් අපි අගය කරන අතර සාක්ෂි ඇතුව විද්‍යාවෙන් ඔප්පු කරන දේවල් අපි පිළිගන්නවා.

 “විද්‍යාව කියන්නේ විශ්වය, ඒකේ තියෙන දේවල් ගැන කරන අධ්‍යයනයක් සහ ඒ අධ්‍යයනයේ ප්‍රතිඵලයක් හැටියට ලබාගන්නා දැනුමටයි” කියලා ශබ්දකෝෂයක සඳහන් වෙනවා. (Collins Cobuild Advanced Learner’s English Dictionary) බයිබලය, විද්‍යාව ගැන උගන්වන පොතක් නෙමෙයි. ඒත් බයිබලයේ උනන්දු කරලා තියෙනවා අවට පරිසරයේ තියෙන දේවල් අධ්‍යයනය කරන්න කියලා. ඒ වගේම අනිත් අය ඒ වගේ අධ්‍යයනයක් කරලාසොයාගන්න දේවලින් ඉගෙනගන්න කියලත් ඒකේ දිරිගන්වලා තියෙනවා. මේ උදාහරණ බලන්න:

  •   තාරකා විද්‍යාව: “අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද? තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය.”—යෙසායා 40:26.

  •   ජීව විද්‍යාව: “ලෙබනොන්හි වැඩෙන දේවදාර වැනි අතිවිශාල ගස් ගැන පමණක් නොව බිත්තිවල වැවෙන හිසොප් වැනි කුඩා පැළ ගැනද ඔහු [සලමොන්] විස්තර කළේය. එමෙන්ම මෘගයන් ගැනත් පක්ෂීන් ගැනත් කුඩා සතුන් ගැනත් මත්ස්‍යයන් ගැනත් විස්තර කිරීමේ හැකියාව ඔහුට තිබිණ.”—1 රාජාවලිය 4:33.

  •   වෛද්‍ය විද්‍යාව: “රෝගීන්ට මිස නිරෝගී අයට වෛද්‍යවරයෙකුගෙන් වැඩක් නැහැ.”—ලූක් 5:31.

  •   කාලගුණ විද්‍යාව: “ඔබ හිම කැට ගබඩා කළ ස්ථාන ඇතුළට ගොස් තිබෙනවාද? එසේත් නැත්නම්, හිම කැට ගබඩා කළ තැන් ඔබ දුටුවාද? . . . නැඟෙනහිරෙන් හමා එන සුළඟ පොළොව පුරා පැතිර යන්නෙත් කොහොමද කියා ඔබ දන්නවාද?”—යෝබ් 38:22-24.

 අවට පරිසරයේ තියෙන දේවල් ගැන, විද්‍යාවෙන් සොයාගෙන තියෙන දේවල් ගැන අපේ ප්‍රකාශනවල නිතරම ලිපි පළ වෙනවා. විද්‍යාව ගැන අපිට තියෙන අගය තවත් වැඩි කරගන්න ඒවා උදව් වෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරේ ඉන්න දෙමාපියන් තමන්ගේ දරුවන්ට උනන්දු කරන්නේ නිසි අධ්‍යාපනයක් ලබාගන්න කියලයි. මොකද අවට පරිසරය ගැන හොඳ අවබෝධයක් ලබාගන්න ඒ අධ්‍යාපනය වැදගත් කියලා එයාලා දන්නවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර ඉන්න සමහරදෙනෙක් ජීව රසායන විද්‍යාව, ගණිතය, භෞතික විද්‍යාව ඇතුළු විද්‍යාවට සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවල රැකියාවන් පවා කරනවා.

විද්‍යාවට තියෙන සීමාවන්

 මිනිසුන්ට තියෙන හැම ප්‍රශ්නයකටම විසඳුම් විද්‍යාවෙන් සොයාගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. a මේ ගැන හිතන්න. පොළොවේ සැකැස්ම ගැන භූ විද්‍යාඥයන් තොරතුරු හොයනවා. ශරීරයේ අවයවයන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ජීව විද්‍යාඥයන් අධ්‍යයනය කරනවා. ඒත් ජීවයේ පැවැත්මට අවශ්‍ය විදිහට පොළොවේ තියෙන හැම දෙයක්ම තිතටම ක්‍රියාත්මක වෙන්නේ ඇයි? ශරීරයේ හැම අවයවයක්ම සහයෝගයෙන් වැඩ කරන්නේ ඇයි? ඒ ප්‍රශ්නවලට උත්තර විද්‍යාවෙන් සොයාගෙන නැහැ.

 ඒ වගේ ප්‍රශ්නවලට උත්තර තියෙන්නේ බයිබලයේ විතරයි කියලා අපිට කිසිම සැකයක් නැහැ. (ගීතාවලිය 139:13-16; යෙසායා 45:18) ඒ නිසයි අපි විශ්වාස කරන්නේ දේවල් ගැන හොඳට දැනුවත් වෙන්න නම් බයිබලයේ සඳහන් දේවල් ගැනත් විද්‍යාවෙන් සොයාගෙන තියෙන දේවල් ගැනත් අපි අධ්‍යයනය කරන්න ඕනෙ කියලා.

 බයිබලයේ තියෙන දේවල් විද්‍යාවට එකඟ නැහැ වගේ පේන අවස්ථා තියෙනවා. එහෙම වෙන්නේ බයිබලේ සඳහන් වෙලා තියෙන දේවල් වරදවා වටහාගන්න නිසයි. උදාහරණෙකට පොළොව නිර්මාණය කළේ පැය 24 දවස් 6කින් කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.—උත්පත්ති 1:1; 2:4.

 විද්‍යාත්මක දේවල් හැටියට ප්‍රසිද්ධ සමහර න්‍යායන් හරියි කියලා ඔප්පු කරන්න ප්‍රමාණවත් සාක්ෂි නැහැ. ඒ නිසා විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා ඒ න්‍යායන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපි අවට පරිසරයේ තියෙන දේවල් දිහා බලද්දී බුද්ධිමත් නිර්මාණකරුවෙක් ඉන්නවා කියන දේ පැහැදිලිව ඔප්පු වෙනවා. ඒ නිසා ස්වාභාවික වරණයේ හා විකෘති වීමේ ප්‍රතිඵලයක් විදිහට ජීවීන් පරිණාමය වුණා කියලා ජීව විද්‍යාඥයන්, රසායන විද්‍යාඥයන් හුඟදෙනෙක් ඇතුළු තවත් ප්‍රවීණයන් පිළිගන්නේ නැහැ. අපිත් එයාලා එක්ක එකඟයි.

a ඔස්ට්‍රියාවේ භෞතික විද්‍යාඥයෙක් වන නොබෙල් ත්‍යාගලාභී අර්වින් ශ්‍රෝඩිංගර් මේ වගේ දෙයක් ලිව්වා. ‘අපේ හිතට වද දෙන, අපි ඇත්තටම සැලකිලිමත් වෙන ප්‍රශ්නවලට උත්තර විද්‍යාවෙන් සොයාගන්න බැහැ.’ ඇල්බර්ට් අයින්ස්ටයින් මෙහෙම කිව්වා. “කොච්චර හොඳට හිතලා බලලා සැලසුම් යෙදුවත් අපිට තියෙන ප්‍රශ්න විසඳන්න බැහැ කියලා අපි අද්දැකීමෙන්ම ඉගෙනගෙන තියෙනවා.”