Skip to content

සිය දිවි හානි කරගන්න ගත්ත තීරණය වෙනස් කරයි

සිය දිවි හානි කරගන්න ගත්ත තීරණය වෙනස් කරයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් ගෙයින් ගෙට දේශනා සේවයේ යන අතරේ එක්තරා ගෙදරක දොරට තට්ටු කළා. ටික වෙලාවකින් දොර ඇරගෙන ඔවුන් ඉස්සරහට ආවේ පිරිමි කෙනෙක්. ඔහු හිටියේ ලොකු වේදනාවකින් කියලත් ගේ ඇතුලේ කඹයක් එල්ලලා තියෙනවත් ඔවුන් දැක්කා.

ඒ පුද්ගලයා එන්න කියපු නිසා සාක්ෂිකරුවන් දෙන්නා ගේ ඇතුළට යන අතරේ ඔහුගෙන් ඇහුවා ඇයි මේ කඹයක් එල්ලෙන්නේ කියලා. ඔහු කියපු විදිහට සාක්ෂිකරුවන් දොරට තට්ටු කරලා තියෙන්නේ ඔහු එල්ලිලා මැරෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දියි. දොරට තට්ටු කරන සද්දේ ඇහුණාම අන්තිම පාරට ගිහින් දොර ඇරලා බලනවා කියලා ඔහු හිතලා. ඒ පුද්ගලයාට කාරණා තේරුම් කරලා දුන්න සාක්ෂිකරුවන් දෙන්නා වෛද්‍යවරයෙක් ළඟට ඔහුව එක්කගෙන ගියා.

ඒ සිද්ධිය පළ වුණේ බෙල්ජියම් පුවත්පතක. සිය දිවි හානි කරගන්න තීරණය කරපු කෙනෙක්ට ඒ අදහස වෙනස් කරගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උදව් කරපු එකම අවස්ථාව ඒක නෙමෙයි. වෙනත් රටවලින් වාර්තා වෙලා තියෙන ඒ හා සමාන අද්දැකීම් කීපයක් බලන්න.

ග්‍රීසියේ ජීවත් වෙන කාන්තාවක් මෙහෙම ලිව්වා. “මාත් එක්ක එකට ජීවත් වුණ මගේ පෙම්වතා මාව දාලා ගිය නිසා මගේ හිත හොඳටම පෑරුණා. මම කොච්චර කලකිරුණද කියනවා නම් මං මගේ ජීවිතේ නැති කරගන්න හිතුවා. මට ඕන වුණේ මේ වේදනාවෙන් නිදහස් වෙන්නයි. මැරෙනවා කියලා හිතද්දීත් මට ලොකු සහනයක් දැනුණා.”

ඒත් එයා ඒ තත්වයෙන් ගොඩ එන්න වෛද්‍ය උපදෙස් පැතුවා. ටික දවසකට පස්සේ ඇය සාක්ෂිකරුවන්ව හමු වෙලා බයිබල් පාඩමක් කරන්න පටන්ගත්තා. ඊටපස්සේ ඇය සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලටත් ගියා. එයා මෙහෙම කියනවා. “අවුරුදු ගාණක් තිස්සේ අනිත් අය ගැන අවංකව සැලකිල්ලක් දක්වන අයගේ ආදරේ මම හෙව්වා. සාක්ෂිකරුවන් අතරේ ඒ ආදරේ තියෙනවා. විශ්වාස කරන්න පුළුවන් යාළුවෝ දැන් මට ඉන්නවා. අනාගතය ගැන මට කිසිම බයක් නෑ. මගේ මනසට සහනයක් වගේම හිතට ලොකු සතුටක් දැනෙනවා.”

මේ අද්දැකීම එව්වේ එංගලන්තයේ ඉන්න සාක්ෂිකාරියක්. “මම දන්න කියන කෙනෙක් දවසක් මට කෝල් කරලා කිව්වා එදා රෑ එයා එයාගේ ජීවිතේ නැති කරගන්නවා කියලා. එයා හිටියේ ලොකු වේදනාවකින්. 2008 මැයි මාසේ ‘පිබිදෙව්!’ සාඟරාවේ පළ වුණ ලිපියක තිබුණ තොරතුරු පාවිච්චි කරලා සමහර පැති ගැන හිතන්න මං එයාට උදව් කළා. එයාට සහනයක් වෙයි කියලා හිතපු බයිබල් පද කීපයකුත් මං එයාත් එක්ක බෙදාගත්තා. එයාගේ ප්‍රශ්න තාම ඉවර නෑ. ඒත් දැන් එයා ජීවිතේ නැති කරගන්න එක ගැන නම් හිතන්නේ නෑ.”

ඝානාවේ ජීවත් වෙන මයිකල් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. එයාත් එක්ක වැඩපොළේ හිටපු තරුණ කාන්තාවක් එක්ක එයා සුහදව කතාබහ කළා. ඒත් දවසක් ඒ කාන්තාව ලොකු දුකකින් ඉන්නවා කියලා දැක්ක නිසා මයිකල් ඒ ගැන එයාගෙන් ඇහුවා.

ඒ කාන්තාවගේ සැමියා එයාව අතහැරලා වෙනත් කාන්තාවක් එක්ක ගිහින්. ඒ නිසා ජීවිතේ නැති කරගන්න හිතෙනවා කියලා ඇය මයිකල්ට කිව්වා. මයිකල් එයාව සනසලා බයිබලේ තොරතුරු තියෙන පොත් ක් එයාට දුන්නා. ඒ පොත්වල තිබුණ තොරතුරු නිසා සිය දිවි නසාගන්න එයා ගත්ත තීරණය වෙනස් කරගත්තා. දිගටම සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරපු ඇය, දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්.

එක්සත් ජනපදයේ පුවත්පතක පළ වුණ මේ වාර්තාව බලන්න. පාර අයිනේ නවත්වලා තිබුණ කාර් එකක් වෙතට දේශනා සේවයේ හවුල් වෙමින් හිටපු තරුණ සාක්ෂිකරුවෙකුගේ අවධානය යොමු වුණා. නවත්වලා තිබුණත් ඒකේ එන්ජිම පණ ගන්වලයි තිබුණේ.

“කාර් එකේ සයිලන්සර් එකට රබර් බටයක් හයි කරලා තියෙනවා මං දැක්කා. ඒ බටේ අනිත් කෙළවර කාර් එකේ වීදුරුවක් ටිකක් පාත් කරලා ඇතුළට දාලා ඒ හිඩස ටේප් ගහලා වහලා තිබුණා.

“මං ඉක්මනට කාර් එක ළඟට ගිහින් බලද්දී ඒක ඇතුළේ හිටපු කාන්තාවක් අඬඅඬා හිටියා. කාර් එක ඇතුළ තද දුමෙන් පිරිලා. ‘මොකක්ද ඔයා මේ කරන්නේ’ කියලා මං ඇහුවා.

“පිටිපස්සේ සීට් එකේ පොඩි ළමයි තුන්දෙනෙකුත් ඉන්නවා කියලා මං දැක්කේ කාර් එකේ දොර අරින්න හදනකොටයි. මං දොර අරිද්දී ඒ කාන්තාව කෑගහලා කිව්වා ‘මට යන්න දෙන්න! යන්න දෙන්න! මගේ ළමයින්වත් මං එක්කගෙන යන්න ඕනෙ’ කියලා.

“‘මේක කරන්න එපා. ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ මේක නෙමෙයි’ කියලා මං එයාට කිව්වා.

“එතකොට එයා කිව්වා. ‘මට ස්වර්ගෙට යන්න ඕනෙ. මගේ ළමයින්වත් අරන් යන්න ඕනෙ’

“එයා ඒ විදිහට අඬනවා දැක්කම මගේ ඇස්වලටත් කඳුළු ආවා. මම දණින් වැටිලා ‘අනේ, මේක කරන්න එපා’ කියලා එයාට කිව්වා. ඊළඟට මම එයාව උස්සලා කාර් එකෙන් එළියට ගත්තා.

“‘අනේ මගේ ළමයින්වත් බේරගන්න’ කියලා එතකොට එයා කෑගැහුවා.

“මං කාර් එක ළඟට ගියාම ළමයි තුන්දෙනා අත් දික් කළා. වයස අවුරුදු 4 සහ 5 ගැහැනු ළමයි දෙන්නත් අවුරුදු 2 පිරිමි ළමයාත් කිසිම සද්දයක් නැතුව සීට් එකේ ඉඳගෙන හිටියා. තව ටික වෙලාවක් ගියා නම් මැරෙනවා කියලා ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ.

“හතරදෙනාවම කාර් එකෙන් එළියට ගත්තට පස්සේ මම කාර් එකේ එන්ජින් එක නතර කළා. අපි පස්දෙනාම ඒ ළඟ තිබුණ පොඩි තාප්පයක් උඩ ඉඳගත්තා. ඊටපස්සේ මම එයාට කිව්වා ‘ඔයාගේ ප්‍රශ්නේ ගැන මට කියන්න’ කියලා.”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ජීවිතය සලකන්නේ නිර්මාතෘගෙන් ලැබුණ වටිනා තෑග්ගක් විදිහටයි. තමන් ආදරේ කරන කෙනෙක් සිය දිවි නසාගත්ත නිසා ඒ ගැන දුකෙන් ඉන්න අයට අවශ්‍ය සහනය දෙන්නත් ජීවිතය නැති කරගන්න උත්සාහ කරපු අයට ඒ හැඟීම්වලින් ගොඩ එන්න අවශ්‍ය උදව් දෙන්නත් ලොව පුරා ඉන්න සාක්ෂිකරුවන් ඔවුන්ට පුළුවන් උපරිමය කරනවා.