2 රාජාවලිය 1:1-18

1  ආහබ් රජුගේ මරණයෙන් පසු+ මෝවබ්+ දේශයේ වැසියෝ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කැරලිගැසීමට පටන්ගත්තෝය.+  දිනක් අහසියා රජ සමාරියේ පිහිටි තම මාලිගාවේ උඩුමහල් කාමරයේ+ කවුළුවෙන් වැටී+ රෝගාතුර විය. තමාට කුමක් සිදු වේදැයි දැනගන්නා පිණිස ඔහු සේවකයන් කිහිපදෙනෙකුව කැඳවා ඔවුන්ට මෙසේ කීවේය. “එක්‍රොන් නගරයේ+ දෙවියන් වන බාල්-සේබුබ්+ ළඟට ගිහින් මා මේ රෝගයෙන් සුව වෙනවාද නැද්ද කියා+ විමසන්න.”+  එවිට යෙහෝවා දෙවිගේ දේවදූතයෙක්+ තිෂ්බේ නම් ගමෙහි විසූ+ එලියාට මෙසේ කීවේය. “ඔබ දැන් ගිහින් සමාරියේ රජුගේ සේවකයන්ව හමු වී ඔවුන්ගෙන් මෙසේ අසන්න. ‘ඔබේ රජු එක්‍රොන් නගරයේ බාල්-සේබුබ් දෙවියන්ගෙන් තොරතුරු විමසන්න සූදානම් වෙන්නේ ඊශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද?’+  ඔබේ රජු කළ මේ දේ නිසා, ‘ඔබට කවදාවත් ඇඳෙන් බහින්න ලැබෙන්නේ නැත. තව වැඩි කාලයක් ඔබ ජීවත් වෙන්නෙත් නැත’+ කියා යෙහෝවා දෙවි ඔබේ රජුට පවසනවා.” එලියා ඔවුන්ව හමු වී ඒ පණිවිඩය කීවේය.  සේවකයන් අහසියා රජු වෙතට නැවත පැමිණි විට, “ඔබ මෙතරම් ඉක්මනින් ආවේ කොහොමද” කියා ඔහු ඔවුන්ගෙන් ඇසුවේය.  ඔවුහු ඔහුට මෙසේ කීවෝය. “මනුෂ්‍යයෙක් අපව හමු වෙන්න ඇවිත් මෙහෙම කිව්වා. ‘ඔබව එවූ රජු ළඟට ගොස් මෙහෙම කියන්න. “ඔබ එක්‍රොන් නගරයේ බාල්-සේබුබ් දෙවියන්ගෙන් තොරතුරු විමසන්න සූදානම් වෙන්නේ ඊශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද? ඔබ මේ දේ කළ නිසා ඔබට කවදාවත් ඇඳෙන් බහින්න ලැබෙන්නේ නැත. තව වැඩි කාලයක් ඔබ ජීවත් වෙන්නෙත් නැත”+ කියා යෙහෝවා දෙවි රජුට කියනවා.’”+  එවිට අහසියා රජ ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය. “ඔබව හමු වී මේ දේවල් කියූ මිනිසාගේ හැඩරුව කොයි වගේද?”  එවිට ඔවුහු, “ඔහු ලෝම වස්ත්‍රයක් ඇඳ,+ ඉණ වටේ හම් පටියක් බැඳගෙනයි සිටියේ”+ කියා රජුට කීවෝය. රජ එය ඇසූ විගස, “ඒ තිෂ්බේ ගමේ ඉන්න එලියා” යයි කීවේය.  එවිට අහසියා රජ පනස්දෙනෙකුගෙන් යුත් භට පිරිසක්ද ඔවුන්ගේ නායකයාවද එලියාව හමු වීමට පිටත් කර යැව්වේය.+ කණ්ඩායමේ නායකයා කන්දක් මුදුනේ වාඩි වී සිටි එලියා වෙත ගොස් මෙසේ කීවේය. “සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වන ඔබට+ රජතුමා, ‘කන්දෙන් බැස එන්න’ කියා කියනවා.” 10  නමුත් එලියා කණ්ඩායමේ නායකයාට මෙසේ කීවේය. “මම ඇත්තටම දෙවිගේ අනාගතවක්තෘවරයෙක් නම් අහසෙන් ගින්නක්+ ඇවිත් ඔබවයි ඔබේ කණ්ඩායමේ සිටින පනස්දෙනාවයි දවා දැමිය යුතුයි.” ඔහු එසේ පැවසූ විට අහසෙන් ගින්නක් ඇවිත් ඔහුවත් ඔහුගේ කණ්ඩායමේ සිටි පනස්දෙනාවත් දවා දැමුවේය.+ 11  එවිට අහසියා රජ පනස්දෙනෙකුගෙන් යුත් තවත් භට පිරිසක්ද ඔවුන්ගේ නායකයාවද ඔහු වෙත යැව්වේය.+ එම නායකයාද එලියාට මෙසේ කීවේය. “සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වන ඔබට, ‘ඉක්මනින් කන්දෙන් බැස එන්න’+ කියා රජතුමා කියනවා.” 12  නමුත් එලියා ඔවුන්ට මෙසේ කීවේය. “මම සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයෙක් නම් අහසෙන් ගින්නක් ඇවිත් ඔබවයි ඔබේ කණ්ඩායමේ සිටින පනස්දෙනාවයි දවා දැමිය යුතුයි.” ඔහු එසේ පැවසූ විට දෙවි වෙතින් ගින්නක් නික්ම ඇවිත් ඔහුවත් ඔහුගේ කණ්ඩායමේ සිටි පනස්දෙනාවත් දවා දැමුවේය. 13  එවිට අහසියා රජ තුන්වන වතාවටත් පනස්දෙනෙකුගෙන් යුත් භට පිරිසක්ද ඔවුන්ගේ නායකයාවද පිටත් කර යැව්වේය.+ එහෙත් එම කණ්ඩායමේ නායකයා එලියා වෙත ගොස් ඔහු ඉදිරියේ දණින් වැටී+ ඉතා බැගෑපත්ව+ මෙසේ කීවේය. “සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වන ඔබගෙන් ඉල්ලා සිටින්නේ මගේ ජීවිතයත්+ ඔබේ සේවකයන් වන මේ පනස්දෙනාගේ ජීවිතත් විනාශ කරන්න එපා+ කියායි. 14  ඔබව හමු වීමට කලින් ආ නායකයන් දෙදෙනාත් ඔවුන්ගේ භට පිරිසත් ගින්නෙන් විනාශ වී ගියා.+ අනේ, මට අනුකම්පා කරන්න. මට අනතුරක් කරන්න එපා.” 15  එවිට යෙහෝවා දෙවිගේ දූතයා එලියාට මෙසේ කීවේය. “භය වෙන්න එපා.+ ඔබ කන්දෙන් බැස ඔහු සමඟ යන්න.” එවිට එලියා කන්දෙන් බැස ඔහු සමඟ රජු වෙතට ගියේය. 16  රජු ඉදිරියට පැමිණි විට එලියා, රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසනවා. ‘ඔබ එක්‍රොන් නගරයේ+ බාල්-සේබුබ් දෙවියන්ගෙන් තොරතුරු විමසන්න සේවකයන්ව යැව්වේ+ ඊශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද? ඔබ මේ දේ කළ නිසා ඔබට කවදාවත් ඇඳෙන් බහින්න ලැබෙන්නේ නැත. තව වැඩි කාලයක් ඔබ ජීවත් වෙන්නෙත් නැත.’” 17  යෙහෝවා දෙවි, එලියා මාර්ගයෙන් පැවසූ ලෙස+ අහසියා රජ තව තවත් දුර්වල වී මිය ගියේය.+ අහසියාට පුත්‍රයෙකු නොසිටි නිසා ඔහුට පසුව යෙහෝරම්*+ රජකමට පත් විය. මොහු රජකමට පත් වූයේ යූදාහි රජු වූ යෙහෝෂපාට් රජුගේ පුත් යෙහෝරම්ගේ පාලන සමයේ දෙවන අවුරුද්දේදීය.+ 18  අහසියා රජු+ කළ අනිකුත් දේවල් ගැන ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+

පාදසටහන්

මෙහි කතා කරන්නේ අහසියාගේ සහෝදරයෙක් වන යෙහෝරාම් ගැනයි.