1 රාජාවලිය 21:1-29

21  යෙෂ්‍රෙයෙල් නගරයේ+ වැසියෙකු වූ නාබොත් නම් මිනිසෙක් සිටියේය. ඔහුට සමාරියේ රජු වූ ආහබ්ගේ මාලිගාවට කිට්ටුවෙන්ම මිදිවත්තක් තිබිණ.  දවසක් ආහබ් රජ නාබොත්ට මෙසේ කීවේය. “ඔබේ මිදිවත්ත+ මගේ මාලිගාවට කිට්ටුවෙන් තිබෙන නිසා මට එය දෙන්න.+ ඒ වත්තේ+ එළවළු+ වගා කරන්නයි මම හිතාගෙන ඉන්නේ. මම ඊට වඩා හොඳ මිදිවත්තක් ඔබට දෙන්නම්. නැත්නම් එහි වටිනාකම මම මුදලින් ගෙවන්නම්.”  නමුත් නාබොත් ආහබ් රජුට මෙසේ කීවේය. “රජතුමනි, මම ඒ වගේ දෙයක් කළොත් යෙහෝවා දෙවි එය කොහොමටවත් අනුමත කරන්නේ නැහැ.+ ඒ නිසා මගේ මුතුන්මිත්තන්ගෙන් මට ලැබුණු උරුමය ඔබට දෙනවා තියා+ එවැනි දෙයක් කරන එක ගැන හිතන්නවත් බැහැ.”+  “මගේ මුතුන්මිත්තන්ගෙන් මට ලැබුණු උරුමය ඔබට දෙන්න බැහැ” කියා නාබොත් කී නිසා ආහබ් රජ අමනාප විය. ඔහු බොහෝ සෙයින් කලකිරී තම නිවසට පැමිණ, නොකා නොබී තම ඇඳට වී කල්පනා කරමින් සිටියේය. ඔහු කිසිවෙකු සමඟ කතා කළේද නැත.+  පසුව ඔහුගේ බිරිඳ වූ යෙසබෙල්+ ඔහු ළඟට පැමිණ, “ඔබ කෑම නොකා දුකින් ඉන්නේ ඇයි”+ කියා ඔහුගෙන් ඇසුවාය.  ඔහු ඇයට මෙසේ කීවේය. “මම නාබොත්ට කිව්වා. ‘ඔබේ මිදිවත්ත මට විකුණන්න. ඔබට මුදල් එපා නම් ඒ වෙනුවට මම ඊට වඩා හොඳ මිදිවත්තක් ඔබට දෙන්නම්’ කියලා. නමුත් ඔහු, ‘මගේ මිදිවත්ත ඔබට දෙන්න බැහැ’+ කියලා මට පැවසුවා.”  එවිට ඔහුගේ බිරිඳ වූ යෙසබෙල්, “ඊශ්‍රායෙල් දේශයේ රජ්ජුරුවන් ඔබ නෙවෙයිද?+ දැන් ගිහින් කෑම ටිකක් කාලා සතුටින් ඉන්න. නාබොත්ගේ මිදිවත්ත ගැන මම බලාගන්නම්”+ කියා ඔහුට කීවාය.  පසුව ඇය ආහබ් රජුගේ නමින් ලිපි ලියා+ ඔහුගේ මුද්‍රාවෙන් ඒ ලිපි මුද්‍රා කළාය.+ නාබොත් වාසය කළ නගරයේ සිටි වැඩිමහල්ලන්ටද+ වංශවත් අයටද ඇය ඒ ලිපි යැව්වාය.  ඇය ඒ ලිපිවල මෙසේ ලියා තිබිණ.+ “ජනයාව රැස් කර ඔවුන්ට නිරාහාරව සිටින ලෙස පවසන්න. එහිදී නාබොත්ව ප්‍රධාන අසුනේ වාඩි කරවන්න. 10  කිසි වැදගැම්මකට නැති+ මිනිසුන් දෙදෙනෙකුව+ සොයා, නාබොත් ඉදිරියේ හිඳගෙන, ‘ඔබ දෙවිටත් රජුටත් ශාප කළා+ කියා අපි දන්නවා’ කියමින් ඔහුට විරුද්ධව සාක්ෂි දෙන්න කියා ඔවුන් දෙදෙනාට පවසන්න.+ ඉන්පසු ඒ චෝදනාව මත ඔහුව පිටතට ගෙන ගොස් ඔහුට ගල් ගසා මරන්න.”+ 11  නාබොත් වාසය කළ නගරයේ සිටි වැඩිමහල්ලෝ සහ වංශවත් අය යෙසබෙල් යැවූ ලිපිවල තිබූ උපදෙස් අකුරටම ක්‍රියාත්මක කළෝය.+ 12  ඔවුහු නිරාහාරව+ සිටීමට ජනයාව රැස් කර නාබොත්ට ප්‍රධාන අසුනේ හිඳගන්න කියා කීවෝය. 13  ඉන්පසු කිසි වැදගැම්මකට නැති මිනිස්සු දෙදෙනෙක් පැමිණ ඔහුට ඉදිරියෙන් හිඳගත්තෝය. ඒ දෙදෙනා සියල්ලන් ඉදිරියේ නාබොත්ට විරුද්ධව චෝදනා කරමින්, “නාබොත් දෙවිටත් රජුටත් ශාප කළා”+ යයි කීවෝය. පසුව ඔවුහු ඔහුව නගරයෙන් පිටතට ගෙන ගොස් ඔහුට ගල් ගසා මැරුවෝය.+ 14  ඔහුව මරා දැමූ පසු ඔවුහු යෙසබෙල්ට පණිවිඩයක් යවා, “අපි ගල් ගසා නාබොත්ව මරා දැම්මා”+ කියා දැන්වූවෝය. 15  නාබොත්ට ගල් ගසා මැරූ බව යෙසබෙල්ට ආරංචි වූ වහාම ඇය ආහබ් රජුට මෙසේ කීවාය. “යෙෂ්‍රෙයෙල් නගරයේ ජීවත් වුණු නාබොත් මැරිලා. ඉතින් ඔහු ඔබට විකුණන්න අකමැති වූ මිදිවත්ත දැන් ඔබට අයිති කරගන්න පුළුවන්.”+ 16  නාබොත් මිය ගිය බව ආහබ් රජ යෙසබෙල් මාර්ගයෙන් දැනගත් විගස ඔහු නාබොත්ගේ මිදිවත්ත අයිති කරගැනීමට එතැනට ගියේය.+ 17  ඒ අතරතුර තිෂ්බේ නම් ගමෙහි ජීවත් වූ එලියාට+ යෙහෝවා දෙවි කතා කර+ මෙසේ කීවේය. 18  “සමාරියේ+ පදිංචිව සිටින ඊශ්‍රායෙල්හි රජු වන ආහබ්ව හමු වීමට දැන්මම යන්න. ඔහු දැන් ඉන්නේ නාබොත්ගේ මිදිවත්තේ. ඔහු එතැනට ගියේ එම වත්ත අයිති කරගන්නයි. 19  ඔබ ඔහුට මේ පණිවිඩය කියන්න. ‘යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසනවා. “ඔබ මිදිවත්තක් අයිති කරගන්න+ මිනී මැරුමක් කළාද?” ’+ ඉන්පසු ඔහුට මේ තීන්දුව දැනුම් දෙන්න. ‘යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. “බල්ලෝ නාබොත්ගේ ලේ ලෙව කෑ තැනම+ ඔබේ ලේත් ලෙව කන්නෝය.”’”+ 20  ආහබ් රජුට එලියාව හමු වූ විට ආහබ් රජ, “එලියා, ඔබ ආයෙත් ආවද මාව හමු වෙන්න”+ කියා ඔහුට කීවේය. එවිට එලියා, “මා ඔබව හමු වීමට ආවේ මේ දේ කියන්නයි. ‘ඔබ හිතාමතාම යෙහෝවා දෙවි වන මා පිළිකුල් කරන දේ කරන නිසා+ 21  මම දැන් ඔබේ ගෙයි වැසියන් පිටට විපතක් ගෙනෙන්නෙමි.+ ඔබේ පවුලේ සිටින ලොකු කුඩා සියලුම පුරුෂයන්ව මම විනාශ කර දමන්නෙමි.+ කිසි කමකට නැති ඒ එක පුරුෂයෙකුවත්+ මම ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු නොකරන්නෙමි. 22  ඔබ මාව උදහස් කරන අයුරින් පව් කර, ඊශ්‍රායෙල්වරුන්වත් පාපයට පෙලඹූ බැවින්+ නෙබාත්ගේ පුත් යෙරොබොවම්ගේ පවුලටත්+ අහියාගේ පුත් බාෂාගේ පවුලටත්+ සිදු වූ දේම මම ඔබේ පවුලටත් සිදු කරන්නෙමි.’ 23  යෙසබෙල් ගැන යෙහෝවා දෙවිගේ තීන්දුව මෙයයි. ‘යෙසබෙල්ගේ මළ සිරුර, යෙෂ්‍රෙයෙල්හි තිබෙන ඉඩමේදී බල්ලෝ කා දමනු ඇත.+ 24  ආහබ්ගේ පවුලේ යමෙකු නුවර තුළ මැරුණොත් බල්ලෝ ඔහුගේ මළ සිරුර කා දමති. යමෙකු නුවරෙන් පිට මැරුණොත් පක්ෂීහු ඔහුගේ මළ සිරුර කා දමති.+ 25  හිතාමතාම යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කළ ආහබ් මෙන් දුෂ්ට කෙනෙක් අද වන තුරු සිටියේ නැත.+ ඒ වැරදි කිරීමට ඔහුව නිතරම පෙලඹුවේ+ ඔහුගේ බිරිඳ වන යෙසබෙල්ය.+ 26  යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ+ අමෝරිවරුන් මෙන් ඔහුත් පිළිකුල් රූපවලට*+ නමස්කාර කරමින් ඉතා පිළිකුල්සහගත ලෙස ක්‍රියා කළේය.’” 27  ආහබ් රජට මේ වචන ඇසුණු වහාම ඔහු තම වස්ත්‍ර ඉරාගෙන ගෝණි රෙදි ඇඳගෙන, නිරාහාරව සිටියේය. ඔහු විටෙක ගෝණි රෙදි+ මත වැතිර සිටියේය. තවත් විටෙක බොහෝ සේ කලකිරී ඒ මේ අත ඇවිද්දේය.+ 28  එබැවින් තිෂ්බේ ගමෙහි ජීවත් වූ එලියාට යෙහෝවා දෙවි නැවත කතා කර මෙසේ කීවේය. 29  “මා කී දේ නිසා නිහතමානීව තම වරද පිළිගෙන ඒ ගැන දුක් වෙමින් සිටින ආහබ්ව ඔබ දුටුවෙහිද?+ ඔහු මා කී දේ අසා යටහත්පහත් වූ නිසා මම ඔහුගේ පවුල පිට ගෙනෙන විපත ඔහුගේ ජීවිත කාලයේදී සිදු නොකරන්නෙමි.+ ඔහුගේ පුත්‍රයාගේ කාලයේදී එය සිදු වීමට සලස්වන්නෙමි.”+

පාදසටහන්

1රාජා 15:12හි පාදසටහන බලන්න.