Skip to content

පටුනට යන්න

4වෙනි කොටස

වධ දෙන හිතක් - “මා කළ පාපය පහ කර මාව පවිත්‍ර කරන්න”

වධ දෙන හිතක් - “මා කළ පාපය පහ කර මාව පවිත්‍ර කරන්න”

“අලුත් රස්සාවෙන් මට හොඳ පඩියක් හම්බ වුණත් දෙවිගේ ප්‍රතිපත්ති බාල කරන දේවලුත් මගේ අතින් වුණා. දෙවි අනුමත නොකරන උත්සව සැමරුවා. දේශපාලනයට හවුල් වුණා. පල්ලිත් ගියා. අවුරුදු 40ක්ම මං යෙහෝවා දෙවිගෙන් ඈත් වෙලා හිටියා. දෙවිගෙන් සමාව ලබන්න මං වටින්නේ නැහැ කියලයි මට හිතුණේ. කල් යද්දී ඒ හැඟීම හිතේ තදින්ම කෙටුණා. මට හිතුණේ මගේ හිත මට කවදාවත් සමාව දෙන එකක් නැහැ කියලයි. මොකද මං ඒ වැරදි කළේ දැන දැනමයි.”—මාතා.

‘මං දෙවිට ද්‍රෝහි වුණා’ කියන හැඟීම එක්ක ජීවත් වෙන එක හිතට ලොකු බරක්. “මා කළ වැරදි මාගේ හිසටත් ඉහළින් තිබේ. විශාල බරක් මෙන් ඒවා මා පිට තිබේ. මට එය දරාගත නොහැක” කියලා කියපු දාවිත්ට වගේ සමහරුන්ටත් දැනෙනවා. (ගීතාවලිය 38:4) යෙහෝවා දෙවි මට කවදාවත් සමාව දෙන එකක් නැහැ කියලා හිතලා ඒ අය පුදුම විදිහට දුක් වෙනවා. (2 කොරින්ති 2:7) එහෙම හිතන එක හරිද? ඔයා අතින් බරපතළ වැරදි වෙලා තිබුණත් සමාව දෙන්න බැරි තරමට යෙහෝවා දෙවි ඔයාව ඈත් කරයි කියලා හිතනවද? කවදාවත් එහෙම හිතන්න එපා.

‘අපි සාකච්ඡා කර ප්‍රශ්නය නිරාකරණය කරගමු’

තමන්ගෙන් ඈත් වෙලා ගිය අයව අත්හැරලා දානවා වෙනුවට පසුතැවෙන අයව යෙහෝවා දෙවි හොයාගෙන යනවා. අකීකරු පුතාගේ උපමාවේ යේසුස්, යෙහෝවා දෙවිව සමාන කළේ තාත්තා කෙනෙකුට. කතාවේ හැටියට ඒ පුතා පවුලේ අයව අත්හැරලා ගිහින් නරක ජීවිතයක් ගත කරනවා. ඒත් කාලයක් ගියාම එයා තීරණය කළා ආයෙත් ගෙදර එන්න. “තම පුතාව ඈත තියා දුටු පියා තුළ මහත් අනුකම්පාවක් ඇති වී, ඔහු ළඟට දුව ගොස් ඔහුව මහත් ආදරයකින් සිප වැලඳගත්තා.” (ලූක් 15:11-20) ඔයාත් ඒ පුතා වගේ කියලා හිතෙනවද? දෙවි ළඟට යන්න ආයෙත් ඕනකමක් තිබුණත් ඔයා ඉන්නේ දෙවිගෙන් හුඟක් ඈතක කියලා දැනෙනවද? අපේ ආදරණීය දෙවි පියාණන්ට තියෙන්නේ දයානුකම්පාවෙන් උණු වෙන හිතක්. යේසුස්ගේ උපමාවේ තාත්තා වගේ ඔහුත් ඔයා එන කල් ආසාවෙන් බලාගෙන ඉන්නවා.

ඒත් ‘මං කරපු වැරදි සමාව දෙන්න බැරි තරම් බරපතළයි’ කියලා ඔයාට හිතෙනවද? නැත්නම් ‘ගණන් කරන්න බැරි තරම් වැරදි මං කරලා තියෙනවා’ කියලා ඔයා හිතනවද? එහෙමනම් යෙසායා 1:18 යෙහෝවා දෙවි ඔයාට කියන මේ දේ අහන්න. “අපි සාකච්ඡා කර මෙම ප්‍රශ්නය නිරාකරණය කරගනිමු. නැවතත් මා සමඟ හොඳ සබඳතාවක් ඇති කරගන්නා ආකාරය මම ඔබට කියා දෙන්නෙමි. ඔබේ පාප රතට රතේ තිබුණත් මම ඒවා හිම මෙන් සුදු වෙන්න සලස්වන්නෙමි.” ඔයා කරපු වැරැද්ද සුදු ඇඳුමක වැදුණු රතු පැල්ලමක් වගේ කියලා හිතෙයි. ඒත් පැල්ලම තිබුණද කියලවත් හොයන්න බැරි තරමට ඒක මකලා දානවා වගේ ඔයාගේ වැරදිවලට සමාව දෙන්න දෙවිට පුළුවන්.

ඔයා හිතින් දුක් විඳිනවා දකින්න දෙවි කැමති නැහැ. දෙවිගෙන් සමාව ලබාගෙන හිතේ සමාදානය අද්දකින්න ඔයාට පුළුවන් කොහොමද? ඒ සමාදානය අද්දකින්න දාවිත් දේවල් 2ක් කළා. මුලින්ම ඔහු කරපු වැරදි දෙවි ඉදිරියේ පිළිගත්තා. (ගීතාවලිය 32:5) ‘නැවතත් මා සමඟ හොඳ සබඳතාවක් ඇති කරගන්න අපි සාකච්ඡා කර ප්‍රශ්නය නිරාකරණය කරගමු’ කියලා දෙවි දැනටමත් ඔයාට ආරාධනා කරලයි තියෙන්නේ. ඒ ආරාධනාව පිළිගන්න. කරපු වැරදි ගැන දෙවිට කියන්න. ඔයාට හැඟෙන දේත් කියන්න. එතකොට දාවිත්ට වගේ මේ දේ අද්දකින්න ඔයාටත් පුළුවන් වෙයි. ඔහු කිව්වේ මෙහෙමයි. ‘මා කළ පාපය පහ කර මාව පවිත්‍ර කරන්න. තැළුණාවූ බිඳුණාවූ හදවතක් ඔබ හෙළා නොදකින්නෙහිය.’—ගීතාවලිය 51:2, 17.

දෙවෙනි දේ දෙවිව නියෝජනය කරපු නාතන්ගෙන් උදව් ගත්ත එක. (2 සාමුවෙල් 12:13) අද දෙවිව නියෝජනය කරන්නේ වැඩිමහල්ලන්. දෙවි එක්ක තිබුණු බැඳීම ආයෙත් ඇති කරගන්න පසුතැවෙන අයට උදව් කරන්න දෙවි වැඩිමහල්ලන්ව පුහුණු කරලයි තියෙන්නේ. එයාලා බයිබලෙන් ඔයාට උදව් කරයි. ඔයා වෙනුවෙන් යාච්ඤා කරයි. ‘මගෙන් වැඩක් නැහැ. දෙවි මට සමාව දෙන්නේ නැහැ’ කියන සිතුවිලි ටිකෙන් ටික අයින් කරගෙන දෙවිට ආයෙත් ළං වෙලා සතුටින් සේවය කරන්න එයාලා උදව් කරයි.—යාකොබ් 5:14-16.

යෙහෝවා දෙවිට ඕනෙ ඔයා නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්නවටයි

“සමාව ලැබූ තැනැත්තා සන්තෝෂවත්ය”

කරපු වැරදි ගැන යෙහෝවා දෙවිට කියන එකත් වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන එකත් ලේසි නැහැ කියලා ඔයාට හිතෙයි. දාවිත්ටත් එහෙම හිතෙන්න ඇති. ඒ නිසයි ඔහු කරපු පාපය ගැන ටික දවසක් යන කල් “නිහඬව” හිටියේ. (ගීතාවලිය 32:3) ඒත් දිගටම එහෙම ඉන්නේ නැතුව, වරද හෙළි කරලා උදව් ගත්ත එක කොච්චර වටිනවද කියලා ඔහු පිළිගත්තා.

ඔහුට හිතේ සතුට ආයෙත් ලැබුණා. “වරදට සමාව ලැබූ තැනැත්තා සන්තෝෂවත්ය. ඔහු කළ පාපය දෙවි මකා දැමූ විට ඔහු සන්තෝෂවත්ය” කියලා දාවිත් කිව්වා. (ගීතාවලිය 32:1) “අනේ යෙහෝවා දෙවියනි, ඔබට ප්‍රශංසා කිරීමට මට හැකි වන පිණිස මාගේ මුඛය විවෘත කරන්න” කියලත් දාවිත් ඉල්ලුවා. (ගීතාවලිය 51:15) හිතේ බර සැහැල්ලු වුණු නිසාත් දෙවිගෙන් සමාව ලැබුණු එක ගැන ඇති වුණු සතුට නිසාත් දාවිත් ආසාවෙන් යෙහෝවා දෙවි ගැන අනිත් අයට කිව්වා.

ඔයාත් හිතින් දුක් විඳවිඳ ඉන්නේ නැතුව නිදොස් හෘදය සාක්ෂියක් ඇති කරගන්නවට දෙවි කැමතියි. එතකොට ඔයාටත් පුළුවන් සැහැල්ලු හිතකින්, සතුටෙන් දෙවි ගැනත් ඔහුගේ අරමුණ ගැනත් අනිත් අයට කියන්න. (ගීතාවලිය 65:1-4) දෙවි ඔයාට මෙහෙම කියන්නේ ඒ නිසයි. “පව්වලට සමාව ලබාගන්න. එසේ කරනවා නම් ඔබට යෙහෝවා දෙවිගෙන් මහත් සහනයක් ලැබෙයි.”—ක්‍රියා 3:19.

මාතා ඒ දේ අද්දැක්කා. “පුතා මට දිගටම ‘මුරටැඹ,’ ‘පිබිදෙව්’ සඟරා එව්වා. දෙවි එක්ක තිබුණු දැන හැඳුනුම්කම ආයෙත් ටිකෙන් ටික අලුත් කරගන්න මට පුළුවන් වුණා. මට අමාරුම වුණේ මං කරපු වැරදි කියලා ඒවාට සමාව ඉල්ලන එක. ඒත් දෙවිට යාච්ඤා කරලා මං සමාව ඉල්ලුවා. මගේ ආදරණීය දෙවිගෙන් මං අවුරුදු 40ක්ම ඈත් වෙලා හිටියා කියලා මට හිතාගන්නවත් බැහැ. එච්චර කාලයක් දෙවිගෙන් ඈත් වෙලා හිටපු කෙනෙක්ව වුණත් ආයෙත් තමන් ළඟට අරන් ඔහුගේ ආදරේ ලබන්න දෙවි අවස්ථාව දෙනවා කියන දේට මං හොඳ උදාහරණයක්.”