ෆිලිප්පි 1:1-30

1  ක්‍රිස්තුස් යේසුස්ගේ දාසයන්+ වන පාවුල් සහ තිමෝති මෙම ලිපිය ලියන්නේ ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින සභාව රැකබලා ගන්නන් සහ සහායක සේවකයන්+ ඇතුළු ෆිලිප්පියේ+ සිටින සියලු ශුද්ධ තැනැත්තන් වෙතටය.  අපගේ පියාණන් වන දෙවිගෙන් සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා!+  මට ඔබව සිහි වන සෑම මොහොතකම මම මගේ දෙවිට ස්තුති කරමි.+  ඔබ සියලුදෙනා උදෙසා මා දෙවිට කන්නලව් කරන සෑම අවස්ථාවකදීම+ මම එසේ කරමි. මා ප්‍රීතියෙන් මගේ කන්නලව් ඔප්පු කරන අතර,  ඔබ ශුභාරංචිය පිළිගත් මුල් දවසේ පටන් මේ මොහොත වන තුරු ඒ වෙනුවෙන් ඔබ කළ දේවල් ගැන+ දෙවිට ස්තුතිවන්ත වෙමි.  ඔබ අතරේ යහපත් කාර්යයක් ආරම්භ කළ දෙවි, යේසුස් ක්‍රිස්තුස්ගේ දවස+ පැමිණෙන විට ඒ කාර්යය සම්පූර්ණයෙන්ම අවසන් කරයි+ කියා මට විශ්වාසයි.  ඔබ සියලුදෙනා තුළින් ඒ දේ ඉටු වෙයි කියා සිතීම සුදුසුය. මන්ද ඔබ මට හිතවත්ය.+ ඔබ සියලුදෙනා මා සමඟ+ දෙවිගේ මහත් කරුණාව භුක්ති විඳිමින් සිටින්නහුය. මගේ අත් පාවලට විලංගු දමා තිබෙන අවස්ථාවලදී+ පමණක් නොව ශුභාරංචිය වෙනුවෙන් කතා කර+ එය ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යනුකූලව+ තහවුරු කිරීමට සිදු වූ අවස්ථාවලදීද ඔබේ සහාය මට ලැබිණ.  ඔබ සියලුදෙනාව දැක බලා ගැනීමට මා තුළ කොතරම් ආශාවක් තිබෙනවාද කියා දෙවි මා වෙනුවෙන් සාක්ෂි දරයි. ඔබ සඳහා මට තිබෙන සෙනෙහස+ ක්‍රිස්තුස් යේසුස්ට අප සඳහා තිබෙන සෙනෙහසට සමානය.  දෙවිගේ කැමැත්ත පිළිබඳ නිවැරදි දැනුමක්+ හා පූර්ණ අවබෝධයක්+ ඇතුව ඔබේ ප්‍රේමය තව තවත් වැඩි වෙන්න+ කියා මම ඔබ වෙනුවෙන් නිරතුරුව යාච්ඤා කරමි. 10  එලෙසම වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගැනීමට+ ඔබට හැකියාව ලබා දෙන්න කියාත් යාච්ඤා කරමි. එවිට ක්‍රිස්තුස්ගේ දවස දක්වා නිදොස්ව සිටීමටත්+ අනුන්ගේ විශ්වාසයට හානි නොකර+ කටයුතු කිරීමටත් ඔබට හැකි වන අතර, 11  යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබේ ජීවිත ධර්මිෂ්ඨ ක්‍රියාවලින් පූර්ණ කරගැනීමටත්+ ඔබට හැකි වේ. එමගින් දෙවිට ප්‍රශංසාවත් ගෞරවයත් ලැබේ.+ 12  සහෝදරයෙනි, මට අද්දැකීමට සිදු වූ දේවල් ශුභාරංචියේ දියුණුවට දායක වූවා මිස+ එයින් කිසි අවාසියක් සිදු වී නැති බව ඔබ දැනගන්නවාට කැමැත්තෙමි. 13  මට විලංගු දමා තිබෙන්නේ+ මා ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු වන නිසා බව මුළු ප්‍රීටෝරියානු ආරක්ෂක බළඇණියේ අය අතරත් අන් සියලුදෙනා අතරත්+ ප්‍රසිද්ධ වී ඇත.+ 14  මා සිරභාරයේ සිටියත් ස්වාමීන්ට සේවය කරන සහෝදරයන්ගෙන් වැඩිදෙනෙකුට එය මහත් දිරිගැන්වීමක් වී තිබේ. ඒ නිසා දෙවිගේ පණිවිඩය ගැන නිර්භීතව කතා කිරීමට ඔවුහු තව තවත් පෙලඹෙති.+ 15  සමහරුන් ඊර්ෂ්‍යාවෙන් හා තරඟකාරී ස්වභාවයකින්+ ක්‍රිස්තුස් ගැන දේශනා කරන බව ඇත්තයි. නමුත් තවත් සමහරුන් සේවය කරන්නේ පිරිසිදු චේතනාවකිනි.+ 16  එවැනි අය ක්‍රිස්තුස් ගැන කතා කරන්නේ ඔවුන් තුළ තිබෙන ප්‍රේමය නිසාය. මන්ද මා මෙහි සිටින්නේ ශුභාරංචිය වෙනුවෙන් කතා කිරීමට+ බව ඔවුහු දනිති. 17  නමුත් ඊර්ෂ්‍යාවෙන් හා තරඟකාරී ස්වභාවයකින්+ දේශනා කරන අයට පිරිසිදු චේතනාවක් නැත. ඔවුන් දබරකාරීය. ඔවුන් අදහස් කරමින් සිටින්නේ සිරභාරයේ සිටින මට පීඩා හා ප්‍රශ්න ඇති කිරීමටය.+ 18  එසේනම් ඒ ගැන කරන්නේ කුමක්ද? කිසිවක් කිරීම අවශ්‍ය නැත. මන්ද සමහරුන් වංක චේතනාවකින් කටයුතු කළත්+ තවත් සමහරුන් අවංක චේතනාවකින් කටයුතු කළත් ඒ දෙයාකාරයෙන්ම ක්‍රිස්තුස් ගැන ප්‍රසිද්ධ වන නිසා+ මම ඒ ගැන සතුටු වෙමි. ඇත්තෙන්ම ඒ ගැන සෑම දිනකම සතුටු වන්නෙමි. 19  ඔබ කරන කන්නලව් තුළින්+ හා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මට දෙවිගෙන් ලැබෙන බලය+ මගින් මට නිදහස ලැබෙන බව දනිමි. 20  එහෙයින් මගේ මහත් ආශාව+ මෙන්ම බලාපොරොත්තුව+ වන්නේ කිසි ලෙසකින්වත් ලැජ්ජා නොවී,+ කිසි බියක් සැකක් නැතුව කතා කරමින්+ පෙර සේම දැනුත් මගේ ජීවිතය තුළින්+ ක්‍රිස්තුස්ව ප්‍රශංසාවට ලක් කිරීමය. මා ජීවත් වුණත් මැරුණත් දිගටම එසේ කරමි.+ 21  මා ජීවත් වන්නේ ක්‍රිස්තුස් වෙනුවෙන් කැප වී සේවය කිරීමටය.+ මා මැරුණත්+ එයින් අවාසියක් සිදු නොවේ. 22  දැන් මා දිගටම මිහිපිට මිනිසෙකු ලෙස ජීවත් වුවහොත් මා කරන සේවයෙන් මට තවත් ප්‍රතිඵල නෙළාගත හැකියි.+ නමුත් මා කරන තේරීම කුමක්ද කියා ප්‍රසිද්ධ නොකරමි. 23  මට ඇති මේ තේරීම් දෙක නිසා මට යම් පීඩනයක් දැනුණත්+ මගේ එකම ආශාව වන්නේ මේ ජීවිතයෙන් නිදහස් වී ක්‍රිස්තුස් සමඟ සිටීමය.+ ඇත්තෙන්ම වඩාත් හොඳම දෙය වන්නේ එයයි.+ 24  නමුත් ඔබ නිසා තවදුරටත් මිනිසෙකු ලෙස මිහිපිට ජීවත් වීමට මට අවශ්‍ය වී ඇත.+ 25  මට ඒ දේ හොඳින් අවබෝධ වී ඇති නිසා තවදුරටත් මිහිපිට සිටිය යුතුයි කියා කිසි සැකයකින් තොරව පැවසිය හැක. එමෙන්ම ඔබ දියුණුවක් ලබනවා දැකීමටත්+ ඔබ තුළ ඇති විශ්වාසයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන ප්‍රීතිය දැකීමටත් මට අවශ්‍ය නිසා මම ඔබ සියලුදෙනා සමඟ තවදුරටත් සිටින්නෙමි.+ 26  මා නැවතත් පැමිණ ඔබ ළඟ සිටින නිසා* ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස ඔබ අද්දකින ප්‍රීතිය තව තවත් වැඩි වනු ඇත. 27  නිතරම ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියට ඔබින ආකාරයකින් හැසිරෙන්න.+ ඔබ එසේ කළොත් මා ඔබව බැලීමට පැමිණියත් නැතත් ඔබ සියලුදෙනාම එකඟතාවකින් සිතන බවත් ශුභාරංචිය මත පදනම් වූ ඔබේ විශ්වාසය රැකගැනීමට එකා මෙන්+ මහත් වෑයමක් දරන බවත් මට දැනගත හැකි වෙයි. 28  එලෙසම ඔබට විරුද්ධව සිටින අයට ඔබ කිසි ලෙසකින්වත් බිය නොවී සිටින බවත්+ මට දැනගත හැකි වෙයි. ඒ සියල්ලෙන් ඔප්පු වන්නේ ඔවුන් විනාශයට ලක් වන බවත් ඔබට ගැලවීම අත් වන බවත්ය.+ ඊට සාක්ෂි සපයන්නේ දෙවිය. 29  ඔබට ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමේ වරප්‍රසාදය පමණක් නොව+ ඔහු වෙනුවෙන් දුක් විඳීමේ වරප්‍රසාදයද+ ලබා දී තිබේ. 30  මන්ද මට විඳින්න සිදු වූ අසීරුතා ඔබ දුටු අතර+ ඔබට ආරංචි වන ආකාරයට තවමත් ඒ අසීරුතාවලට මම මුහුණ දෙමින් සිටිමි.+ එයාකාර අසීරුතාවලට මුහුණ දෙන්න ඔබටත් සිදු වී ඇත.

පාදසටහන්

පැමිණ සිටීම. ග්‍රීක බසින්, පරූසියා. උපග්‍ර. 7 බලන්න.