Skip to content

පටුනට යන්න

කරුණාවන්ත ක්‍රියාවක් ගිය දුරක්

කරුණාවන්ත ක්‍රියාවක් ගිය දුරක්

ජෝන් සහ එයාගේ පවුලේ අය ජීවත් වුණේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ තියෙන පුංචි නගරයක. එයාගේ තාත්තා සාක්ෂිකරුවෙක් වෙලා තියෙන්නේ 1950 ගණන්වල අග භාගයෙදී. ඒත් ජෝනුයි, එයාගේ පවුලේ අනිත් අයයි තද කතෝලික භක්තිකයන්. එයාලා තාත්තාගේ ආගමට තදින්ම විරුද්ධ වුණා.

සභාවේ යාළුවෙක්ට ලියුමක් ගිහින් දෙන්න කියලා දවසක් තාත්තා ජෝන්ට කිව්වා. එදා උදේ ජෝන් ලොකු බැරල් එකක් අරින්න ගිහිල්ලා එයාගේ ඇඟිල්ල හොඳටම කැපුණා. ඒත් තාත්තා කියපු දේ කරන්න ඕනෙ නිසා එයා ලේ ගලගල තිබුණ තුවාලෙට රෙදි පටියක් බැඳගෙන ලියුම ගිහින් දෙන්න පයින්ම ගියා.

තාත්තාගේ යාළුවාගේ බිරිඳ තමයි ඒ ලියුම භාරගත්තේ. එයාත් සාක්ෂිකරුවෙක්. එයා ඉන්දියාවේ කෙනෙක් නෙමෙයි. ලියුම ගද්දී ජෝන්ගේ අතේ තිබුණ තුවාලේ එයා දැක්කා. ඉක්මනින්ම ඒකට බෙහෙත් දාන්න එයා ඉදිරිපත් වුණා. එයා ජෝන්ගේ තුවාලේ විෂබීජ නාශකයකින් පිරිසිදු කරලා බෙහෙත් දාලා බැන්ඩේජ් පටියකින් බැන්දා. ඊටපස්සේ එයා ජෝන්ට තේ එකකුත් හදලා දුන්නා. ඔය අතරේ එයා බයිබලේ තියෙන දේවල් ගැන ජෝන් එක්ක කතා කළා.

එයා එක්ක කතා කරද්දී සාක්ෂිකරුවන් ගැන ජෝන්ට තිබුණ අකමැත්ත ටිකෙන් ටික අඩු වෙන්න පටන්ගත්තා. තාත්තාගේ විශ්වාසයන් කතෝලික ඉගැන්වීම්වලට වඩා වෙනස් වුණ කාරණා 2ක් ගැන ජෝන් ඒ කාන්තාවගෙන් ඇහුවා. එකක් තමයි යේසුස් දෙවියන්ද කියන ප්‍රශ්නේ. අනික ක්‍රිස්තියානීන් මරියාට යාච්ඤා කරන්න ඕනෙද කියන ප්‍රශ්නේ. ඒ කාන්තාව ඒ ප්‍රශ්නවලට ගුජරාටි භාෂාවෙන් තිබුණ බයිබලෙන් උත්තර දීලා “රාජ්‍යයේ මේ ශුභාරංචිය” කියන පුංචි පොත ජෝන්ට දුන්නා.

‘දැන්නේ මං බයිබලේ තියෙන දේවල් ගැන දැනගන්නේ’ කියලා ඒ පොත කියවද්දී ජෝන්ට හිතුණා. කාන්තාවගෙන් අහපු ප්‍රශ්න දෙකම එයා පල්ලියට ගිහින් පූජකයාගෙනුත් ඇහුවා. ඒ වෙලාවේ පූජකයාට කේන්ති ගිහින් ජෝන්ට බයිබලෙන් දමලා ගැහුවා. “උඹ සාතන්ට අහු වෙලා. මට පෙන්නනවා බයිබලේ කොහේද තියෙන්නේ යේසුස් දෙවියන්වහන්සේ නෙමෙයි කියලා. මරියතුමියට නමස්කාර කරන්න එපා කියලා. පුළුවන් නම් පෙන්නනවා!” පූජකයාගේ හැසිරීම ගැන ජෝන් කලකිරුණා. “මං ආයේ පල්ලිය පැත්ත පළාතේ එන්නේ නෑ” කියලා එයා යන්න ගියා. කියපු විදිහටම එයා ආයේ කවදාවත් පල්ලි ගියේ නැහැ.

ජෝන් සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. ටික කාලෙකින් එයා සාක්ෂිකරුවෙක් වුණා. එයාගේ පවුලේ තව කීපදෙනෙක්මත් සත්‍යයට ආවා. මීට අවුරුදු 60කට විතර කලින් වුණ තුවාලේ පාර තාම තියෙනවා. ඒක එයාට මතක් කරන්නේ සත්‍ය මාර්ගයට එන්න එයාට උදව් වුණ ඒ සහෝදරියගේ කරුණාවන්ත ක්‍රියාවයි.—2 කොරි. 6:4, 6.