Skip to content

පටුනට යන්න

මුදල් පාලනය කරන්නේ කෙසේද?

මුදල් පාලනය කරන්නේ කෙසේද?

මුදල් පාලනය කරන්නේ කෙසේද?

ඔබේ අතට ලැබෙන මුදල් (1) වියදම් කිරීමට, (2) ඉතිරි කිරීමට හෝ (3) අන් අයට උපකාර කිරීමට යෙදවිය හැකියි.

ලෝක ආර්ථිකය බිඳ වැටීම අප සියලුදෙනාට බලපා ඇති නිසා ඥානවන්තව මුදල් පරිහරණය කිරීම ඉතා වැදගත්. ඒ සඳහා හොඳ අයවැයක් සකස් කිරීම අවශ්‍යයි. අයවැයක් යනු කුමක්ද? සරලව කියනවා නම්, ලැබෙන ආදායම වියදම් කරන්නේ කෙසේද කියා කල් ඇතුව කරන සැලසුමයි. අයවැයක් සකස් කිරීම තනිකඩයන්ට, පවුල්වලට, ව්‍යාපාරිකයන්ට පමණක් නොව රටක පරිපාලනයටත් අත්‍යවශ්‍යයි.

පවුලේ සැමට

අයවැයක් සකස් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ඇති පොතක මෙවැනි දෙයක් සඳහන් වුණා. “පවුලක වියහියදම් සඳහා අයවැයක් සකස් කිරීමට මුළු පවුලම දායක විය යුතුයි. එවිට පවුලේ එක් එක් කෙනාට ඒ සඳහා තිබෙන වගකීම ගැන දැනගත හැකි වන අතර ඊට දායක වීමෙන් ඔවුන්ට යම් සතුටක්ද ලැබෙනවා.”—Budgeting.

සමහර අය පරිගණකයක් භාවිත කරමින් අයවැයක් සකස් කරගන්නවා. තවත් අය කොළයක් ගෙන තීරු දෙකකට වෙන් කරගන්නවා. එක් තීරුවක් ආදායම සඳහා වන අතර අනික් තීරුව වියදම් සඳහා යොදනවා. ඒ වගේම මාසිකව කරන වියදම්වලට අමතරව අවුරුද්දකට වරක් ගෙවන බදු මුදල් හා වෙනත් වියදම් සඳහාද යම් මුදල් ප්‍රමාණයක් මාසිකව වෙන් කිරීම අවශ්‍යයි.

“ආහාර,” “ගෙවල් කුලී,” “ප්‍රවාහණය,” “ජල විදුලි බිල්” සහ “බෙහෙත්හේත්” වැනි දේවල් සඳහා යන මුදල් ප්‍රමාණයන් වෙන වෙනම ලියුම් කවරවල දමා තැබීම සාර්ථක බව බොහෝදෙනාගේ අද්දැකීමයි. තවත් සමහර අය තමන්ගේ ආදායම බැංකුවේ තැන්පත් කර අවශ්‍ය වේලාවට ගොස් අදාළ මුදල් ප්‍රමාණය ලබාගන්නවා.

දකුණු අප්‍රිකාවේ ජීවත් වන ජොනතන් සහ ඔහුගේ පවුලේ අය භාවිත කරන්නේ මුදල් ලියුම් කවරවල දමා වෙන් කර තැබීමේ ක්‍රමයයි. මුදල් විදයම් කිරීම ගැන ජොනතන් මෙවැනි අදහසක් ඉදිරිපත් කළා. “බැංකු ගිණුමක තැන්පත් කරන මුදල්වලින් වියදමට මුදල් ගැනීමේදී කල්පනාකාරී වෙන්න ඕනේ. ඔබ සකස් කළ අයවැයේ සඳහන් වන ප්‍රමාණයන් ඉක්මවා යන්න එපා. උදාහරණයකට මස් හෝ මාළු වෙනුවෙන් වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය මදි වුණොත් වෙනත් දෙයක් සඳහා වෙන් කරලා තියෙන මුදලින් ඒ අඩුව පුරවන්න උත්සාහ කරන්න එපා.”

කලින් ව්‍යාපාරයක් කරගෙන ගිය ජොනතන් සහ ඔහුගේ පවුලේ අය දැන් ස්වේච්ඡා සේවකයන්. ඒ නිසා ඔවුන්ගේ වියදම් ගැන ඔවුන් හුඟක් සැලකිලිමත්. විටින් විට ඔවුන් පවුලක් වශයෙන් එකතු වී අයවැය ගැන සාකච්ඡා කරන අතර වෙනසක් කිරීමට අවශ්‍ය වුවහොත් එයත් කරනවා.

දීමෙන් වැඩි සතුටක්

පර්යේෂණවලින් සොයාගෙන තිබෙන්නේ කෙනෙකුගේ කාලය, ශ්‍රමය වගේම යම් ප්‍රමාණයක මුදලක් අන් අය වෙනුවෙන් දීමෙන් වැඩි සතුටක් ලැබෙන බවයි. ඒ නිසා ඔබේ හැකියාවට අනුව අන් අය වෙනුවෙන් යම් මුදලක් වෙන් කිරීමට ඔබට හැකිදැයි කල්පනා කරන්න.

එක් පොතක මෙසේ සඳහන් වුණා. “වියදම් කිරීමට මුදල් ලැබෙන්නේ ඉතිරි කළොත් පමණයි. අනික් අතට ඔබේ මුදල්වලින් කළ හැකි වැදගත් දෙයක් වන්නේ අන් අය වෙනුවෙන් යමක් කිරීමයි. * ජීවිතයේ වටිනාම දේ වෙන්නේ මුදල්වත් දේපළවත් නෙවෙයි. එකිනෙකා සමඟ ඇති කරගන්නා කිට්ටු මිත්‍රත්වයයි.”—The New Frugality.

ආර්ථික විද්‍යාඥ මයිකල් වාග්නර් මෙවැනි දෙයක් පවසනවා. “නැති බැරි කෙනෙකුට යම් උපකාරයක් කළාම ඒකේ ප්‍රතිඵල ඔබට වෙනත් පැත්තකින් හරි ලැබෙනවා. ඒ වගේම යම් කෙනෙකුට උපකාර කිරීමෙන් සිතට දැනෙන සතුට මුදල්වලින් ලබන්න බැහැ.”

දීමෙන් ඉමහත් සතුටක් ලැබෙනවා. එය අලුතින් සොයාගත් දෙයක් නොවෙයි. මීට වසර ගණනාවකට ඉහතදී බයිබලයේ පවා අපට ඒ ගැන පවසා තිබෙනවා. මුදල් සම්බන්ධ කාරණාවලදී අදාළ කරගත හැකි බයිබල් ප්‍රතිපත්ති කිහිපයක් අපි ඊළඟ ලිපියෙන් දැනගනිමු.

[පාදසටහන]

^ 12 ඡේ. තෑග්ගක් දීම හෝ ආහාර වේලකට ආරාධනා කිරීම තුළින් අන් අය වෙනුවෙන් යමක් කළ හැකියි.