Skip to content

පටුනට යන්න

හැමදාටම දෙවිගේ පාලනයට පක්ෂව ඉන්න

හැමදාටම දෙවිගේ පාලනයට පක්ෂව ඉන්න

“අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.”—එළි. 4:11.

ගීතිකා: 12, 150

1, 2. අපි හැම කෙනෙක්ම අපිටම තහවුරු කරගන්න ඕනෙ මොන කාරණයද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

අපි කලින් ලිපියෙන් බලපු විදිහට සාතන් යෙහෝවා දෙවි ගැන කිව්වේ ඔහු අසාධාරණ පාලකයෙක් කියලා. ඒ නිසා මිනිසුන්ව පාලනය කරන්න දෙවිට අයිතියක් තියෙනවද කියලා එයා ප්‍රශ්න කළා. පාලනය මිනිසුන්ගේ අතට ගන්නවා නම් වැඩි සතුටක් අද්දකින්න පුළුවන් කියලත් සාතන් කිව්වා. ඒක ඇත්තද? හිතන්න, පාලනය තමන්ගේ අතට ගත්ත මිනිසුන්ට සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා කියලා. දෙවිගේ පාලනය යටතේ ඉන්නවට වඩා වැඩි සතුටක් එයාලා අද්දකියිද? දෙවිගේ පාලනයක් නැතුව ඔයාට සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබුණොත් ඔයා සතුටු වෙයිද?

2 ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනෙ ඔයාමයි. වෙන කාටවත් බැහැ ඔයා වෙනුවෙන් උත්තර දෙන්න. අපි හැම කෙනෙක්ම ඒ ප්‍රශ්න ගැන හොඳට හිතන්න ඕනේ. එහෙම කරද්දී යෙහෝවා දෙවි පාලනය කරන විදිහ තමයි හොඳම විදිහ කියලත් අපේ පාලකයා වෙන්න සුදුසුම තැනැත්තා ඔහු කියලත් අපිට තවත් පැහැදිලි වෙයි. ඒ ගැන විශ්වාසයක් ඇති කරගන්න අපිට උදව් වෙන බයිබලේ සඳහන් තොරතුරු දැන් බලමු.

පාලනය කරන්න යෙහෝවා දෙවිට අයිතියක් තියෙනවා

3. පාලනය කරන්න අයිතිය තියෙන එකම කෙනා යෙහෝවා දෙවි කියන්නේ ඇයි?

3 සියලු බලැති දෙවි සහ හැම දේකම නිර්මාතෘ යෙහෝවා දෙවි නිසා විශ්වය පාලනය කරන්න අයිතිය තියෙන එකම තැනැත්තා ඔහුයි. (1 ලේක. 29:11; ක්‍රියා 4:24) ස්වර්ගය ගැන සඳහන් වෙන දර්ශනයක යේසුස් එක්ක පාලනයට හවුල් වෙන 1,44,000දෙනා මෙහෙම කියනවා. “අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය. ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත් ඔබේ කැමැත්ත නිසාය.” (එළි. 4:11) හැම දෙයක්ම නිර්මාණය කළේ යෙහෝවා දෙවි නිසා ස්වර්ගයෙත් පොළොවෙත් ඉන්න හැම කෙනෙක්වම පාලනය කරන්න ඔහුට අයිතියක් තියෙනවා.

4. තීරණ ගන්න නිදහස තිබුණා කියලා දෙවිට විරුද්ධව කැරලිගහන්න අපිට අයිතියක් නැහැ කියන්නේ ඇයි?

4 සාතන් කිසිම දෙයක් නිර්මාණය කළේ නැහැ. ඒ නිසා විශ්වයේ පාලකයා වෙන්න එයාට කිසිම අයිතියක් නැහැ. දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කරපු සාතන් සහ මුල් යුවළ වැඩ කළේ හරිම උද්දච්ච විදිහට. (යෙරෙ. 10:23) තීරණ ගන්න එයාලට නිදහස තිබුණා. ඒත් ඒකෙන් අදහස් කළාද දෙවිගේ පාලනය වුණත් ප්‍රතික්ෂේප කරන්න එයාලට අයිතියක් තිබුණා කියලා? නැහැ. තීරණ ගන්න නිදහස තියෙනවා කියන්නේ කෙනෙක්ට යම් තේරීම් කරන්න පුළුවන් කියන එකයි. ඒත් එහෙමයි කියලා එයාට නිර්මාතෘ වන යෙහෝවා දෙවිට විරුද්ධව යන්න අයිතියක් නැහැ. කෙනෙක් දෙවිට විරුද්ධව කැරලිගහනවා නම් එයා කරන්නේ තීරණ ගන්න තමන්ට තියෙන නිදහස අයුතු විදිහට පාවිච්චි කරන එක. මිනිසුන් විදිහට අපිට යෙහෝවා දෙවිගේ පාලනය, ඔහුගේ මඟ පෙන්වීම් ඕනෙමයි.

5. දෙවි ගන්න තීරණ හැම වෙලේම යුක්තිසහගතයි කියන්නේ ඇයි?

5 යෙහෝවා දෙවි ඔහුගේ අධිකාරිය පාවිච්චි කරන්නේ හැම අතින්ම යුක්තිසහගත විදිහට. විශ්වය පාලනය කරන්න ඔහුට අයිතිය තියෙනවා කියන්න ඒක තවත් හේතුවක්. “පොළොවේ ජීවත් වන වැසියන්ට ප්‍රේමය පෙන්වීමෙන්ද යුක්තිය ඉටු කිරීමෙන් හා ධර්මිෂ්ඨකම පැවැත්වීමෙන්ද මා ඉමහත් සතුටක් ලබන දෙවි කෙනෙක්” කියලා දෙවිම කියනවා. (යෙරෙ. 9:24) හරි දේ මොකක්ද කියලා තීරණය කරන්න දෙවිට මිනිසුන් දාපු නීති ඕනෙ නැහැ. හරි දේ ගැන ප්‍රමිති පිහිටෙව්වේ ඔහුයි. දෙවි මිනිසුන්ට නීති දෙන්නේ ඒ ප්‍රමිති පදනම් කරගෙනයි. ගීතිකාකරු මෙහෙම කිව්වා. “ඔබේ සිංහාසනය පිහිටුවා ඇත්තේ ධර්මිෂ්ඨකම හා යුක්තිය මතය.” යෙහෝවා දෙවි දෙන නීති, ඔහුගේ ප්‍රතිපත්ති, ඔහු ගන්න තීරණ හැම එකක්ම 100%ක්ම නිවැරදියි. (ගීතා. 89:14; 119:128) සාතන් චෝදනා කළේ යෙහෝවා දෙවි අසාධාරණ පාලකයෙක් කියලා. ඒත් සාතන්ට පුළුවන් වෙලා තියෙනවද යුක්තිය රජයන ලොවක් බිහි කරන්න?

6. ලෝකය පාලනය කරන්න යෙහෝවා දෙවිට අයිතිය තියනවා කියන්න එක හේතුවක් මොකක්ද?

6 විශ්වය පාලනය කරන්න යෙහෝවා දෙවිට අයිතිය තියෙනවා කියන්න තවත් හේතුවක් තමයි විශ්වයේ තියෙන හැම දෙයක්ම හොඳින් බලාගන්න අවශ්‍ය දැනුම, ප්‍රඥාව ඔහුට තියෙන එක. වෛද්‍යවරුන්ට හොඳ කරන්න බැරි ලෙඩ සුව කරන්න දෙවි තමන්ගේ පුතාට හැකියාව දුන්න එකෙන් ඒක හොඳින්ම පැහැදිලියි. (මතෙ. 4:23, 24; මාක් 5:25-29) ඒවා අපිට ආශ්චර්යයන් වුණාට දෙවිට ඒවා ආශ්චර්යයන් නෙමෙයි. මිනිස් සිරුරේ සැකැස්ම ගැන දෙවිට හොඳ අවබෝධයක් තියෙන නිසා සිරුරට වෙන ඕනෙම ආබාධයක් සුව කරන්න ඔහුට පුළුවන්. මිය ගිය අයට ආපහු ජීවිතය දෙන්නත් ස්වාභාවික විපත් වළක්වන්නත් ඔහුට පුළුවන්.

7. මේ සමාජයේ ඉන්න ඕනෙම කෙනෙක්ට වඩා යෙහෝවා දෙවි ප්‍රඥාවන්තයි කියන්නේ ඇයි?

7 සාතන්ගේ පාලනය යටතේ ඉන්න අයට බැහැ මේ ලෝකෙට සාමය උදා කරන්න. රට රටවල් අතරේ තියා අඩුම ගානේ රටක් ඇතුළේවත් සාමය උදා කරන්න එයාලට පුළුවන් වෙලා නැහැ. මුළු පොළොවටම සාමය උදා කරන්න අවශ්‍ය ප්‍රඥාව තියෙන්නේ යෙහෝවා දෙවිට විතරයි. (යෙසා. 2:3, 4; 54:13) දෙවිගේ ප්‍රඥාව ගැන අපිට හැඟෙන්නෙත් මේ විදිහටමයි. “දෙවි ලබා දෙන ආශීර්වාද කොතරම් ශ්‍රේෂ්ඨද! ඔහුගේ ප්‍රඥාවත් දැනුමත් කොතරම් පුළුල්ද! ඔහු දේවල් තීරණය කරන ආකාරය සහ ඔහු අනුගමනය කරන ක්‍රියාමාර්ග තේරුම්ගැනීම කොතරම් අමාරුද!”—රෝම 11:33.

දෙවිගේ පාලනය හොඳම පාලනයයි

8. දෙවිගේ පාලනය ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

8 පාලනය කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවිටයි කියන දේ බයිබලේ තියෙන තොරතුරුවලින් අපිට පැහැදිලි වුණා. ඒ විතරක් නෙමෙයි හොඳම පාලකයා යෙහෝවා දෙවියි කියන කාරණයත් බයිබලෙන් පැහැදිලි වෙනවා. ඔහුගේ පාලනය ආදරය මත පදනම් වෙන එක එහෙම කියන්න එක හේතුවක්. දෙවිගේ පෞද්ගලිකත්වය ගැන හිතද්දී අපි ඔහුට තවත් ළං වෙන්නේ නිතැතින්මයි. ඔහු ‘දයාන්විත, කරුණාවන්ත, කෝප වීමට ඉක්මන් නොවන, ඉමහත් ප්‍රේමයක් පෙන්වන, සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන’ දෙවි කෙනෙක්. (නික්. 34:6) ඔහු අපිට සලකන්නේ ගෞරවයෙන්. අපි අපි ගැන සැලකිලිමත් වෙනවට වඩා වැඩියෙන් දෙවි අපි ගැන සැලකිලිමත්. අපිව ආදරෙන් බලාගන්නවා. සාතන් කියන්නේ දෙවි අපිට යහපත් දේවල් දෙන්නේ නැහැ කියලයි. ඒත් ඒක අමූලික බොරුවක්. හැමදාටම ජීවත් වෙන්න අපිට අවස්ථාව දෙන්න දෙවි තමන්ගේ ආදරණීය පුතාව අපි වෙනුවෙන් දුන්නා.—ගීතාවලිය 84:11; රෝම 8:32 කියවන්න.

9. අපි එක් එක් කෙනා ගැන දෙවි සැලකිලිමත් කියලා අපි දන්නේ කොහොමද?

9 යෙහෝවා දෙවි කණ්ඩායමක් විදිහට ඔහුගේ සෙනඟට ආදරෙයි. ඒ වගේම ඔහු එක් එක් පුද්ගලයා ගැනත් සැලකිලිමත්. අතීත සිද්ධියක් ටිකක් මතක් කරගමු. අවුරුදු 300ක විතර කාලයක් පුරා දෙවි විනිශ්චයකරුවන් මාර්ගයෙන් තමන්ගේ සෙනඟට මඟ පෙන්නුවා. යුධ ජයග්‍රහණ ලබා දුන්නා. ඒ අතරේ දෙවි එක් එක් පුද්ගලයාටත් අවධානය දුන්නා. රූත් ඒ වගේ කෙනෙක්. එයා ඊශ්‍රායෙල් ජාතිකයෙක් නොවුණත් යෙහෝවා දෙවිගේ සේවකයෙක් වෙන්න හුඟක් කැප කිරීම් කළා. සැමියෙක්ව, පුතෙක්ව දීලා දෙවි එයාට ආශීර්වාද කළා. දෙවි ඊට වඩා දේවලුත් කළා. ගැලවුම්කරුගේ පෙළපතට අයිති කෙනෙක් වෙන්න රූත්ගේ පුතාට අවස්ථාව ලැබුණා. දෙවි රූත්ගේ ජීවිත කතාව බයිබලේට ඇතුළත් කරලා ඒ පොත එයාගේ නමින්ම හැඳින්නුවා. රූත්ට ආපහු ජීවිතේ ලැබුණම ඒ හැම දෙයක් ගැනම එයා දැනගනියි. එතකොට එයාට කොහොම හැඟෙයිද කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද?—රූත් 4:13; මතෙ. 1:5, 16.

10. දෙවි නපුරු පාලකයෙක් නෙමෙයි කියන්නේ ඇයි?

10 යෙහෝවා දෙවි නපුරු, දරදඬු පාලකයෙක් නෙමෙයි. ඒ වෙනුවට ඔහුගේ පාලනය යටතේ ඉන්න අයට නිදහස තියෙනවා. එයාලා ලොකු සතුටක් අද්දකිනවා. (2 කොරි. 3:17) දාවිත් දෙවි ගැන කිව්වේ “ගෞරවයත් තේජශ්‍රීයත් ඔහු ඉදිරියෙහිය. බලයත් ප්‍රීතියත් ඔහුගේ වාසස්ථානයෙහි ඇත” කියලයි. (1 ලේක. 16:7, 27) තවත් ගීතිකාකරුවෙක් කිව්වේ මෙහෙමයි. “ප්‍රීති ඝෝෂාවන්ට හවුල් වන්නෝ සන්තෝෂවත්ය. යෙහෝවා දෙවියනි, ඔබේ මුහුණෙන් විහිදෙන ආලෝකයෙන් ඔවුහු ගමන් කරන්නෝය. ඔබේ නාමය නිසා ඔවුහු දවස මුළුල්ලේම ප්‍රීතියෙන් සිටින්නෝය. ඔබේ ධර්මිෂ්ඨකම නිසා ඔබ ඔවුන්ව උසස් කරනු ලබන්නෙහිය.”—ගීතා. 89:15, 16.

11. හොඳම පාලකයා දෙවියි කියන දේ අපිට තවත් තහවුරු කරගන්න පුළුවන් කොහොමද?

11 යෙහෝවා දෙවිගේ යහපත්කම ගැන හිතන තරමට හොඳම පාලකයා ඔහුයි කියන දේ අපිට තවත් තහවුරු වෙනවා. එතකොට අපිටත් මෙහෙම හැඟෙයි. “වෙනත් තැනක දවස් දහසක් ගත කරනවාට වඩා ඔබේ කූඩාරමේ මළුවෙහි එක දවසක් ගත කිරීමට ලැබීම මට අගනේය.” (ගීතා. 84:10) අපිව නිර්මාණය කළේ යෙහෝවා දෙවි නිසා සතුටින් ඉන්න ඇත්තටම අපිට අවශ්‍ය මොනවද කියලා ඔහු දන්නවා. අපිට අවශ්‍ය දේ අපි හිතනවටත් වඩා වැඩියෙන් ඔහු අපිට සපයනවා. දෙවි අපිට යමක් කරන්න කියනවා නම් ඒ දේ දෙවි කියන්නේ අපේම හොඳට. යම් කැප කිරීම් කරන්න වුණත් අපි දෙවිට කීකරු වෙනවා නම් අපිට ලොකු සතුටක් අද්දකින්න පුළුවන්.—යෙසායා 48:17 කියවන්න.

12. අපි දෙවිගේ පාලනයට සහය දෙන ප්‍රධානම හේතුව මොකක්ද?

12 යේසුස්ගේ දහස් අවුරුදු පාලනය අවසන් වුණාට පස්සෙත් පිරිසක් දෙවිගේ පාලනයට විරුද්ධව කැරලිගහනවා කියලා බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලියි. (එළි. 20:7, 8) මොන හේතුව නිසා එයාලා ඒ වගේ දෙයක් කරන්න පෙලඹෙයිද? දෙවිගේ පාලනයක් නැතුව සදහටම ජීවත් වෙන්න මිනිසුන්ට පුළුවන් කියන දේ ඒත්තුගන්වන්න සාතන් එදාටත් උත්සාහ කරයි. ඒත් ඒක කවදාවත් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි අපෙන්ම මේ ප්‍රශ්නේ අහගමු. ‘ඒ වගේ බොරුවක් මං විශ්වාස කරයිද?’ අපි මුළු හදින්ම යෙහෝවා දෙවිට ආදරෙයි නම්, පාලනය කරන්න අයිතිය තියෙන එකම කෙනා වගේම සුදුසුම කෙනා ඔහුයි කියලා අපිට විශ්වාසයි නම් ඒ වගේ බොරුවක් ඇහෙද්දීත් අපිට පිළිකුලක් දැනෙයි. අපේ ආදරණීය දෙවි යෙහෝවාගේ පාලනය නැතුව ජීවත් වෙන එක ගැන අපි කවදාවත් හිතන්නෙවත් නැහැ.

දෙවිගේ පාලනයට සහය දෙන්න

13. දෙවිව අනුකරණය කරන එකෙන් ඔහුගේ පාලනයට සහය වෙන්න අපිට පුළුවන් කොහොමද?

13 යෙහෝවා දෙවිගේ පාලනයට අපේ සම්පූර්ණ සහය ලැබෙන එක වැදගත්. ඒක ලබන්න දෙවි වටිනවා. මොකද පාලනය කරන්න අයිතිය තියෙන්නේ ඔහුට කියලත් ඔහු පාලනය කරන විදිහ තමයි හොඳම විදිහ කියලත් අපි දැනගත්තා. දෙවිට විශ්වාසවන්තව සේවය කරලා අපි පක්ෂ දෙවිගේ පාලනයටයි කියලා ඔප්පු කරන්න අපිට පුළුවන්. ජීවිතේ හැම කාරණයකදීම යෙහෝවා දෙවිව අනුකරණය කරන්න උත්සාහ කරනවා නම් ඒකෙනුත් ඔප්පු වෙන්නේ අපි දෙවිගේ පාලනයට සම්පූර්ණ සහය දෙනවා කියලයි.—එෆීස 5:1, 2 කියවන්න.

14. දෙවිව අනුකරණය කරන්න වැඩිමහල්ලන්ට සහ පවුලේ මූලිකයන්ට පුළුවන් කොහොමද?

14 යෙහෝවා දෙවි තමන්ට තියෙන අධිකාරිය කවදාවත් අයුතු විදිහට පාවිච්චි කරන්නේ නැහැ කියලා බයිබලේ අධ්‍යයනය කරද්දී අපි ඉගෙනගත්තා. දෙවිගේ පාලනයට කැමැත්තෙන්ම කීකරු වෙන වැඩිමහල්ලන්, පවුලේ මූලිකයන් එයාලගේ අධිකාරිය පාවිච්චි කරද්දී දෙවිව ආදර්ශයට ගන්නවා. එයාලා අනිත් අයට සැරපරුෂ විදිහට සලකන්නෙවත්, අනිත් අයව පාලනය කරන්න හදන්නෙවත් නැහැ. පාවුල් දෙවිව සහ යේසුස්ව ආදර්ශයට ගන්න ලොකු වෑයමක් දරපු කෙනෙක්. (1 කොරි. 11:1) එයා අනිත් අයව අපහසුතාවට පත් කළේ නැහැ. හරි දේ කරන්න කියලා එයාලට බල කළේ නැහැ. ඒ වෙනුවට හරි දේ කරන්න එයාලව ආදරෙන් දිරිගැන්නුවා. (රෝම 12:1; එෆී. 4:1; ෆිලෙ. 8-10) අපිත් අනිත් අයට ආදරෙන් සලකද්දී ඔප්පු වෙන්නේ අපි පක්ෂ දෙවිගේ පාලනයට කියලයි.

15. අධිකාරියක් තියෙන අයට ගරු කරන එකෙන් දෙවිගේ පාලනයට සහය දෙන්න අපිට පුළුවන් කොහොමද?

15 අපි දෙවිගේ පාලනය පිළිගන්නවා නම් දෙවි අධිකාරියක් දීලා තියෙන අය එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. සමහරවිට එයාලා යම් තීරණයක් ගත්ත හේතුව අපිට තේරුම්ගන්න බැරි වෙයි. ඒකට අපි එකඟ වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙම වෙලාවලදීත් අපි දෙවිගේ සැලැස්මට සහය දෙනවා. අද සමාජයේ ඉන්න වැඩිදෙනෙක් කීකරු වෙන්න අකමැති වුණත් දෙවිගේ පාලනය පිළිගන්න අය ඊට වඩා වෙනස් වෙන්න ඕනේ. (එෆී. 5:22, 23; 6:1-3; හෙබ්‍රෙ. 13:17) දෙවි හැම වෙලේම දේවල් කරන්නේ අපේ යහපත ගැන හිතලා නිසා ඔහුගේ සැලැස්මට කීකරු වෙද්දී ඒකෙන් හොඳක් වෙන්නේ අපිටමයි.

16. අපි ගන්න තීරණවලින් අපි පක්ෂ දෙවිගේ පාලනයටයි කියලා පේන්නේ කොහොමද?

16 අපි ගන්න තීරණවලිනුත් අපි පක්ෂ දෙවිගේ පාලනයටයි කියලා පෙන්නන්න පුළුවන්. ජීවිතේ මුහුණ දෙන හැම කාරණයක් ගැනම දෙවි අපිට නීති දීලා නැහැ. ඒ වෙනුවට කාරණා ගැන ඔහුට හැඟෙන විදිහ ඔහු කියලා තියෙනවා. තීරණ ගන්න ඒක අපිට උදව්වක්. උදාහරණෙකට සුදුසු, සුදුසු නැති ඇඳුම් ගැන ලැයිස්තුවක් දෙවි අපිට දීලා නැහැ. ඒ වෙනුවට දෙවි කියලා තියෙන්නේ ඔහුගේ සේවකයන් විනීත, දෙවිට ගෞරවයක් ගේන විදිහේ ඇඳුම් තෝරගන්න ඕනෙ කියලයි. (1 තිමෝ. 2:9, 10) අපේ තීරණ අනිත් අයට බලපාන විදිහ ගැන අපි හිතයි කියලත් ඔහු බලාපොරොත්තු වෙනවා. (1 කොරි. 10:31-33) යෙහෝවා දෙවි හිතන විදිහ තේරුම් අරගෙන ඒ අනුව තීරණ ගද්දී අපි පෙන්නන්නේ දෙවිගේ පාලනයට අපි කැමැත්තෙන්ම සහය දෙනවා කියලයි.

තීරණ ගන්න වෙද්දී, පවුලේ කාරණාවලදී ඔයා පක්ෂ දෙවිගේ පාලනයටයි කියලා පෙන්නන්න (16-18 ඡේද බලන්න)

17, 18. දෙවිගේ පාලනයට පක්ෂයි කියලා විවාහක අයට පෙන්නන්න පුළුවන් කොහොමද?

17 තමන් සහය දෙන්නේ දෙවිගේ පාලනයටයි කියලා විවාහක යුවළකට පෙන්නන්න පුළුවන් විදිහක් දැන් බලමු. සමහරවිට කෙනෙක්ගේ විවාහ ජීවිතය හිතපු තරම් සුන්දර නොවෙන්න පුළුවන්. දෙන්නා අතරේ බරපතළ ප්‍රශ්න තියෙනවා වෙන්නත් පුළුවන්. එහෙමනම් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟට සලකපු විදිහ ගැන හිතන එක එයාලට උදව් වෙයි. තමන්ගේ සෙනඟට තමන් ස්වාමිපුරුෂයෙක් වගේ කියලයි දෙවි කිව්වේ. (යෙසා. 54:5; 62:4) දෙවි එහෙම සැලකුවත් ඊශ්‍රායෙල්වරු හුඟක් අවස්ථාවලදී වැඩ කළේ දෙවිගේ බලාපොරොත්තු කඩ වෙන විදිහට. ඒ නිසා එයාලා අතරේ තිබුණ බැඳීම ප්‍රශ්න පිරුණ පවුල් ජීවිතයක් වගේ කියලා කියන්න පුළුවන්. ඒත් යෙහෝවා දෙවි එයාලව අත්හරින්න ඉක්මන් වුණේ නැහැ. ඒ වෙනුවට එයාලට ආයේ ආයේ සමාව දුන්නා. දෙවි එයාලට දුන්න පොරොන්දු රැක්කා.—ගීතාවලිය 106:43-45 කියවන්න.

18 යෙහෝවා දෙවිට ආදරේ කරන විවාහක යුවළයන් උත්සාහ කරන්නේ දෙවිව ආදර්ශයට ගන්න. විවාහ ජීවිතේ ප්‍රශ්න ආවම බයිබල් ප්‍රතිපත්ති කඩ කරලා දික්කසාද වෙන්න එයාලා හදන්නේ නැහැ. යෙහෝවා දෙවි විවාහ පොරොන්දුව බැරෑරුම් දෙයක් විදිහට සලකනවා කියලත් යුවළක් වෙන් නොවී ඉඳියි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා කියලත් එයාලා මතක තියාගන්නවා. කෙනෙක්ට තමන්ගේ සැමියාව, බිරිඳව දික්කසාද කරලා ආයෙත් විවාහ වෙන්න අවසර තියෙන්නේ දෙන්නාගෙන් එක් කෙනෙක් අනාචාරයේ යෙදුණොත් විතරයි. (මතෙ. 19:5, 6, 9) තමන්ගේ විවාහය රැකගන්න පුළුවන් හැම දේම කරනවා නම් යුවළක් දෙවිගේ පාලනයට සහය දෙනවා කියන්න පුළුවන්.

19. අපි අතින් වරදක් වුණොත් අපි කරන්න ඕනෙ මොනවද?

19 පාපය උරුම වෙලා තියෙන නිසා සමහර වෙලාවලදී අපි අතින් දෙවිගේ හිත රිදෙන දේවල් වෙනවා. දෙවි ඒක දන්නවා. යේසුස්ගේ ජීවිත පූජාව ඔහු අපි වෙනුවෙන් දුන්නේ ඒ නිසයි. අපි අතින් වරදක් වුණාම අපි දෙවිගෙන් සමාව ඉල්ලන්න ඕනේ. (1 යොහ. 2:1, 2) වෙච්ච වරද ගැන තමන්ටම දොස් කියකිය ඉන්නවා වෙනුවට ඒ වරදින් පාඩමක් ඉගෙනගන්න. අපි යෙහෝවා දෙවිට ළං වෙලා ඉන්නවා නම් දෙවි අපිට සමාව දෙනවා. බිඳුණ හිත සනසනවා. ඒ වරද ආයේ නොකර ඉන්න ඔහු අපිට උදව් කරනවා.—ගීතා. 103:3.

20. අපි දැන් දෙවිගේ පාලනයට සහය දෙන්න ඕනෙ ඇයි?

20 පාරාදීසයේදී හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ දෙවිගේ පාලනය යටතෙයි. එදාට හැමෝම දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ගැන ඉගෙනගන්නවා. (යෙසා. 11:9) දැනුත් අපිට පුළුවන් දෙවි කාරණා ගැන හිතන විදිහ, දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේවල් ඉගෙනගන්න. දෙවිගේ පාලනයට විරුද්ධ වෙන අය විනාශ වෙන දවස අත ළඟයි. ඒ නිසා අපි පක්ෂ දෙවිගේ පාලනයටයි කියලා ඔප්පු කරන්න කාලේ දැනුයි. දෙවිට කීකරු වෙලා, උද්‍යෝගයෙන් ඔහුට සේවය කරලා, ජීවිතේ හැම කාරණයකදීම ඔහුව ආදර්ශයට අරන් අපි සහය දෙන්නේ දෙවිගේ පාලනයටයි කියලා පෙන්නමු.