Skip to content

පටුනට යන්න

ශරීරයට වධ දීමෙන් දෙවිට ළං විය හැකිද?

ශරීරයට වධ දීමෙන් දෙවිට ළං විය හැකිද?

බයිබලයෙන් පිළිතුරක්

ශරීරයට වධ දීමෙන් දෙවිට ළං විය හැකිද?

තමාගේම ශරීරයට වධ දීම හෝ හානි කරගැනීම බොහෝදෙනා හෙළාදකිනවා. නමුත් සමහර අය ශරීරයට කස පහරවල් ගසාගැනීමෙන්, නිරාහාරව සිටීමෙන් හා කොකු හෝ කටු වැනි දේවල් භාවිත කිරීමෙන් ශරීරයට වධ හිංසා කරගන්නවා. බොහෝ ආගම්වල අය සිතන්නේ ඉන් ඔවුන්ගේ භක්තිය පෙන්විය හැකි බවයි.

එක් පල්ලියක ප්‍රධානියෙක් මෙවැනි දෙයක් පැවසුවා. “අපිව පාපයෙන් නිදහස් කරගන්න යේසුස්ට විවිධ හිංසාවලට මුහුණ දෙන්න සිදු වුණා. අපිත් ඔහු හා සමාන හිංසා පීඩා විඳින්න කැමැත්තෙන්ම ඉදිරිපත් වීමෙන් යේසුස්ගේ අනුගාමිකයන් බව පෙන්වන්න පුළුවන්.” ඇත්තටම එය සත්‍යයක්ද? මේ ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද කියා බලමු.

ඔබේ ශරීරය රැකගන්න

තමන්ගේ ශරීරය හොඳින් රැකබලා ගන්න කියා බයිබලයේ උපදෙස් දෙනවා. උදාහරණයකට, බයිබලයේ මෙසේ පවසනවා. ‘ස්වාමිපුරුෂයන්ද තම ශරීර ගැන සැලකිලිමත් වෙනවා වගේ තම භාර්යාවන්ට ප්‍රේම කළ යුතුයි. මන්ද කිසි මිනිසෙක් කිසිදාක තමාගේම ශරීරයට වෛර කළේ නැත. ඒ වෙනුවට ඔහු තම ශරීරයට අවශ්‍ය පෝෂණය සහ සැලකිල්ල මහත් ආදරයකින් ලබා දෙයි.’—එෆීස 5:28, 29.

යෙහෝවා දෙවි බලාපොරොත්තු වන්නේ, ස්වාමිපුරුෂයෙක් තමාගේම ශරීරයට මෙන් තම භාර්යාවට ප්‍රේම කිරීම බව ඔබ දුටුවාද? එසේනම් මිනිසුන් තමන්ගේ ශරීරවලට හානි කරගැනීම දෙවි අනුමත කරයි කියා සිතන්න පුළුවන්ද?

තම ශරීරය රැකගැනීමට උපකාරවත් වන ප්‍රතිපත්ති රැසක් බයිබලයේ දැකගත හැකියි. උදාහරණයකට ව්‍යායාම් කිරීමෙන් අපේ ශරීරයට යම් ප්‍රයෝජන තිබෙන බව බයිබලයේ පවසනවා. (1 තිමෝති 4:8) ඒ වගේම ඖෂධීය ගුණයක් ඇති ආහාර වර්ග ගන්නත් ආහාර ගැන නොසැලකිලිමත් වීමෙන් ඇති විය හැකි හානි ගැනත් බයිබලයේ පෙන්වා දෙනවා. (හිතෝපදේශ 23:20, 21; 1 තිමෝති 5:23) එමෙන්ම ජීවිතය මොන තරම් වටිනවාද කියාත් එහි පෙන්නුම් කරනවා. (දේශනාකාරයා 9:4) ඒ අනුව බලන විට තම ශරීරය හා සෞඛ්‍යය රැකගන්න කියා උපදෙස් දෙන දෙවි, මිනිසුන් තම ශරීරයට වධ දීම අනුමත කරයිද?—2 කොරින්ති 7:1.

අනුගමනය කළ යුතු ආදර්ශය

සමහර අය පවසන්නේ යේසුස් වින්ද දුක් පීඩා තේරුම්ගැනීමට අපත් අපේ ශරීරයට වධ හිංසා දිය යුතු බවයි. නමුත් එම දුක් පීඩා යේසුස් හිතාමතාම ඇති කරගත් ඒවා නොවන බව මතක තබාගන්න. ඒවා බයිබලයේ සඳහන් කර තිබෙන්නේ හොඳ හේතුවක් ඇතුවයි. එනම් අන් අය අපට පීඩා කරන අවස්ථාවලදී යේසුස් පීඩා විඳදරාගත් ආකාරය ආදර්ශයට ගැනීමටයි. අනික් අතට කෙනෙක් තමන්ගේ ශරීරයට වධ හිංසා කරගන්නවා නම් ඔහු යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරනවා කියා කියන්න බැහැ.

එය අපි මෙසේ තේරුම්ගනිමු. මැර කල්ලියක් ඔබේ මිතුරෙකුට පහර දෙනවා. නමුත් ඔබේ මිතුරා එකට එක නොකර ඒ සියල්ල දරාගන්නවා. ඔබේ මිතුරාගේ ඒ ආදර්ශය අනුගමනය කරන්න ඔබ කැමති නම් කරන්නේ කුමක්ද? ඔබ ඔබටම පහර දීමෙන් එය කළ හැකිද? බැහැ. ඔබ එසේ කරනවා නම් ඔබ අනුගමනය කරන්නේ මැර කල්ලියේ කෲර ක්‍රියාව මිස ඔබේ මිතුරාගේ සන්සුන් ආදර්ශය නොවෙයි. අනික් අතට පීඩා එන අවස්ථාවලදී ඔබ සියල්ල දරා සිටිනවා නම් ඉන් පෙන්නුම් කරන්නේ ඔබේ මිතුරාගේ ආදර්ශය ඔබ අනුගමනය කරන බවයි.

ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු තමාගේම ශරීරයට හානි කරගැනීම දෙවි බලාපොරොත්තු වන දෙයක් නොවෙයි. කෙනෙක් එසේ කරනවා නම් ඔහු ඇත්තටම කරන්නේ යේසුස්ව මරණයට පත් කළ අයව අනුගමනය කිරීමයි. (යොහන් 5:18; 7:1, 25; 8:40; 11:53) ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයෙක් කළ යුතු දේ වන්නේ අන් අයගෙන් හිංසා පීඩා පැමිණියත් යේසුස් මෙන් ඉතා සන්සුන්ව ඒවාට මුහුණ දීමයි.—යොහන් 15:20.

දෙවි අනුමත නොකරන චාරිත්‍රයක්

තම ශරීරයට හානි කරගැනීම වැරදි බව යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතියේ සඳහන් කර තිබුණා. උදාහරණයකට ඊශ්‍රායෙල්වරුන් අවට සිටි ජාතීන්, ශෝකය ප්‍රකාශ කිරීමේ සිරිතක් ලෙස තමන්ගේ ශරීර කපාගත්තා. නමුත් ඒ සිරිත අනුගමනය නොකරන්න කියා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවා. (ලෙවී කතාව 19:28; ද්විතීය කතාව 14:1) ඉන් පැහැදිලි වන්නේ තමාගේම ශරීරයට කිසිම ආකාරකින් වධ හිංසා කිරීම දෙවි අනුමත නොකරන බවයි. ඒ වගේම එසේ කිරීම යේසුස් ඉගැන්වූ දේවලටද පටහැනියි.

මේ ගැන සිතන්න. චිත්‍ර ශිල්පියෙක් තමන්ගේ නිර්මාණවලට හානි වෙනවා දකින්න කැමති වෙයිද? නැහැ. ඒ හා සමානව යෙහෝවා දෙවිද තමන් නිර්මාණය කළ මිනිසුන් තම තමන්ගේ ශරීරවලට හානි කරගන්නවා දකින්න කැමති නැහැ. (ගීතාවලිය 139:14-16) ඇත්තටම හිතාමතා කෙනෙක් තම ශරීරයට වධ හිංසා කරගන්නවා නම් ඉන් සිදු වන්නේ දෙවිට ළං වීම නොව තව තවත් දෙවිගෙන් ඈත් වීමයි.

මිනිසුන් විසින් ඇති කරගත් ඉගැන්වීම් හා චාරිත්‍ර ගැන බයිබල් ලේඛකයෙක් වූ පාවුල් මෙසේ පැවසුවා. “ඒ අණපනත් වැදගත් වන්නේ මිනිසුන්ට පමණි. බැලූ බැල්මට එම අණපනත් රැකීම ඉතා ප්‍රඥාවන්ත දෙයක් ලෙස පෙනේ. මන්ද ඔවුහු තමන් විසින්ම සාදාගත් නමස්කාර පිළිවෙතක් අනුගමනය කරමින් නිහතමානිකම බොරුවට මවාපාමින් තම ශරීරයට නොයෙකුත් වධ හිංසා පමුණුවාගනිමින් කටයුතු කරති. නමුත් පව්කාර ආශාවන් පාලනය කිරීමට විරුද්ධව තිබෙන සටනට එයින් කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත.” (කොලොස්සි 2:20-23) මේ සියල්ල සලකා බැලීමෙන් පෙනී යන්නේ දෙවිට ළං වීම සඳහා තමන්ටම වධ හිංසා කරගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නොලැබෙන බවයි. අනික් අතට දෙවි අපෙන් බලාපොරොත්තු වන දේවල් කිරීම අපට අපහසු නැහැ. ඒවා කිරීමෙන් අපට සහනයක්ද ලබාගන්න පුළුවන්.—මතෙව් 11:28-30.

මේ ගැන ඔබ සිතුවාද?

● දෙවි මිනිස් ශරීරය සලකන්නේ කෙසේද?—ගීතාවලිය 139:13-16.

● ඔබේ ශරීරයට වධ හිංසා කරගැනීමෙන් වැරදි ආශාවන් පාලනය කරගත හැකිද?—කොලොස්සි 2:20-23.

● දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේවල් ඉටු කිරීම අපහසුද?—මතෙව් 11:28-30.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

තම ශරීරයට වධ හිංසා කරගැනීම දෙවි අනුමත නොකරන බව බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා

[10වන පිටුවේ පින්තූරය]

දේවස්ථානයක් වෙත දණින් ගමන් කරන බැතිමතෙක්

[හිමිකම් විස්තර]

© 2010 photolibrary.com