හිතෝපදේශ 15:1-33

15  මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි.+ නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි.+  ප්‍රඥාවන්තයන්ගේ දිව දැනුම පතුරවන්නේ ප්‍රයෝජනදායක ලෙසය.+ එහෙත් අඥානයන්ගේ මුවින් පිට වන්නේ මෝඩ කතාමය.+  යෙහෝවා දෙවි සෑම දෙයක්ම දකින්නේය.+ ඔහු යහපත් අය දෙසද අයහපත් අය දෙසද නෙත් යොමා සිටින්නේය.+  සන්සුන්ව දිව හසුරුවන තැනැත්තා දිවි රැක දෙයි.*+ එහෙත් හානිකර ලෙස දිව හසුරුවන තැනැත්තා සිත් බිඳ දමයි.+  අඥාන තැනැත්තා තම පියාගේ හික්මවීම් සුළු කොට තකන්නේය.+ එහෙත් අවවාදය පිළිගන්නා සිහිබුද්ධිය ඇති තැනැත්තෙකි.+  ධර්මිෂ්ඨයාගේ ගබඩාවේ කිසි හිඟයක් නැත.+ එහෙත් දුෂ්ටයා නෙළන පලදාවෙන් අත් වන්නේ විනාශයයි.+  ප්‍රඥාවන්තයාගේ දිව දැනුම දසත පතුරුවයි.+ එහෙත් අඥානයාගේ සිත දැනුමට ප්‍රිය නොකරන්නේය.+  දුෂ්ටයන් ඔප්පු කරන පූජා යෙහෝවා දෙවිට පිළිකුලකි.+ නමුත් ප්‍රතිපත්තිගරුක අයගේ යාච්ඤා ඔහුට ප්‍රසන්නය.+  දුෂ්ටයන්ගේ මාර්ග යෙහෝවා දෙවිට පිළිකුලකි.+ නමුත් ධර්මිෂ්ඨ මාර්ගය අත් නොහරින තැනැත්තාට ඔහු ප්‍රේම කරයි.+ 10  නිවැරදි මාර්ගය අත්හැර යන්නා හික්මවීම හෙළාදකියි.+ අවවාදයට ද්වේෂ කරන්නා මිය යන්නේය.+ 11  යෙහෝවා දෙවි මිනී වළ දකින්නේය. සියල්ල දිරාපත් වන ස්ථානය+ ඔහුගෙන් සැඟවී නැත.+ එසේනම්, මනුෂ්‍යයන්ගේ සිතෙහි තිබෙන දේ ඔහු දකින්නේ නැද්ද?+ 12  සමච්චල් කරන්නා තමාට අවවාද කරන තැනැත්තාට ප්‍රේම නොකරයි.+ ඔහු ප්‍රඥාවන්තයන් ළඟට යන්න අකමැතිය.+ 13  ප්‍රීතිමත් සිතක් මුහුණ පැහැපත් කරයි.+ නමුත් සිතේ වේදනාව නිසා මලානික පෙනුමක් ඇති වෙයි.+ 14  කාරණා හොඳින් වටහාගන්න තැනැත්තා දැනුම සොයා යයි.+ නමුත් අඥානයන්ගේ මුඛය මෝඩකමට ආශා කරයි.+ 15  නිතරම සිත්තැවුලෙන් සිටින්නාට සෑම දවසක්ම නරකය.+ එහෙත් සතුටු සිතින් සිටින්නාට සෑම දවසක්ම උත්සව දවසක් මෙනි.+ 16  බොහෝ වස්තු රැස් කරගෙන නොසන්සුන් මනසක් ඇතුව සිටිනවාට වඩා+ ස්වල්පයකින් සෑහීමට පත් වී යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීම හොඳය.+ 17  වෛරයෙන් යුතුව ගව මස්* කනවාට වඩා+ ප්‍රේමය ඇතුව එළවළු ටිකක් කෑම හොඳය.+ 18  කෝපාවිෂ්ට මිනිසෙක් රණ්ඩු දබර ඇති කරයි.+ නමුත් ඉක්මනින් කේන්ති නොගන්නා සණ්ඩුසරුවල් නතර කරයි.+ 19  අලසයාගේ මාර්ගය කටු පඳුරු ඇති මඟක් මෙනි.+ නමුත් ප්‍රතිපත්තිගරුක අයගේ මාර්ගය කම්කටොලු නැති සමතලා මාවතකි.+ 20  ප්‍රඥාවන්ත පුතෙක් තම පියාගේ සිත සතුටු කරයි.+ නමුත් අඥාන තැනැත්තා තම මවව හෙළාදකියි.+ 21  අඥානයා* තමාගේ මෝඩ හැසිරීමෙන් ප්‍රීතියක් ලබයි.+ එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා හරි මඟෙන් ඉවත්ව නොයයි.+ 22  සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි.+ නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.+ 23  මිනිසෙක් තම මුවින් පිට කරන අදහස් නිසා ප්‍රීතියට පත් වෙයි.+ සුදුසු අවස්ථාවේදී පවසන හොඳ වචන කොතරම් වටින්නේද!+ 24  වටහාගැනීමේ ශක්තිය ඇති තැනැත්තා මිනී වළට යන මඟ අත්හැර+ ජීවනයට යන මාර්ගයෙහි ගමන් කරන්නේය.+ 25  යෙහෝවා දෙවි තමන්වම උසස් කරගන්න අයගේ නිවස කඩා දමයි.+ නමුත් ඔහු වැන්දඹුවගේ ඉඩමේ මායිම ආරක්ෂා සහිතව තබයි.+ 26  දුෂ්ටයන්ගේ කූට උපායන් යෙහෝවා දෙවිට පිළිකුලකි.+ එහෙත් ප්‍රසන්න වචන පවිත්‍රය.+ 27  අයුතු ලෙස ලාභ උපයන තැනැත්තා තමාගේම ගෙයි වැසියන්ව විනාශයට පමුණුවයි.+ නමුත් අල්ලසට පිළිකුල් කරන තැනැත්තා තම ජීවිතය රැකගනියි.+ 28  ධර්මිෂ්ඨයා පිළිතුරක් දීමට පෙර හොඳින් සිතා බලයි.+ එහෙත් දුෂ්ටයාගේ මුඛය නපුරේ උල්පතකි.+ 29  යෙහෝවා දෙවි දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටියි.+ නමුත් ඔහු ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවලට සවන් දෙයි.+ 30  යහපත් පුවතක්+ ශරීරයට සුවයක් ගෙන දෙයි.*+ ඇස්+ දීප්තිමත් වූ විට සිත ප්‍රීතියෙන් පිනා යයි.+ 31  ජීවනය ගෙන දෙන අවවාදවලට කැමැත්තක් දක්වන අය+ ප්‍රඥාවන්තයන්ගේ ඇසුර සොයා යති.+ 32  හික්මවීම ප්‍රතික්ෂේප කරන තැනැත්තා+ තමාගේම ජීවිතය සුළු කොට තකන්නේය. එහෙත් අවවාදය පිළිගන්න තැනැත්තාගේ සිත ප්‍රඥාවන්ත වන්නේය.+ 33  යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තා ප්‍රඥාවන්තව හැසිරීමට තමාවම හික්මවාගනී.+ යටහත්පහත්ව කටයුතු කළොත් මිසක ගෞරවයක් හිමි නොවන්නේය.+

පාදසටහන්

මූ.අ., “ජීවන වෘක්ෂයකි.”
මුල් භාෂාවේ, ‘තර කළ ගවයෙකුගේ මස්’ යන අදහසද ඇතුළත් වේ.
හිතෝ 6:32හි පාදසටහන බලන්න.
මූ.අ., “ඇටකටු පුෂ්ටිමත් කරයි.”