Skip to content

පටුනට යන්න

යේසුස් අසනීපයෙන් හිටිය පේතෘස්ගේ නැන්දම්මාව සුව කළා.—මතෙව් 8:14, 15; මාක් 1:29-31

ක්‍රිස්තියානි දේව සේවකයන්ට විවාහ වෙන්න බැරිද?

ක්‍රිස්තියානි දේව සේවකයන්ට විවාහ වෙන්න බැරිද?

අවිවාහකව ජීවත් වෙන එක ඒ කියන්නේ බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කරන එක බෞද්ධ, කතෝලික, ඕතඩොක්ස් වගේ හුඟක් ආගම්වල ඉන්න පූජකයන්ට සහ ආගමික නායකයන්ට අනිවාර්ය දෙයක්. ගොඩක් අය හිතන්නේ මෑතක ඉඳලා ආගමික නායකයන් අතින් වෙන ලිංගික අපචාර ප්‍රමාණය වැඩි වෙන්න මේ දේ හේතු වෙලා තියෙනවා කියලයි.

ඇත්තටම ක්‍රිස්තියානි දේව සේවකයන්ට බඳින්න එපා කියලා බයිබලයේ කියලා තියෙනවාද? මුලින්ම ඒ වගේ ඉගැන්වීමක් ආවේ කොහෙන්ද කියලත් දෙවියන් බයිබලයේ ඒ ගැන කියලා තියෙන්නේ මොකක්ද කියලත් අපි බලමු.

ඒ ඉගැන්වීම ආරම්භ වුණේ කොහොමද?

බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කරනවා කියන්නේ මොකක්ද කියලා එක් විශ්වකෝෂයක මේ විදිහට පැහැදිලා කරලා තියෙනවා. “බ්‍රහ්මචාරී කියන වචනය හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ ආගමට තමන්ගේ ජීවිත කැප කරලා තියෙන අය ගැන කතා කරද්දියි. ඒකට කෙනෙක් විවාහ නොවී සිටීම වගේම ලිංගික සම්බන්ධකම්වලින් වැළකී සිටීමත් ඇතුළත් වෙනවා.” (Encyclopædia Britannica) 2006දී 16වන බෙනඩික් පාප්වරයා වතිකානුවේ දීපු කතාවකදී මෙහෙම කිව්වා. “දේව සේවකයන් අවිවාහකව ඉන්න එක යේසුස්ගේ ගෝලයන්ගේ කාලයේ ඉඳන්ම අනිවාර්ය දෙයක් හැටියට සැලකුවා.”

ඒත් පළවෙනි සියවසේ හිටිය ක්‍රිස්තියානීන් අතර ඒ වගේ නීතියක් තිබුණේ නැහැ. යේසුස්ගේ අනුගාමිකයෙක් වුණ පාවුල් පවා ‘විවාහය තහනම් කිරීම’ වගේ ‘මුළා කරවනසුලු අදහස්’ ඉදිරිපත් කරන අයගෙන් පරෙස්සම් වෙන්න කියලා කිව්වා.—1 තිමෝති 4:1-3.

දේව සේවකයන් අවිවාහකව ඉන්න ඕනෙ කියන අදහස බටහිර ලෝකයේ ක්‍රිස්තියානි පල්ලිවලට ඇතුල් වෙන්න පටන්ගත්තේ 2වෙනි සියවසේදී. රෝම අධිරාජ්‍යයේ පනවපු නීතිවලත් “ආගමික නායකයන් ලිංගික සම්බන්ධකම්වලින් වැළකිය යුතුයි” කියන එක සඳහන් වෙලා තිබුණා.—Celibacy and Religious Traditions.

පූජකයෙක් කරන පරිශුද්ධ සේවයට ලිංගික සම්බන්ධකම් පැවැත්වීම සුදුසු නැති දෙයක් කියලා 2වෙනි සියවසෙන් පස්සේ කාලවලදීත් පල්ලිවල නායකයන් කිව්වා. ඒත් “10වන සියවස වෙද්දීත් හුඟක් පූජකයන්ට සහ බිෂොප්වරුන්ට භාර්යාවන් හිටියා” කියලා එක විශ්වකෝෂයක සඳහන් වෙනවා.—Encyclopædia Britannica.

රෝමයේ ලැටරන් මණ්ඩලය 1123දී සහ 1139දී පැවැත්වූ රැස්වීම්වලදී පූජකයන් අවිවාහකව ඉන්න ඕනෙ කියන දේ අනිවාර්යය කළා. අදටත් කතෝලික පූජකයන් ඒ නීතිය පිළිපදිනවා. පූජකයන් විවාහ වුණොත් එයාලාගේ දරුවන්ට පල්ලියේ දේපළ, මුදල් අයිති වෙන එක නවත්තන්න ඒ නීතිය නිසා පුළුවන් වුණා.

ඒ ගැන දෙවියන් කියන්නේ මොකක්ද?

දේව සේවකයන් විවාහ වෙන එක වැරදිද නැද්ද කියලා බයිබලයේ සඳහන් දේවල්වලින් අපිට දැනගන්න පුළුවන්. “ස්වර්ග රාජ්‍යය වෙනුවෙන් සේවය” කරන්න හිතාගෙන තමන් වගේ විවාහ නොවී හිටපු අය ගැන යේසුස් කතා කළා. (මතෙව් 19:12) ඒ වගේම “ශුභාරංචිය වෙනුවෙන්” තමන් වගේ තනිකඩව ඉන්න තීරණය කරපු ක්‍රිස්තියානීන් ගැන පාවුල් පවා කතා කරලා තිබුණා.—1 කොරින්ති 7:37, 38; 9:23.

ඒත් දෙවියන්ට සේවය කරන කෙනෙක් අවිවාහකව ඉන්න ඕනෙමයි කියලා යේසුස්වත් පාවුල්වත් නීතියක් දැම්මේ නැහැ. තනිකඩව ඉන්න එක “දීමනාවක්” වුණත් හැමෝටම තනිකඩව ඉන්න බැහැ කියලා යේසුස් කිව්වා. ඒ වගේම පාවුල් ‘අවිවාහකව’ ඉන්න කියලා උනන්දු කෙරුවත් එහෙම ඉන්න කියලා “ආඥාවක් මට ස්වාමීන්ගෙන් ලැබී නැත” කියලත් කිව්වා.—මතෙව් 19:11; 1 කොරින්ති 7:25.

යේසුස්ගේ නියෝජිතයෙක් වුණ පේතෘස් වගේ පළවෙනි සියවසේ හිටපු දෙවිගේ සේවකයන් හුඟදෙනෙක් විවාහක අය කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 8:14; මාක් 1:29-31; 1 කොරින්ති 9:5) රෝම අධිරාජ්‍යය පුරාම දුරාචාරය පැතිරිලා තිබුණ නිසා සභාව රැකබලා ගන්න දේව සේවකයෙක්ට “සිටිය යුත්තේ එක් භාර්යාවක් පමණි” කියලා පාවුල් කිව්වා. ඒ වගේම දරුවන් එයාලාට “යටත් වෙමින් ගෞරවනීයව හැසිරෙන අය” වෙන්න ඕනෙ කියලත් එයා කිව්වා.—1 තිමෝති 3:2, 4.

විවාහ වුණත් ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැතුව ඉන්න එක ගැන නෙමෙයි පාවුල් එතන කතා කළේ. මොකද පාවුල් මෙහෙමත් කිව්වා. “ස්වාමිපුරුෂයා සහ භාර්යාව අඹුසැමියන් ලෙස එකිනෙකාගේ අවශ්‍යතා ඉටු කර දිය යුතුයි.” (1 කොරින්ති 7:3-5) දේව සේවකයන් අනිවාර්යයෙන්ම අවිවාහකව ඉන්න ඕනෙ කියන එක දෙවියන්ගේ නීතියක් නෙමෙයි කියලා පැහැදිලියි.

ශුභාරංචිය වෙනුවෙන් විවාහ නොවී සිටීම

තනිකඩව ඉන්න එක අනිවාර්ය දෙයක් නෙමෙයි නම් යේසුස් සහ පාවුල් ඒකේ හොඳ පැති ගැන කතා කළේ ඇයි? මොකද විවාහ වෙන අයට තියෙන අභියෝග සහ වගකීම්වලින් තනිකඩ අය නිදහස්. ඒ නිසා එයාලාට වැඩි සේවයක් කරන්න අවස්ථාව ලැබෙනවා.—1 කොරින්ති 7:32-35.

ඩේවිඩ්ට මෙක්සිකෝවේ හොඳ රස්සාවක් තිබුණා. ඒත් එයා රස්සාවෙන් අයින් වෙලා කොස්ටාරිකාවල දුෂ්කර පළාතකට ගිහින් බයිබලය ගැන අනිත් අයට කියලා දෙන්න තීරණය කළා. ඩේවිඩ්ට මේ වගේ තීරණයක් ගන්න තනිකඩව හිටපු එක උදව් වුණාද? එයා මෙහෙම කියනවා. “දුෂ්කර පළාතක ජීවිතයට හුරු වෙන එක අමාරුයි. ඒත් මං තනිකඩ කෙනෙක් නිසා ඒ ජීවිතේට හැඩගැහෙන එක ලේසි වුණා.”

ක්ලොඩියාත් තනිකඩ කෙනෙක්. දෙවියන් ගැන අනිත් අයට කියලා දෙන්න එයාත් දුෂ්කර පළාතකට ගියා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “දෙවියන්ට සේවය කරන එක ලොකු සතුටක්. දෙවියන් මාව බලාගන්න විදිහ දැක්කාම මගේ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. දැන් මං ඉස්සරට වඩා දෙවියන්ට ළං වෙලා.”

“බැන්ඳත් නැතත් උපරිමයෙන් යෙහෝවා දෙවියන්ට සේවය කරනවා නම් අපිට සතුටින් ඉන්න පුළුවන්.”—ක්ලොඩියා

ඒත් අකමැත්තෙන් තනිකඩව ඉන්න තීරණය කරන්න ඕනෙ නැහැ. ක්ලොඩියා වඩා වැදගත් දේ මොකක්ද කියලා තේරුම්ගත්තා. එයා මෙහෙම කියනවා. “බැන්ඳත් නැතත් උපරිමයෙන් යෙහෝවා දෙවියන්ට සේවය කරනවා නම් අපිට සතුටින් ඉන්න පුළුවන්.”—ගීතාවලිය 119:1, 2.