Skip to content

පටුනට යන්න

සමලිංගික ඇසුර ගැන බයිබලයේ කියන්නේ මොනවද?

සමලිංගික ඇසුර ගැන බයිබලයේ කියන්නේ මොනවද?

සමලිංගික විවාහයන්වලට නීතියෙන් අවසර දෙනවද නැද්ද කියන දේ ගැන තවමත් හුඟක් රටවල සාකච්ඡාවට ලක් වෙමින් තියෙනවා. හැබැයි 2015දී එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික විවාහයන්වලට නීතියෙන් අවසර තියෙනවා කියලා ප්‍රකාශ කළා. එදා ඉඳන් මිනිසුන් ඒ ගැන විවිධ ප්‍රශ්න ඉන්ටනෙට් එකෙන් හොයන්න පටන්ගත්තා. හුඟදෙනෙක්ට දැනගන්න ඕන වෙලා තිබුණේ “සමලිංගික විවාහයන් ගැන බයිබලයේ කියන්නේ මොකක්ද” කියන එකයි.

සමලිංගික විවාහයන්වලට නීතියෙන් අවසර තියෙනවද, නැද්ද කියන එක ගැන බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි හොයලා බලන්න ඕන වඩාත්ම වැදගත් ප්‍රශ්නය තමයි සමලිංගික ඇසුර ගැන බයිබලයේ කියන්නේ මොනවද කියන දේ.

බයිබලයේ ඒ ගැන තියෙන දේ හොයලා බලන්නේවත් නැතුව හුඟක් අය කියනවා ඒකට උත්තරේ දන්නවා කියලා. ඒත් එයාලාගේ උත්තර පරස්පර විරෝධියි. සමහරු කියනවා සමලිංගික ඇසුර බයිබලයේ සම්පූර්ණයෙන්ම හෙළාදැකලා තියෙනවා කියලා. “අසල්වැසියාට ප්‍රේම කරන්න” කියලා බයිබලයේ තියෙන දේ ඕනෙම විදිහකට ලිංගිකව හැසිරෙන්න ඉඩ දීමක් කියලා කියන පිරිසකුත් ඉන්නවා.—රෝම 13:9.

බයිබලයේ කියන්නේ මොකක්ද?

මේ දේවලින් හරි එක මොකක්ද?

  1. බයිබලයේ සමලිංගික ඇසුර සම්පූර්ණයෙන්ම හෙළාදකිනවා.

  2. සමලිංගික ඇසුර වැරදියි කියලා බයිබලයේ නැහැ.

  3. සමලිංගික ඇසුරේ යෙදෙන අයට වෛර කරන්න කියලා බයිබලයේ තියෙනවා.

උත්තර:

  1. හරි. බයිබලයේ කියන්නේ මෙහෙමයි. ‘සමලිංගික පුරුෂයන්ට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.’ (1 කොරින්ති 6:9, 10) ඒ දේ ගැහැණු අයටත් අදාළයි.—රෝම 1:26.

  2. වැරදියි. බයිබලයේ ලිංගික ඇසුරට අවසර දීලා තියෙන්නේ සැමියාට සහ බිරිඳට විතරයි.—උත්පත්ති 1:27, 28; හිතෝපදේශ 5:18, 19.

  3. වැරදියි. සමලිංගික ඇසුර බයිබලයේ හෙළාදැකලා තිබුණත් ඒ වගේ අයට වෛර කරන්න, හිංසා කරන්න නැත්නම් පහත් කරලා සලකන්න කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.—රෝම 12:18. [1]

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ මොනවද?

සදාචාරය ගැන හොඳම උපදෙස් තියෙන්නේ බයිබලයේ නිසා ඒ උපදෙස්වලට අනුව ජීවත් වෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තීරණය කරලා තියෙනවා. (යෙසායා 48:17) [2] ඒ නිසා සමලිංගික ඇසුර ඇතුළු නුසුදුසු ලිංගික ක්‍රියාවන් එයාලා හෙළාදකිනවා. (1 කොරින්ති 6:18) [3] ඒ වගේ තීරණයක් ගන්න එයාලාට අයිතිය තියෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම වෙලේම උත්සාහ කරන්නේ අනිත් අය තමන්ට සලකනවාට කැමති විදිහටම අනිත් අයටත් සලකන්නයි

ඒ අතරේ ‘සියලුදෙනා සමඟ සමාදානයෙන් ඉන්නත්’ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උත්සාහ කරනවා. (හෙබ්‍රෙව් 12:14) එයාලා සමලිංගික ඇසුර හෙළාදැක්කත් තමන්ගේ මතය අනිත් අයට බලෙන් පොවන්න උත්සාහ කරන්නේ නැහැ. සමලිංගික ඇසුරේ යෙදෙන අයට හිංසා කරන්නේවත් කවුරු හරි ඒ අයට හිංසා කරලා කියලා ආරංචි වුණාම ඒ ගැන සතුටු වෙන්නේවත් නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම වෙලේම උත්සාහ කරන්නේ අනිත් අය තමන්ට සලකනවාට කැමති විදිහටම අනිත් අයටත් සලකන්නයි.—මතෙව් 7:12.

සමලිංගික ඇසුරේ යෙදෙන අයව පහත් කරන්න කියලා බයිබලයේ තියෙනවද?

සමහරු කියනවා සමලිංගික ඇසුරේ යෙදෙන අයව බයිබලයේ පහත් කරලා සලකනවා කියලා. බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන අය කටයුතු කරන්නෙත් ඒ විදිහටමයි කියලයි එයාලා කියන්නේ. ඒ වගේම ‘බයිබලය ලියලා තියෙන්නේ මිනිසුන් දේවල් දිහා හරිම පටු විදිහට බලපු කාලෙක’ කියලත් ‘දැන් ඕනම රටකට, ජාතියකට අයිති අයට වගේම ලිංගික හැසිරීම ගැන විවිධ මත තියෙන අයටත් අපි එක හා සමානව සලකනවා’ කියලත් ඒ අය කියනවා. සමලිංගික ඇසුරේ යෙදෙන අයව හෙළාදකින එක එයාලා සලකන්නේ හරියට වෙන ජාතියක කෙනෙක්ව හෙළාදකිනවා වගෙයි. එහෙම හිතන එක හරිද? නැහැ.

සමලිංගික ක්‍රියාවන් හෙළාදකින එකයි ඒ ක්‍රියාවන් කරන පුද්ගලයන්ව හෙළාදකින එකයි එකිනෙකට වෙනස්. බයිබලයේ කියන්නේ හැම ජාතියකටම අයිති අයට ගරු කරන්න කියලයි. (1 පේතෘස් 2:17) [4] ඒත් ඕනෙම විදිහකට හැසිරෙන එක ක්‍රිස්තියානීන් පිළිගන්න ඕනෙ කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ.

මෙහෙම හිතන්න: සිගරට් බොන එක ඔයා සලකන්නේ හානිකර, මහා ජරා දෙයක් විදිහට. ඒ නිසා අනිත් අය ඔයාව පටු අදහස් තියෙන කෙනෙක් විදිහට සලකන එක හරියි කියලා ඔයා හිතනවද? කෙනෙක් සිගරට් බොනවා, ඔයා බොන්නේ නෑ. ඒකෙන් අදහස් කරනවද ඔයා එයාව පිළිකුල් කරනවා කියලා? සිගරට් බොන එක ගැන ඔයාගේ අදහස වෙනස් කරගන්න කියලා සිගරට් බොන කෙනා බල කරනවා නම් ඒකෙන් පේන්නේ එයා පටු අදහස් තියෙන කෙනෙක් කියලා නෙමෙයිද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තීරණය කරලා තියෙන්නේ බයිබලයේ තියෙන සදාචාර ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්නයි. බයිබලයේ තහනම් කරලා තියෙන ක්‍රියාවන් එයාලා අනුමත කරන්නේ නැහැ. හැබැයි ඒ දේවල් කරන මිනිසුන්ට එයාලා සමච්චල් කරන්නෙවත් නරක විදිහට සලකන්නෙවත් නැහැ.

බයිබලයේ කියන දේ අසාධාරණද?

සමලිංගික හැඟීම් තියෙන අය ගැන කියන්න පුළුවන් මොනවද? එයාලාට ඒ හැඟීම් ඇති වෙන්න ඇත්තේ උපතින්මද? එහෙමනම් ඒ ආසාව ඉෂ්ට කරගන්න එක වැරදියි කියලා කිව්වොත් ඒක අසාධාරණයි නේද?

සමලිංගික හැඟීම් තියෙන අයට ඒ ආසාවන් ඇති වුණේ කොහොමද කියලා බයිබලයේ විස්තර කරන්නේ නැහැ. හැබැයි සමහර පුරුදු කෙනෙකුට තදින් කාවැදිලා තියෙන්න පුළුවන් කියලා බයිබලයේ තියෙනවා. ඒත් දෙවිව සතුටු කරන්න නම් සමලිංගික ක්‍රියා ඇතුළු සමහර ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න ඕනෙ කියලා බයිබලයේ කියලා තියෙනවා.—2 කොරින්ති 10:4, 5.

බයිබලයේ සමලිංගික ක්‍රියාවන් තහනම් කරලා තියෙන එක අසාධාරණයි කියලා සමහර අය කියනවා. ඒත් එයාලා ඒ විදිහට හිතන්නේ ලිංගිකව හැසිරීමේ ආසාව ඇතුළු තමන්ට එන ඕනෙම ආසාවක් කොහොමහරි ඉටු කරගන්න ඕනෙ, ඒ ආසාවන් පාලනය කරන්න බැහැ කියන වැරදි මතය නිසයි. කොහොමවුණත් මිනිසුන්ට තමන්ගේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් කියලා බයිබලයේ තියෙනවා. සතුන්ට වඩා වෙනස්ව මිනිසුන්ට පුළුවන් තමන්ට ඇති වෙන නුසුදුසු ලිංගික ආසාවන් පාලනය කරගන්න.—කොලොස්සි 3:5. [5]

මෙහෙම හිතන්න: කේන්ති යන එක වගේ හැඟීම් උපතින්ම උරුම වෙන්න පුළුවන් කියලා සමහර විශාරදයන් කියනවා. බයිබලයේ ඒ ගැන කෙළින්ම කියලා නැතත් සමහරුන් ‘හදිසි කෝපයෙන්’ සහ ‘කෝපාවිෂ්ටව’ වැඩ කරනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 22:24; 29:22) ඒ වගේම ‘කෝප වීමෙන් වළකින්න, උදහස් වීම අත්හරින්න’ කියලත් බයිබලයේ තියෙනවා.—ගීතාවලිය 37:8; එෆීස 4:31.

ඉක්මනින් කේන්ති යන අයට ඒ වගේ උපදෙසක් දීලා තියෙන එක අසාධාරණයි කියලා සමහර අයට හිතෙන්න පුළුවන්. කොහොමවුණත් කෙනෙක්ට ඒ වගේ හැඟීම් උපතින්ම ඇති වෙන්න පුළුවන් කියලා විශ්වාස කරන විශාරදයනුත් ඒ හැඟීම් පාලනය කරගන්න ඒ අයට උපරිමයෙන් උදව් කරනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් විශ්වාස කරන්නේ බයිබල් ප්‍රතිපත්තිවලට විරුද්ධ ඕනෑම හැඟීමක් පාලනය කරගන්න පුළුවන් කියලයි. විවාහ නොවී විරුද්ධ ලිංගයේ කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න තියෙන ආසාවත් ඒකට ඇතුළත්. බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි ඕනෑම හැඟීමක් සම්බන්ධයෙන් බයිබලයේ කියන්නේ මෙහෙමයි. ‘සෑම කෙනෙකුම තමාගේ ශරීරය ශුද්ධව හා ගෞරවනීය ආකාරයකින් පාලනය කරගත යුතු අන්දම ගැන දැන සිටිය යුතුයි. දෙවිව හඳුනන්නේ නැති ජාතීන් කරන්නා සේ කිසිවෙකු කාමාශාවෙන් දැවිදැවී නොසිටිය යුතුයි.’—1 තෙසලෝනික 4:4, 5.

‘ඔබෙන් සමහරදෙනෙක් කලින් එවැනි දේවල යෙදී සිටියා’

පළවෙනි සියවසේ හිටිය සමහරුන් ක්‍රිස්තියානීන් වෙන්න තියෙන කැමැත්ත නිසා ඒ අය හුරුපුරුදු වෙලා හිටිය ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තා. උදාහරණයකට ‘වේශ්‍යාකම් කරන අය, රූප වන්දනාවේ යෙදෙන අය, අනාචාරයේ හැසිරෙන අය සහ සමලිංගික පුරුෂයන්’ ගැන කතා කළාට පස්සේ බයිබලයේ මෙහෙම කියනවා. “ඔබෙන් සමහරදෙනෙක් කලින් එවැනි දේවල යෙදී සිටි අය වූහ.”1 කොරින්ති 6:9-11.

ඒකෙන් අදහස් කරන්නේ සමලිංගික හැඟීම් තිබුණු අයට ආයෙත් කවදාවත් ඒ වගේ හැඟීම් ඇති වෙන්නේ නැහැ කියලද? නැහැ. බයිබලයේ මෙහෙම කියනවා. ‘දිගටම දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන්න. ඔබ එසේ කළොත් ඔබේම පව්කාර ආශාවන්ට අනුව ක්‍රියා කරන්න ඔබ පෙලඹෙන්නේ නැත.’—ගලාති 5:16.

බයිබලයේ කියන්නේ ක්‍රිස්තියානියෙක්ගේ හිතේ කවදාවත් නරක ආසාවන් ඇති වෙන්නේ නැහැ කියලා නෙවෙයි, වැරදි ආසාවන්ට අනුව වැඩ කරන්නේ නැතුව ඉන්න තීරණය කරනවා කියලයි. වැරදි ආසාවන් ගැන දිගින් දිගටම හිතමින් ඉන්නවා වෙනුවට ඒ ආසාවන් පාලනය කරගන්න ක්‍රිස්තියානීන් ඉගෙනගන්නවා.—යාකොබ් 1:14, 15. [6]

යම් දෙයක් කරන්න ආසාවක් ඇති වෙන එකත් ඒ අනුව වැඩ කරන එකත් අතර වෙනසක් තියෙනවා. (රෝම 7:16-25) කේන්තිය, අනාචාරය, කෑදරකම වගේ දේවල් පාලනය කරන්න ඉගෙනගන්නවා වගේ සමලිංගික හැඟීම් පාලනය කරන්න ඉගෙනගන්නත් ඕනෙම කෙනෙක්ට පුළුවන්.—1 කොරින්ති 9:27; 2 පේතෘස් 2:14, 15.

සදාචාරය ගැන බයිබලයේ තියෙන උපදෙස් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පිළිපැද්දත් ඒවා අනිත් අයට බලෙන් පොවන්න එයාලා උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේම වෙනස් ජීවිත රටාවන් ගෙවන අයගේ අයිතීන් වෙනුවෙන් අධිකරණයෙන් පනවලා තියෙන නීති වෙනස් කරන්න එයාලා උත්සාහ කරන්නෙත් නැහැ. ඒ වෙනුවට අනාගතයේදී ලැබෙන්න යන ලස්සන ජීවිතයක් ගැන අහන්න කැමති හැමෝටම කියන්නයි එයාලා උත්සාහ කරන්නේ.—ක්‍රියා 20:20.

^ 1. රෝම 12:18: “මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට හැකි උපරිමය කරන්න.”

^ 2. යෙසායා 48:17 ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නේ මමය.’

^ 3. 1 කොරින්ති 6:18 “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න.”

^ 4. 1 පේතෘස් 2:17 “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න.”

^ 5. කොලොස්සි 3:5 ‘වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආසාවද කාමාශාවද සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි.’

^ 6. යාකොබ් 1:14, 15: “කෙනෙක් නොමඟ ගොස් වරදට පෙලඹෙන්නේ ඒ තැනැත්තා තුළ තිබෙන නුසුදුසු ආශාවන් නිසාය. ඒ ආශාවන් පාලනය කරගන්නේ නැත්නම් ඔහු තුළ පව් කිරීමට පෙලඹීමක් ඇති වෙයි. ඔහු පව් කරන විට එහි ප්‍රතිඵලය මරණයයි.”