Skip to content

ටුව දි ෆ්‍රාන්ස් පා පාපැදි තරඟයේදී සාක්ෂි දරයි

ටුව දි ෆ්‍රාන්ස් පා පාපැදි තරඟයේදී සාක්ෂි දරයි

ලෝක ප්‍රසිද්ධ ටුව ඩි ෆ්‍රාන්ස් පාපැදි තරඟය 103වන වතාවට 2016 ජූලි 2වෙනිදා සිට 24වෙනිදා දක්වා පැවැත්වුණා. ඊට කලින් අවුරුද්දේදී ප්‍රංශයේ සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් ජීවිත 100කට වැඩි ප්‍රමාණයක් බිලි වෙලා තිබුණ නිසා පැවතුණේ නොසන්සුන් වාතාවරණයක්. ප්‍රංශයට නිවාඩු දිනයක් වුණ 2016 ජූලි 14වෙනිදා ප්‍රංශයට නීස් නගරයේ මල්වෙඩි සංදර්ශනයක් නරඹමින් සිටි සෙනඟක් මැදට ත්‍රස්තවාදියෙක් ට්‍රක් රථයක් එළවගෙන ගියා. ඒ සිද්ධියෙන් 86දෙනෙක් මිය ගිය අතර තවත් හුඟදෙනෙක් තුවාල ලැබුවා.

කම්පනයට පත් වෙලා හිටපු අයට සහනයක් දෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ලොකු වුවමනාවක් තිබුණා. ඒ නිසා සාක්ෂිකරුවන් පාපැදි තරඟකරුවන් පහු කරන නගරවල ජංගම පුවරු තියාගෙන ප්‍රකාශන ප්‍රදර්ශනය කළා. ඒ විශේෂ වැඩසටහනට සාක්ෂිකරුවන් 1,400කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් සහභාගි වුණා. ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් හිටිය මිනිසුන්ට විවිධ ප්‍රකාශන 2,000කට වැඩියෙන් දෙන්න එයාලට පුළුවන් වුණා.

‘ඔයාලා හැම තැනම ඉන්නවා!’

පාපැදි තරඟාවලිය පසුපසින් ගිය රසිකයන් සාක්ෂිකරුවන් හැම තැනම ඉන්නවා දැකලා පුදුම වුණා. සාක්ෂිකරුවන් දේවල් සංවිධානය කරලා තිබුණ විදිහ නිසා, ඒ තරඟාවලියේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් කිහිප වතාවක්ම සාක්ෂිකරුවන්ට ප්‍රශංසා කළා. “තරඟකරුවන් පහුකරන් ගිය හැම නගරයකම ඔයාලා ඉන්නවා” කියලා එයාලා කිව්වා. ගොඩක් රසිකයනුත් “සාක්ෂිකරුවන් මෙහෙත් ඉන්නවා!” කියලා පුදුමයෙන් කිව්වා. තරඟය පටන් අරන් දින කිහිපයකට පස්සේ සාක්ෂිකරුවෙක් බස් රියදුරෙක්ට පත්‍රිකාවක් ඉදිරිපත් කළාම එයා කාරුණිකව ඒක ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුව එයාට ඒ වෙද්දීත් පත්‍රිකා හතරක්ම ලැබිලා තිබුණ නිසයි කියලා එයා කිව්වා.

සාක්ෂිකරුවන් හැම තැනම දැක්ක නිසා කුතුහලයට පත් වුණ සමහර අය පළවෙනි වතාවට ජංගම පුවරුවලින් ප්‍රකාශන අරගත්තා. රූපවාහිනී ක්‍රීඩා වැඩසටහනක සේවය කරන කෙනෙක් කලින් අවුරුද්දේ පාපැදි තරඟයේදීත් සාක්ෂිකරුවන්ව දැක්ක නිසා මේ සැරේ ජංගම පුවරුවක් ගාවට ගිහිල්ලා බලන්න තීරණය කළා. ‘පවුලේ සන්තෝෂයට රහස’ කියන පොතට එයාගේ හිත ගියා. එයාගේ වාහනේදීම පොත ටිකක් කියෙව්වාට පස්සේ එයා එක්ක වැඩ කරන අයටත් ජංගම පුවරුවල තියෙන ප්‍රකාශන ගැන එයා කිව්වා. එයාලත් විවිධ විෂයන් ගැන තියෙන ප්‍රකාශන ලබාගත්තා.

බලාපොරොත්තුවක් සහ විශ්වාසයක් ඇති කිරීම

ඒ තරඟාවලිය නරඹන්න ආපු සමහර අය සාක්ෂිකරුවන්ව හොයාගෙන ගිහිල්ලා එයාලගේ ප්‍රශ්න ගැන කිව්වා. එක තරුණියක් කිව්වා එයාට ජීවිතේ එපා වෙලා තියෙන්නේ. ඒ නිසා කෝච්චියකට පැනලා ජීවිතේ නැති කරගන්න හිතෙනවා කියලා. ඒත් දේවරාජ්‍යය යටතේ සාමකාමී අනාගතයක් ගැන බයිබලයේ තියෙන පණිවිඩය ඇහුවාට පස්සේ එයාට ලොකු සහනයක් දැනුණ නිසා සියදිවි නසාගන්න ගත්ත තීරණය එයා අත්හැරියා. තව කාන්තාවක් “මේ යහපත් වැඩේ දිගටම කරන්න!” කියලා සාක්ෂිකරුවන්ට කිව්වා.

කිහිලිකරු පාවිච්චි කරලා ඇවිදින කෙනෙක් කිව්වේ එයා සාමාන්‍යයෙන් දන්නේ නැති අයගෙන් උදව් ගන්නේ නැහැ කියලයි. ඒත් එක කාන්තාවක් එයාට උදව් කරන්න හැදුවාම ඒ කාන්තාව සාක්ෂිකරුවෙක් කියලා එයා ඇඳ පැළඳගෙන හිටිය විදිහෙන් ඒ කෙනා අඳුරගත්තා. ඒ නිසා එයා, ඒ කාන්තාවගේ උදව් පිළිගත්තා. එයා ඒ සහෝදරියට මෙහෙම කිව්වා. “ඔයා විනීතව ඇඳ පැළඳගෙන සිනාමුසු මුහුණින් හිටිය නිසා ඔයාව විශ්වාස කරන්න පුළුවන් කියලා මට හිතුණා.”