Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | අපේ ජීවිතවලට බලපාන අසරුවන් හතරදෙනෙක්

අසරුවන් හතරදෙනා කවුද?

අසරුවන් හතරදෙනා කවුද?

බයිබලයේ සඳහන් අසරුවන් හතරදෙනා ගැන කියවද්දී කුතුහලයක් බයක් දැනුණත් ඒ ගැන ඇත්තටම බය වෙන්න ඕනෙ නැහැ. මොකද බයිබලයත් මෑත අවුරුදුවලදී ලෝකේ සිද්ධ වුණු සිද්ධීනුත් හොඳට අධ්‍යයනය කළොත් ඒ එක් එක් අසරුවාගෙන් නියෝජනය වෙන දේ තේරුම්ගන්න පුළුවන්. ඒ අසරුවන්ගෙන් පෙන්වන්නේ පොළොවේ සිද්ධ වෙන විපත්ති වුණත් ඒ අනාවැකියේ ඔයාටත් පවුලේ අයටත් බලපාන ශුභාරංචියක් ඇතුළත්. එහෙම වෙන්නේ කොහොමද? මුලින්ම අසුරුවන් හතරදෙනාගෙන් නියෝජනය වෙන දේ බලමු.

සුදු අශ්වයා පිට යන අසරුවා

දර්ශනය පටන්ගන්නේ මෙහෙමයි. “බලන්න, මම සුදු පැහැති අශ්වයෙකු දුටුවෙමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාට දුන්නක් තිබිණ. ඔටුන්නක්ද ඔහුට දෙන ලදි. ජය අත් කරගැනීමට පිටත් වූ ඔහු, සම්පූර්ණ ජයග්‍රහණයක් ලැබුවේය.”—එළිදරව් 6:2.

සුදු අශ්වයා පිට යන්නේ කවුද කියලා එළිදරව් පොතෙන්ම හොයාගන්න පුළුවන්. ඒකේ ඔහුව “දෙවිගේ වචනය” විදිහට හඳුන්වලා තියෙනවා. (එළිදරව් 19:11-13) බයිබලයේ වචනය කියන යෙදුමෙන් හඳුන්වලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ව. ඒ ඔහු දෙවියන් වෙනුවෙන් කතා කරන කෙනා නිසයි. (යොහන් 1:1, 14) “රජවරුන්ගේ රජු,” “ස්වාමිවරුන්ගේ ස්වාමියා,” “විශ්වාසවන්ත හා සැබෑ කෙනෙකු” විදිහටත් ඔහුව හඳුන්වලා තියෙනවා. (එළිදරව් 19:16) යුද්ධයට සැරසී ඉන්න රජෙක් විදිහට කටයුතු කරන්න තරම් අධිකාරියක් යේසුස්ට තියෙනවා කියලා ඒකෙන් පැහැදිලියි. ඔහු ඒ බලය යොදාගෙන කිසිම දූෂිත දෙයක් කරන්නේ නැහැ.

සටන් කරලා ජය ගන්න යේසුස්ට බලය දුන්නේ කවුද? (එළිදරව් 6:2) දානියෙල් කියන අනාගතවක්තෘවරයා යේසුස්ව ‘මනුෂ්‍ය පුත්‍රයෙකුගෙන්’ නියෝජනය වෙන දර්ශනයක් දැක්කා. ඒකෙදී යේසුස්ට ‘රාජ්‍යයත් බලයත් ගෞරවයත්’ දුන්නේ “පුරාතන තැනැත්තා” වන යෙහෝවා දෙවියනුයි. * (දානියෙල් 7:13, 14) ඒ නිසා පාලනය කරන්නත් විනිශ්චය කරන්නත් යේසුස්ට බලය දෙන්නේ විශ්වයේ අධිපති වන දෙවියන් කියලා පැහැදිලියි. යේසුස් සුදු අශ්වයෙක් පිට නැඟ යන එකත් හොඳින්ම ගැළපෙනවා. සුදු අශ්වයාගෙන් නියෝජනය වෙන්නේ යුක්තිය වෙනුවෙන් කරන ධර්මිෂ්ඨ යුද්ධයයි. මොකද බයිබලයේ නිතරම වගේ සුදු පාටින් නියෝජනය කරන්නේ ධර්මිෂ්ඨකමයි.—එළිදරව් 3:4; 7:9, 13, 14.

ඒ අසරුවන් ගමන පටන්ගත්තේ කවදද? පළවෙනි අසරුවා වුණු යේසුස් ගමන පටන්ගත්තේ ඔහුට ඔටුන්න ලැබුණට පස්සෙයි. (එළිදරව් 6:2) යේසුස්ට ස්වර්ගයේ රජකම ලැබුණේ කවදද? නැවත නැඟිටලා ස්වර්ගයට ගිය ගමන්ම ඔහුට රජකම ලැබුණේ නැහැ. ඔහුට කාලයක් බලන් ඉන්න වුණා. (හෙබ්‍රෙව් 10:12, 13) ඔහුගේ පාලනය පටන්ගන්න කාලය ගැන දැනගන්න යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට යම් තොරතුරු වගයක් දුන්නා. ඔහු කිව්වේ ඔහුගේ පාලනය පටන්ගත්තම ලෝකයේ තත්වය වෙන කවදාවත් නොවුණු විදිහට නරක අතට හැරෙනවා කියලයි. යුද්ධ, සාගත, වසංගත ඇති වෙනවා කියලා ඔහු කිව්වා. (මතෙව් 24:3, 7; ලූක් 21:10, 11) 1914 පළවෙනි ලෝක මහා යුද්ධය පටන්ගන්නවත් එක්කම මිනිසුන් ඒ දුෂ්කර කාල පරිච්ඡේදයට ඇතුල් වුණා. බයිබලයේ ඒ කාලය හඳුන්වන්නේ ‘අවසාන කාලය’ කියලයි.—2 තිමෝති 3:1-5.

ඒත් යේසුස් 1914 රජ වුණාට පස්සෙත් පොළොවේ තත්වය එන්න එන්නම නරක අතට හැරුණේ ඇයි? යේසුස් ඔහුගේ පාලනය පටන්ගත්තේ ස්වර්ගයේ මිසක් පොළොවේ නෙවෙයි. ඔහු රජ වුණු ගමන්ම ස්වර්ගයේ යුද්ධයක් ඇති වුණා. මිකායෙල් විදිහටත් හඳුන්වන යේසුස් සාතන්වත් භූතයන්වත් පොළොවට හෙළුවා. (එළිදරව් 12:7-9, 12) තමන්ට ඉතිරි වෙලා තියෙන්නේ ටික කාලයයි කියලා දන්න නිසා එදා ඉඳන් සාතන් ඉන්නේ පුදුම කේන්තියකින්. ළඟදීම දෙවියන් තමන්ගේ කැමැත්ත ඉටු වෙන්න සලස්වමින් සාතන්ට විරුද්ධව ක්‍රියා කරන්න පටන්ගන්නවා. (මතෙව් 6:10) අපි ඉන්නේ ‘අවසාන කාලයේ’ කියලා අනිත් අසරුවන් තුන්දෙනාගෙනුත් පැහැදිලි වෙන්නේ කොහොමද කියලා දැන් බලමු. පළවෙනි අසරුවාගෙන් යම් කෙනෙක්ව නියෝජනය වුණත් අනිත් අසරුවන් තුන්දෙනාගෙන් නියෝජනය වෙන්නේ ලෝකේ පුරා සිද්ධ වෙන යම් සිද්ධීන් විතරයි.

රතු අශ්වයා පිට යන අසරුවා

“තවත් අශ්වයෙක් එනම්, ගිනි පැහැති අශ්වයෙක් පිටතට ආවේය. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාට පොළොවෙන් සාමය තුරන් කිරීමට අවසර දෙන ලදි. එහෙයින් මිනිස්සු එකිනෙකාව මරා දමනු ඇත. මහත් කඩුවක්ද ඔහුට දෙන ලදි.”—එළිදරව් 6:4.

මේ අසරුවාගෙන් නියෝජනය වෙන්නේ යුද්ධ. ඔහු මුළු පොළොවෙන්ම සාමය තුරන් කරනවා. මිනිස් ඉතිහාසයේ පළවෙනි වතාවට 1914දී ලෝක යුද්ධයක් ඇති වුණා. ඊටපස්සේ ඇති වුණු දෙවෙනි ලෝක මහා යුද්ධය ඊටත් වඩා දරුණුයි. 1914 ඉඳන් ඇති වුණු යුද්ධවලින් මිනිසුන් මිලියන 100කටත් වඩා මැරිලා තියෙනවා. තවත් විශාල පිරිසක් දරුණු විදිහට තුවාල වුණා.

යුද්ධ නිසා අද කොයි තරම් භයානක තත්වයක් ඇති වෙලා තියෙනවද කියනවා නම් ඉතිහාසයේ පළවෙනි වතාවට පොළොවේ ඉන්න හැම මිනිසෙක්වම මරලා දාන්න පුළුවන් හැකියාවක් දැන් මිනිසුන්ට තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ සාමය ඇති කරන්න බිහි වුණු බලවත් සංවිධානවලටවත් රතු අශ්වයා පිට යන අසරුවාගේ ගමන නවත්වන්න පුළුවන් වෙලා නැහැ.

කලු අශ්වයා පිට යන අසරුවා

“කලු පැහැති අශ්වයෙකු මම දුටුවෙමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තා අතේ තරාදියක් තිබිණ. එවිට මට හඬක් ඇසිණ. එය ජීවීන් හතරදෙනා අතරින් පැමිණි හඬක් මෙන් විය. ඒ හඬ, “තිරිඟු කිලෝ එකක් ඩිනාරියකි. බාර්ලි කිලෝ තුනක් ඩිනාරියකි. ඔලීව තෙල්වලටත් වයින්වලටත් අනතුරක් නොකරන්න” කියා පවසනවා මට ඇසිණ.”—එළිදරව් 6:5, 6.

මේ අසරුවාගෙන් නියෝජනය වෙන්නේ සාගත. බයිබල් පදවල කියන විදිහට කෑම මොන තරම් හිඟ වෙනවද කියනවා නම් තිරිඟු කිලෝ එකක් ගන්න ඩිනාරියක් (පළවෙනි සියවසේ පුද්ගලයෙකුට දවසකට ලැබෙන වැටුප) ගෙවන්න වෙනවා. (මතෙව් 20:2) තිරිඟු තරම්වත් වටින්නේ නැති බාර්ලි කිලෝ තුනක් ගන්නත් ඒ මුදලම ගෙවන්න වෙනවා. පවුලකට බඩගින්න නිවාගන්න ඒවා ප්‍රමාණවත් වෙයිද? ඔලීව තෙල්, වයින් ඇතුළු ඒ කාලයේදී එදිනෙදා කෑමට ගැනුණු දේවලුත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා අනතුරු අඟවලා තිබුණා.

1914 ඉඳන් මේ දක්වා වෙලා තියෙන දේවල් දිහා බලද්දී කලු අශ්වයා පිට යන අසරුවා ගමන අරඹලා කියලා පැහැදිලියි. උදාහරණෙකට 20වෙනි සියවසේදී විතරක් සාගත නිසා මිනිසුන් මිලියන 70ක් විතර මිය ගියා. වාර්තාවකට අනුව “2012ත් 2014ත් අතර කාලයේදී මිනිසුන් මිලියන 805ක් ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් නවයෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළිලා තියෙනවා.” තව වාර්තාවක මෙහෙම සඳහන් වෙනවා. “ඒඩ්ස්, මැලේරියාව, ක්ෂය රෝගය කියන වසංගත නිසා මැරිලා තියෙන ගාණට වඩා වැඩිදෙනෙක් බඩගින්න නිසා මැරිලා තියෙනවා.” හැමෝටම ඇති තරම් කෑම දෙන්න මොන තරම් වෑයමක් දරලා තිබුණත් කලු අශ්වයා පිට යන අසරුවාව නතර කරන්න කාටවත් පුළුවන් වෙලා නැහැ.

සුදුමැලි අශ්වයා පිට යන අසරුවා

“සුදුමැලි අශ්වයෙකු මම දුටුවෙමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාගේ නම මරණයයි. මිනී වළද ඔහු පසුපසින්ම ගියේය. පොළොවෙන් හතරෙන් කොටසක් කෙරෙහි තම අණසක පැතිරවීමට ඔවුන්ට අවසර දෙන ලදි. එසේ කළේ දිග කඩුවකින්ද ආහාර හිඟකමින්ද මාරාන්තික වසංගතයෙන්ද පොළොවේ වනසතුන් ලවාද මිනිසුන්ව මරා දැමීමටය.”—එළිදරව් 6:8.

හතරවෙනි අසරුවාගෙන් නියෝජනය වෙන්නේ වසංගත ඇතුළු වෙනත් හේතුන් නිසා මිනිසුන්ට අත් වන මරණය. 1914න් පස්සේ ඇති වුණු ස්පාඤ්ඤ උණ නිසා මිලියන ගාණක් මැරුණා. මිලියන 500කට විතර ඒ කියන්නේ ඒ කාලේ ජීවත් වුණු හැම තුන්දෙනෙක්ගෙන්ම එක් කෙනෙක්ට ඒ වසංගතය බෝ වෙලා තියෙනවා.

ස්පාඤ්ඤ උණ කියන්නේ පටන්ගැන්ම විතරයි. වසූරිය නිසා 20වෙනි සියවසේදී මිනිසුන් මිලියන සිය ගාණක් මැරුණා. අදටත් ඒඩ්ස්, ක්ෂය රෝගය, මැලේරියාව වගේ වසංගත නිසා මිනිසුන් මිලියන ගාණක් මැරෙනවා.

යුද්ධ, සාගත, වසංගත යන හේතු තුනේම අවසන් ප්‍රතිඵලය මරණයයි. මේ හේතුන් නිසා මැරෙන අයව මිනී වළ ගිලගන්නේ කිසිම අනුකම්පාවක් නැතුව.

යහපත් කාලයක් ළඟදීම!

මේ ප්‍රශ්න ගැටලු පිරුණු කාලය ළඟදීම අවසන් වෙනවා. 1914දී “ජය අත් කරගැනීමට පිටත්” වුණු යේසුස් සාතන්ව පොළොවට හෙළුවත් ඒක සම්පූර්ණ ජයග්‍රහණයක් නෙමෙයි. (එළිදරව් 6:2; 12:9, 12) ළඟදීම සිදු වන හර්–මගෙදොන් යුද්ධයේදී යේසුස් සාතන්ගේ හැම බලපෑමක්ම නැති කරලා ඔහුගේ පැත්තේ ඉන්න මිනිසුන්වත් විනාශ කරනවා. (එළිදරව් 20:1-3) යේසුස් අනිත් අසරුවන්ගේ ගමන නතර කරනවා වගේම ඒ අසරුවන් නිසා ඇති වුණු හැම නරක දෙයක්ම හොඳ අතට හරවනවා. ඒ කොහොමද? ඒ ගැන බයිබලයේ කියන දේ බලන්න.

යුද්ධය වෙනුවට සාමය. යෙහෝවා දෙවියන් ‘පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්වනවා. දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමනවා.’ (ගීතාවලිය 46:9) සාමයට ළැඳි මිනිසුන් ‘දසත පැතිරිලා තියෙන සාමය නිසා මහත් සේ ප්‍රීති වෙනවා.’—ගීතාවලිය 37:11.

සාගතය වෙනුවට හැමෝටම ඇති තරම් කෑම. “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.”—ගීතාවලිය 72:16.

ළඟදීම යේසුස් අනිත් අසරුවන් තුන්දෙනා නිසා ඇති වෙන හැම හානියක්ම හොඳ අතට හරවනවා

වසංගත, මරණය වෙනුවට හැමෝටම නිරෝගීව සදහටම ජීවත් වෙන්න ලැබෙනවා. ‘දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමනවා. මරණයද තවත් නැහැ. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නැහැ.’—එළිදරව් 21:4.

යේසුස් පොළොවේ හිටපු කාලෙදී ඔහුගේ පාලනය යටතේ කරන්න යන දේවල් සුළු ප්‍රමාණයක් කරලා පෙන්නුවා. ඔහු සාමය ඇති කළා. දහස් ගණනකට කන්න දුන්නා. අසනීප සුව කළා. මැරුණු අයට ආයෙත් ජීවිතය දුන්නා.—මතෙව් 12:15; 14:19-21; 26:52; යොහන් 11:43, 44.

අසරුවන් හතරදෙනාගේ ගමන අවසන් වුණාම ඒකට ලෑස්ති වෙන්න පුළුවන් කොහොමද කියලා බයිබලයෙන්ම ඔයාට පෙන්වන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් ඉන්නවා. ඒ ගැන ඉගෙනගන්න කියලා අපි කරන ආරාධනය පිළිගන්න ඔයාත් කැමතිද?

^ 7 ඡේ. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.