Skip to content

පටුනට යන්න

අතීතයෙන් සටහනක්

ඇරිස්ටෝටල්

ඇරිස්ටෝටල්

මීට අවුරුදු 2,300කට කලින් දර්ශනවාදය සහ විද්‍යාව වෙනුවෙන් ඇරිස්ටෝටල් ලොකු මෙහෙවරක් ඉටු කළා. ඔහුගේ අදහස්, ඔහු ලියපු කෘතීන් සහ සොයාගැනීම් වසර ගණනාවක් පුරා බොහෝ අයගේ අධ්‍යයනයට ලක් වෙලා තියෙනවා. “ස්වාභාවික පරිසරය ගැන ඇරිස්ටෝටල් පළ කරපු මත වසර 2,000ක් පුරා යුරෝපීයයන් ඉහළින් පිළිගත්තා” කියලා ඉතිහාසය ගැන හදාරන මහාචාර්ය ජේම්ස් මැක්ලාක්ලන් කියලා තියෙනවා. ඔහුගේ මත කතෝලික සභාවටත්, ඉස්ලාම් ධර්මයටත්, රෙපරමාදු ආගම්වලටත් බලපාලා තියෙනවා.

ඔහු බොහෝ විෂයන් ගැන හැදෑරුවා

කලාව, තාරකා විද්‍යාව, ජීව විද්‍යාව, ආචාර විද්‍යාව, භාෂාව, නීතිය, තර්ක ශාස්ත්‍රය, චුම්භක බලය, චලනය, රසාස්වාදය, කාව්‍ය රචනය, දේශපාලනය, මනෝ විද්‍යාව වගේ විවිධ විෂයන් ගැන ඇරිස්ටෝටල් අදහස් ලිව්වා. මිනිසුන්ට අමරණීය ආත්මයක් නැහැ කියලා ඔහු විශ්වාස කළා. කොහොමවුණත් ඇරිස්ටෝටල් වැඩියෙන්ම ප්‍රසිද්ධ වුණේ ජීව විද්‍යාව සහ තර්ක ශාස්ත්‍රය ගැන ඔහු ලියපු කෘතීන් නිසයි.

අතීතයේ හිටපු ග්‍රීක දාර්ශනිකයන් අවට දේවල් අවබෝධ කරගන්න උත්සාහ කළේ පෙනෙන්න තිබුණු දේවල් නිරීක්ෂණය කිරීමෙන් සහ ඔවුන් පිළි අරන් හිටපු නියමයන් එක්ක ඒ දේවල් සන්සන්දනය කිරීමෙනුයි. සත්‍යයයි කියලා පිළි අරන් තිබුණු දේවල් ඔස්සේ තර්කානුකූලව හිතුවොත් හරි නිගමනවලට එන්න පුළුවන් කියලා ඔවුන් හිතුවා.

ඒ නියමයන් ඔස්සේ ගිය ග්‍රීක දාර්ශනිකයන් සමහර දේවල් නිවැරදිව අවබෝධ කරගත්තා. උදාහරණයකට විශ්වය පාලනය වන නීති තියෙනවා කියලා ඔවුන් පිළිගත්තා. ඒත් සමහර තැන්වලදී ඔවුන්ට වැරදුණා. පේන්න තිබුණු දේට විතරක් සීමා වෙලා අවට දේවල් අවබෝධ කරගන්න උත්සාහ කරපු එකේ ප්‍රතිඵලයක් විදිහට විශ්වයේ තියෙන ග්‍රහ වස්තූන් පෘථිවිය වටේ ගමන් කරනවා කියලා ඔවුන් හිතුවා. ඒ මතය ඇරිස්ටෝටල් වගේ බුද්ධිමතුන් පවා විශ්වාස කළා. “පෘථිවිය විශ්වයේ හරි මැද තියෙනවා කියලා ග්‍රීකවරුන් දරපු මතය නිවැරදියි කියලයි බැලූ බැල්මට පේන්න තිබුණේ.”—The Closing of the Western Mind.

ඒ වැරදි මතය විද්‍යාවට විතරක් සීමා වුණා නම් කවදා හරි දවසක ඒක නිවැරදි වෙද්දී ඒක ලේසියන්ම පිළිගන්න තිබුණා. ඒත් වුණේ ඒක නෙවෙයි.

කතෝලික සභාව ඇරිස්ටෝටල්ගේ මත ඉහළින් පිළිගනියි

මධ්‍යකාලීන යුගයේදී යුරෝපයේ හිටපු “කතෝලිකයන්” ඇරිස්ටෝටල්ගේ මත භාරගත්තේ පිළිගත් සත්‍යයන් විදිහටයි. රෝමානු කතෝලික ධර්මය හදාරපු පිළිගත් විද්වතෙක් වන තෝමස් ඇක්වයිනස් (ක්‍රි.ව. 1224-1274) ඇරිස්ටෝටල්ගේ අදහස් කතෝලික ධර්මයට එකතු කළා. ඒ නිසා පෘථිවිය පිහිටලා තියෙන්නේ විශ්වයේ හරි මැද කියලා ඇරිස්ටෝටල් දරපු මතය කතෝලික ආගමේ ඉගැන්වීමක් වුණා. කැල්වින් සහ ලූතර් වගේ රෙපරමාදු ආගමික නායකයනුත් ඒ මතයම පිළිගත්තා. ඔවුන් කිව්වේ ඒ අදහස බයිබලයට එකඟයි කියලයි.—“ විද්වතුන්ට වැරදුණු තැන” යන කොටුව බලන්න.

ඇරිස්ටෝටල්ගේ සමහර මත පිළිගත් සත්‍යයන් විදිහට සැලකුවා

“ඇරිස්ටෝටල් දරපු මත සහ කතෝලික සභාව දරපු මත අතර කිසිම වෙනසක් තිබුණේ නැහැ” කියලා ලේඛකයෙක් වන චාල්ස් ෆ්‍රීමන් කිව්වා. ඇක්වයිනස් ඇරිස්ටෝටල්ව කතෝලික බැතිමතෙක් කළා කියලා කතාවට වගේ සමහරු කියන්නේ ඒ නිසයි. ඒත් ඇත්තටම වුණේ “ඇක්වයිනස් ඇරිස්ටෝටල්ගේ ගෝලයෙක් වුණු එකයි” කියලා ෆ්‍රීමන් තවදුරටත් කියනවා. කතෝලික සභාවත් ඇරිස්ටෝටල්ගේ මත පිළිගත්තා. ඒ නිසා තමයි පෘථිවිය සූර්යයා වටා ගමන් කරනවා කියලා ගැලීලියෝ ප්‍රකාශ කළාම කතෝලික සභාව ඔහුව නඩු විභාගයකට කැඳවලා ප්‍රසිද්ධියේම ඒ මතය ඉල්ලා අස් කරගන්න කියලා බල කළේ. * සත්‍යයයි කියලා පිළි අරන් තියෙන දේවල් වුණත් විද්‍යාවෙන් වැරදියි කියලා ඔප්පු වුණාම ඒක පිළිගන්න ඕනෙ කියලා ඇරිස්ටෝටල් විශ්වාස කළත් කතෝලික සභාව ඇරිස්ටෝටල්ගේ ඒ මතය එදා පිළි නොගත්ත එක කණගාටුවට කරුණක්.

^ 11 ඡේ. ගැලීලියෝ සහ කතෝලික සභාව අතර තිබුණු අරගලය ගැන දැනගන්න 2015 ජූනි ‘පිබිදෙව්!’ සඟරාව බලන්න.