නික්මයාම 3:1-22

3  මෝසෙස් මිදියන්හි පූජකයා වූ යෙත්‍රෝගේ*+ බෑනා+ විය. ඔහු යෙත්‍රෝගේ සත්ව රැළ බලාගත්තේය. පාළුකරයේ බටහිර දෙසට සතුන්ව ගෙන යද්දී ඔහු සැබෑ දෙවිගේ කන්ද+ වූ හොරෙබ්+ අසලට ආවේය.  ඒ අවස්ථාවේදී කටු පඳුරෙන් නැඟුණු ගින්නක් තුළින් යෙහෝවා දෙවිගේ දූතයා ඔහුට පෙනිණ.+ පඳුර ඇවිළෙමින් තිබුණත් එය නොදැවුණු බව ඔහු දුටුවේය.  එවිට, “මේක නම් මහා පුදුමයක්!+ කටු පඳුර දැවී නොයන්නේ ඇයි කියලා ගිහින් බලන්න ඕනේ” යයි මෝසෙස් සිතුවේය.  මෝසෙස් කටු පඳුර බැලීමට එන බව දුටු යෙහෝවා දෙවි පඳුර තුළින්, “මෝසෙස්! මෝසෙස්!” කියා ඔහුට කතා කළේය. මෝසෙස්ද, “මා මෙතැනය”+ කියා පිළිතුරු දුන්නේය.  එවිට දෙවි මෙසේ පැවසීය. “මෙතැනට ළං නොවන්න. ඔබ සිටගෙන සිටින්නේ ශුද්ධ භූමියකය. ඒ නිසා ඔබේ පාවහන් ගලවන්න.”+  දෙවි ඔහුට මෙසේද කීවේය. “ඔබේ පියාගේ දෙවි මමය. ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවිත් මමය.”+ එවිට මෝසෙස් සැබෑ දෙවි දෙස බැලීමට භය වී තම මුහුණ වසාගත්තේය.  යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “ඊජිප්තුවේ සිටින මාගේ සෙනඟ විඳින දුක් ගැහැට මම දුටුවෙමි. ඔවුන්ගෙන් බලෙන් වැඩ ගන්න අය ඔවුන්ට කරන පීඩා නිසා ඔවුන් අඬමින් කරන කන්නලව් මට ඇසිණ. ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි.+  ඒ නිසා මම ඔවුන්ව ඊජිප්තුවරුන්ගේ අතින් ගලවාගන්නෙමි.+ ඔවුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනැවිත් කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයකට ගෙන යන්නෙමි.+ මම ඔවුන්ව කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ, පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ හා යෙබූසිවරුන්ගේ දේශයට රැගෙන යන්නෙමි.+ ඒ දේශයේ ඔවුන්ට ඇති තරම් ඉඩකඩ තිබේ.  ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ දුක් ගැනවිලි මට ඇසිණ. ඊජිප්තුවරුන් ඔවුන්ට කරන පීඩා මම දුටුවෙමි.+ 10  එහෙයින් මම ඔබව පාරාවෝ වෙතට යවන්නෙමි. ඔබ ගොස් මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන්න.”+ 11  එහෙත් මෝසෙස් සැබෑ දෙවිගෙන් මෙසේ ඇසුවේය. “මා වැනි කෙනෙකුට පාරාවෝ ළඟට යා හැකිද? ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට රැගෙන ඒමට මට පුළුවන්ද?”+ 12  එවිට දෙවි ඔහුට මෙසේ කීවේය. “මම ඔබ සමඟ සිටිමි.+ ඔබව යවන්නේ සැබෑ දෙවි වන මා බව ස්ථිර ලෙස ඔබ දැනගන්නා පිණිස මා ඔබට මේ පොරොන්දුව* දෙමි.+ ඔබ ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවෙන් පිටතට ගෙනා පසු ඔබ ඒ මුළු සෙනඟ සමඟ මේ කන්දේදී+ මට නමස්කාර කරනු ඇත.” 13  එහෙත් මෝසෙස් සැබෑ දෙවිගෙන් මෙසේ ඇසුවේය. “මම ඊශ්‍රායෙල් පුත්‍රයන් ළඟට ගොස්, ‘මාව ඔබ ළඟට එව්වේ ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි’ කියා ඔවුන්ට කියූ විට, ‘ඔහුගේ නම කුමක්ද’+ කියා ඔවුන් මගෙන් ඇසුවොත් මම ඔවුන්ට මොනවාද කියන්නේ?” 14  එවිට දෙවි මෝසෙස්ට මෙසේ පැවසුවේය. “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි.”+ දෙවි තවදුරටත් මෙසේ කීවේය. “ඔබ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘මාව ඔබ ළඟට එව්වේ තමා කැමති දේ ඉටු කළ හැකි තැනැත්තාණන්ය.’”+ 15  දෙවි නැවතත් මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා, එසේය ආබ්‍රහම්ගේ,+ ඊසාක්ගේ+ සහ යාකොබ්ගේ+ දෙවි ඔබ වෙතට මාව එව්වේය.’ සදහටම මගේ නාමය එයයි.+ පරම්පරාවෙන් පරම්පරාවට+ මා සිහි කරනු ලබන්නේ ඒ නාමයෙන්ය. 16  ඔබ ගොස් ඊශ්‍රායෙල් වැඩිමහල්ලන්ව කැඳවා ඔවුන්ට මෙසේ කියන්න. ‘ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි වන ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි+ වූ යෙහෝවා මට කතා කර මෙසේ කීවේය. “මට ඔබවත් ඊජිප්තුවේදී ඔබට සිදු වන අසාධාරණත් හොඳින් පෙනෙන්නේය.+ 17  ඒ නිසා ඔබට පීඩා කරන ඊජිප්තුවරුන්ගේ අතින් මම ඔබව ගලවාගන්නෙමි.+ කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ,+ පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ හා යෙබූසිවරුන්ගේ දේශයට+ මම ඔබව ගෙන යන්නෙමි. ඒ දේශය කිරියෙන් හා පැණියෙන් ඉතිරී යන දේශයකි.” ’+ 18  “ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලෝ අනිවාර්යයෙන්ම ඔබ කියන දේට සවන් දෙනු ඇත.+ ඉන්පසු ඔබ ඔවුන් සමඟ ඊජිප්තුවේ රජු ළඟට ගොස් මෙසේ කියන්න. ‘හෙබ්‍රෙව්වරුන්ගේ+ දෙවි වන යෙහෝවා අප සමඟ කතා කළා.+ ඒ නිසා අපේ දෙවි වන යෙහෝවාට පූජාවක් ඔප්පු කරන්න දවස් තුනකට පාළුකරයට යන්න අපට අවසර දෙන්න.’+ 19  නමුත් ඊජිප්තුවේ රජුට විරුද්ධව මගේ මහත් බලය* විදහාපෙන්නුවොත් මිසක, ඔහු ඔබට යන්න දෙන්නේ නැහැ කියා මම හොඳාකාරවම දනිමි.+ 20  එහෙයින් මම මගේ බලය* යොදාගෙන+ පුදුම දනවන සෑම ක්‍රියාවකින්ම ඊජිප්තුවට පහර දෙන්නෙමි. එවිට ඊජිප්තුවේ රජ ඔබට යන්න අවසර දෙනු ඇත.+ 21  මා කරන ඒ දෙයින් ඊශ්‍රායෙල් සෙනඟට ඊජිප්තුවරුන්ගෙන් කරුණාව ලැබෙන්නේය. ඒ නිසා ඔබ ඊජිප්තුවෙන් පිටත්ව යන විට හිස් අතින් යන්නේ නැත.+ 22  ඒ දවසේදී සෑම ස්ත්‍රියක්ම තම අසල්වාසියාගෙන්ද තමාගේ නිවසේ නැවතී සිටින විදේශීය ස්ත්‍රීන්ගෙන්ද රන් හා රිදී ආභරණ සහ වස්ත්‍ර ඉල්ලාගත යුතුයි. ඒවා ඔබේ පුත්‍රයන්ට හා දූවරුන්ට පළඳවන්න. ඊජිප්තුවරුන්ට කිසි දෙයක් ඉතුරු නොකරන්න.”+

පාදසටහන්

රුවෙල් යන නමින්ද හඳුන්වන්නේ මොහුවය. නික් 2:18 බලන්න.
මූ.අ., “ලකුණ.”
මූ.අ., “මගේ බලවත් හස්තය.”
නික් 3:19හි පාදසටහන බලන්න.