Skip to content

පටුනට යන්න

ඔයාවම හොඳින් හඳුනාගෙන ඉන්න එක ඔයාට උදව් වෙයි කුණාටු වගේ ප්‍රශ්න එද්දී නොසැලී ඉන්න

යොවුන් දරුවන්ට

9: ඔයාවම හඳුනාගන්න

9: ඔයාවම හඳුනාගන්න

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

ඔයාවම හඳුනාගන්න කියලා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ ඔයා ජීවත් වෙන්නේ මොන ප්‍රතිපත්තිවලට එකඟවද, ඔයාගේ විශ්වාසයන් මොනවාද සහ ඔයාට තියෙන්නේ මොන වගේ ගුණාංගද කියලා ඔයාම තේරුම්ගන්න එකටයි.

ඒක වැදගත් වෙන්නේ ඇයි?

ඔයා කවුද කියන එක ගැන ඔයාට පැහැදිලි අවබෝධයක් තියෙනවා නම් යාළුවන්ට ඕන විදිහට ඔයා වැඩ කරන්නේ නැහැ. ඔයාගේ විශ්වාසයන් ගැන කතා කරන්න බය වෙන්නෙත් නැහැ.

“හුඟක් අය සාප්පුවල ඇඳුම් ප්‍රදර්ශනය කරන්න දාලා තියෙන ඩමියක් වගේ. මොකද ඩමියට අන්දන ඇඳුම තීරණය කරන්නේ ඩමිය නෙමෙයි. අනිත් අය.”—ඒඩ්‍රියන්.

“මොන බලපෑමක් ආවත් හරි දේ කරන්න මං ඉගෙනගත්තා. මගේ අදහස්වලට ගරු කරන, නිදහසේ ආශ්‍රය කරන්න පුළුවන් අයව තමයි මං මගේ නියම යාළුවන් විදිහට සලකන්නේ.”—කෝට්නි.

බයිබල් ප්‍රතිපත්තිය: ‘තවදුරටත් මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න. පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න.’—රෝම 12:2.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

ඔයාගේ හොඳ පැති, දුර්වල පැති සහ විශ්වාසයන් ගැන හොඳට හිතන එක ඔයාට උදව් වෙයි වඩාත් හොඳ පුද්ගලයෙක් වෙන්න. මේ ප්‍රශ්න ගැන හිතන එකත් ඔයාට ප්‍රයෝජනවත් වෙයි.

හොඳ පැති: මගේ හැකියාවන් සහ දක්ෂතාවන් මොනවාද? මගේ හොඳ ගුණාංග මොනවාද? (උදාහරණෙකට මං කඩිසරද, ත්‍යාගශීලීද, වෙලාවට වැඩ කරනවාද? මාවම පාලනය කරගන්නවාද?) මං කරන හොඳ දේවල් මොනවාද?

යෝජනාවක්: ඔයාගේ හොඳ පැති මොනවාද කියලා හඳුනාගන්න අමාරුයිද? එහෙනම් අම්මාගෙන් හරි තාත්තාගෙන් හරි විශ්වාසවන්ත යාළුවෙක්ගෙන් හරි ඒ ගැන අහන්න. එයා එහෙම කියන්නේ ඇයි කියලත් අහන්න.

බයිබල් ප්‍රතිපත්තිය: “සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන. මෙහිදී අන් අය සමඟ සැසඳීම් කිරීම අවශ්‍ය වන්නේ නැත.”—ගලාති 6:4.

දුර්වල පැති: මං ඉක්මනින්ම හදාගන්න ඕනෙ මොන දුර්වලකමද? වැරදි දෙයක් කරන්න මං පෙලඹෙන්නේ මොන වගේ අවස්ථාවලදීද? මං මාවම පාලනය කරගන්න ඕනෙ මොන වගේ පැතිවලින්ද?

බයිබල් ප්‍රතිපත්තිය: “‘අප තුළ පාපයක් නැත’ කියා අප පැවසුවොත් අප කරන්නේ අපවම රවටාගැනීමක් පමණි.”—1 යොහන් 1:8.

විශ්වාසයන්: මං ජීවත් වෙන්නේ මොන ප්‍රමිතිවලට එකඟවද? ඒ ඇයි? දෙවි කෙනෙක් ගැන මං විශ්වාස කරනවාද? ඒකට හේතු මොනවාද? අසාධාරණයි කියලා මට හිතෙන්නේ මොන දේවල්ද? එහෙම හිතන්නේ ඇයි? අනාගතයේ මොනවා වෙයි කියලාද මං විශ්වාස කරන්නේ?

බයිබල් ප්‍රතිපත්තිය: “සිතීමේ හැකියාව ඔබව සුරකිනු ඇත. වටහාගැනීමේ හැකියාවද ඔබට ආරක්ෂාවක් වනු ඇත.”—හිතෝපදේශ 2:11.