Skip to content

පටුනට යන්න

යොවුන් විය වැඩිහිටිවියට අත්තිවාරමක්!

යොවුන් විය වැඩිහිටිවියට අත්තිවාරමක්!

යොවුන් විය වැඩිහිටිවියට අත්තිවාරමක්!

ඔබ ආසියාවේ උෂ්ණාධික රටක සිට ඇන්ටාර්ක්ටිකාව වැනි සීත රටකට යනවා කියා සිතන්න. එහි ගොඩ බසින විටම දේශගුණයේ ලොකු වෙනසක් ඔබට දැනෙයි. සීත දේශගුණයට ඔබට ඉක්මනින් හැඩගැහෙන්නත් සිදු වෙයි.

ඔබේ දරුවා යොවුන් වියට එළඹෙන විටත් එවැනිම වෙනසක් ඔබට දකින්න ලැබෙයි. කලින් ඔබ ළඟ නිතර හුරතල් වෙවී සිටි පුතා දැන් ඔහුගේ මිත්‍රයන්ගේ ආශ්‍රය පතයි. ඒ වගේම දවසේ සියලු සිදුවීම් ඔබට පැවසීමට නොඉවසිල්ලෙන් සිටි දුව, දැන් ඔබ සමඟ එතරම් කිට්ටු මිත්‍රත්වයක් නැහැ කියා ඔබට සිතෙයි. උදාහරණයකට මෙවැනි සංවාදයක් ඔබ අතර ඇති විය හැකියි.

“දුව, අද පන්තියේ වැඩ කොහොමද?”

“වරදක් නැහැ.”

ඉන්පසු දරුවා නිහඬ වෙයි.

“මොනවද ඔච්චර කල්පනා කරන්නේ?”

“මුකුත් නැහැ.”

නැවතත් ඇය නිහඬ වෙයි.

සිදු වී තිබෙන්නේ කුමක්ද? ඒ ගැන එක් පොතක මෙවැනි අදහසක් පළ වුණා. ‘දරුවන්ගේ කුඩා කාලයේදී ඔවුන්ගේ ජීවිතයේ වැදගත්ම අය වුණේ දෙමාපියනුයි. නමුත් දැන් දෙමාපියන්ට ඒ තැන අහිමි වෙලා.’—Breaking the Code.

කොහොමවුණත් දරුවාට දිගටම ළං වී සිටීමට ඔබට හැකියි. නමුත් එසේ කිරීමට නම් ඔබ දරුවාව හොඳින් තේරුම්ගැනීම අවශ්‍යයි. ඊට හේතුව දරුවන් යෞවන වයසේ සිටින විට ඔවුන්ගේ හැඟීම්වල හා ශරීරවල ලොකු වෙනස්කම් සිදු වීමයි.

වැඩිහිටියෙකු වීමට අත්තිවාරමක්

කාලයක් පර්යේෂකයන් සිතුවේ අවුරුදු පහක් වන විට දරුවෙකුගේ මොළය සම්පූර්ණයෙන්ම වර්ධනය වී ඇති බවයි. නමුත් දැන් ඔවුන් පවසන්නේ එහි ප්‍රමාණය වෙනස් නොවුණත් ක්‍රියාකාරීත්වය වෙනස් වන බවයි. දරුවෙකු යොවුන් වියට පැමිණෙන විට ඔවුන්ගේ ශරීරයේ හෝමෝනවල විශාල වෙනස්කම් සිදු වෙනවා. ඒ නිසා ඔවුන් සිතන ආකාරයත් වෙනස් වෙනවා. උදාහරණයකට කුඩා කාලයේදී දරුවෙකුට කළ යුතු හා නොකළ යුතු දේ පමණක් පැවසීම ප්‍රමාණවත්. නමුත් යොවුන් වියට එළඹීමත් සමඟ එවැනි දේවල් පැවසීමෙන් ඔහු සෑහීමට පත් වන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු සෑම දේකටම හේතු සෙවීමට උත්සාහ කරනවා. (1 කොරින්ති 13:11) ඒ වගේම ඔවුන් හරියි කියා සිතන දෙයක් ගැන වාද කිරීමටද ඔවුන් පසුබට වන්නේ නැහැ.

ඉතාලියේ ජීවත් වන පාවුලෝ ඔහුගේ පුතා ගැන මෙසේ පැවසුවා. “මගේ පුතා දැන් පොඩි ළමයෙක් නෙමෙයි, යමක් කමක් තේරෙන ඉලංදාරියෙක්. මම එයාගේ දකින ලොකුම වෙනස එයාගේ පෙනුම නෙමෙයි එයා හිතන විදිහයි. හැම වෙලාවෙම එයා විශ්වාස කරන දේ හරියි කියලා පෙන්නන්න උත්සාහ කරනවා.”

ඔබේ දරුවාත් ඒ වගේද? ළදරු වියේදී ඔබ ඔහුට යම් දෙයක් කරන්න කියූ විට ඔහු ඔබට කීකරු වුණා. නමුත් දැන් ඔහු හැමදේටම හේතු අසනවා. සමහරවිට ඔබ ඉගැන්වූ හොඳ ප්‍රතිපත්ති ගැන පවා ඔහු ප්‍රශ්න කරනවා ඇති. එවිට දරුවා කැරලිගසනවා කියා ඔබට සිතෙන්න පුළුවන්.

නමුත් එසේ සිතන්න ඉක්මන් වෙන්න එපා. ඔහු ඔබෙන් ප්‍රශ්න අසන්නේ ඔබ කියා දෙන ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමට නොවෙයි. ඒ වෙනුවට ඔබ කියා දෙන හොඳ ප්‍රතිපත්ති තේරුම්ගැනීමට වෑයම් කරන නිසා විය හැකියි.

ඔබේ දරුවා වැඩිහිටියෙකු වී ඔබෙන් වෙන් වී යන දවසක් පැමිණෙනවා. (උත්පත්ති 2:24) ඒ දවස පැමිණෙන තෙක් දෙමාපියන් බොහෝ දේ ඔවුන්ට උගන්වනවා. කෙසේවෙතත් දෙමාපියන් තමන්ට උගන්වන දේවලින් තම ජීවිතයට අදාළ කරගන්නේ කුමන දේවල්ද කියා ඔහු තනිවම තීරණය කිරීමට පටන්ගන්නේ යොවුන් කාලයේදියි. *

කෙසේවෙතත් වැඩිහිටියෙක් වී තමන් කුමන ආකාරයක ජීවිතයක් ගත කරනවාද කියා අවසානයේදී තීරණය කරන්නේ ඔබේ දරුවායි. ඒ බව ඔබ අවබෝධ කරගත යුතුයි. ඒ නිසා ඉදිරියේදී ගැනීමට යන තීරණ ගැන තනිවම කල්පනා කර බැලීමට ඔහුට ඉඩ දෙන්න.—ක්‍රියා 17:11.

එසේ කිරීම ඔබේ දරුවාට බොහෝ ප්‍රයෝජන ගෙන දෙයි. උදාහරණයකට, ඔබ පවසන ඕනෑම දෙයක් ඔහු සිතන්නේ බලන්නේ නැතුව පිළිගන්නවා කියා සිතන්න. එසේ වුණොත් වෙන කෙනෙක් පවසන වැරදි දෙයක් වුණත් ඔහු ඒ ආකාරයටම පිළිගනියි. (නික්මයාම 23:2) එවැනි තරුණයෙකුව බයිබලයේ විස්තර කරන්නේ “අඥානයෙකු” ලෙසයි. (හිතෝපදේශ 7:7) අන් අයගේ කපටි උපාවලට හසු වන එවැනි කෙනෙක් හරියට සුළඟට ඒ මේ අත ගසාගෙන යන මුහුදේ රළ වගෙයි කියා බයිබලයේ සඳහන් වෙනවා.—එෆීස 4:14.

එවැනි දෙයක් ඔබේ දරුවාට සිදු වෙනවාට ඔබ කොහෙත්ම කැමති නැහැ. එසේනම් ඔබේ දරුවා වෙනුවෙන් ඔබට කළ හැක්කේ කුමක්ද? පහත සඳහන් පැති තුන ගැන සලකා බලන්න.

1 තේරුම්ගැනීමේ හැකියාව

තේරුම්ගැනීමේ හැකියාව ඇති කෙනෙකුට හරි වැරැද්ද පැහැදිලිව හඳුනාගැනීම පහසුයි. එවැනි කෙනෙකු කටයුතු කරන්නේ අවබෝධයෙනුයි. (හෙබ්‍රෙව් 5:14) ‘මගේ දරුවාට මම හරි වැරැද්ද මොකක්ද කියලා උගන්වලා තියෙනවානේ’ කියා ඔබට සිතෙන්න පුළුවන්. කුඩා කාලයේදී ඔබ දරුවාට ඉගැන්වූ දේවල් ඔහුට ප්‍රයෝජනවත් වුණ බව ඇත්තයි. (2 තිමෝති 3:14) නමුත් දැන් ‘තේරුම්ගැනීමේ හැකියාව ඇතුව කටයුතු කරන’ වැඩිහිටියෙකු වීමට ඔහුව පුහුණු කළ යුතුයි. (1 කොරින්ති 14:20; හිතෝපදේශ 1:4; 2:11) ඔබට අවශ්‍ය වන්නෙත් ඔබේ දුව හෝ පුතා වැඩිහිටියෙකු වූ පසුවත් පොඩි දරුවෙක් මෙන් වැඩ කරනවාට නොව බුද්ධිමත් ලෙස ක්‍රියා කරන වැඩිහිටියෙක් වෙනවා දකින්නයි. (රෝම 12:1, 2) එසේ වීමට දරුවාට උපකාර කරන්න පුළුවන් කොහොමද?

ඔබට එය කළ හැකි එක් ආකාරයක් වන්නේ දරුවා පවසන දේවලට හොඳින් සවන් දීමයි. බයිබලයේ පවසන්නේ “ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි. කෝප වීමටද ප්‍රමාද විය යුතුයි” කියායි. (යාකොබ් 1:19; හිතෝපදේශ 18:13) ඔබ හොඳින් සවන් දෙනවා නම් දරුවා සිතන ආකාරය දැනගැනීමට ඔබට හැකි වෙයි. යේසුස්ද පැවසුවේ “කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙය” කියායි. (මතෙව් 12:34)

ඒ වගේම ඔබ කතා කරන විට දරුවාගේ සිතේ තිබෙන දේ දැනගැනීම සඳහා ඔහුගෙන් විවිධ ප්‍රශ්න අසන්න. උතුම් ගුරුවරයා පවා මිනිසුන්ගේ සිතේ තිබෙන දේ දැනගැනීම සඳහා “ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද” යන ප්‍රශ්නය භාවිත කළා. (මතෙව් 21:23, 28) ඔබේ මතයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මතයක් දරුවාට තිබෙනවා විය හැකියි. එවැනි මතයක් දැරීමට හේතුව දැනගැනීම සඳහා ඔබට ඔහුගෙන් ප්‍රශ්න ඇසිය හැකියි. උදාහරණයකට මෙවැනි ප්‍රශ්නයක් අසන්න පුළුවන්.

දරුවා පැවසුවොත්: “දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න මට අමාරුයි.”

මෙසේ පවසන්න එපා: “දෙවි කෙනෙක් ඉන්නවා කියලා අපි ඔයාට පුංචි කාලේ ඉඳලාම කියලා දීලා තියෙනවා නේද? ඒ නිසා දෙවි කෙනෙක්ව සැක කරන්න ඔයාට කිසිම හේතුවක් නැහැ.”

මෙසේ පැවසිය හැකියි: “ඇයි ඔයාට එහෙම හිතෙන්නේ?”

දරුවාගෙන් ප්‍රශ්න ඇසිය යුත්තේ ඇයි? සමහරවිට ඔහු පවසන දේ ඔහු සිතන දේට වඩා වෙනස් වීමට ඉඩ තිබෙන නිසයි. (හිතෝපදේශ 20:5) දෙවි කෙනෙක්ව විශ්වාස නොකරනවා කියා දරුවා පැවසුවත් ඇත්තටම ඔහුගේ සිතේ තිබෙන්නේ දෙවි දී ඇති නීති හා ප්‍රතිපත්තිවලට කීකරු විය යුතුද යන ප්‍රශ්නය විය හැකියි.

උදාහරණයකට දෙවිගේ නීතියක් කඩ කිරීමට පෙලඹීමක් ඇති වන විට දරුවා එය මේ ආකාරයට සාධාරණීකරණය කිරීමට ඉඩ තිබෙනවා. ‘දෙවිගේ නීතිවලට කීකරු වෙන්න ඕනේ දෙවි කෙනෙක් ඉන්නවා නම් විතරයිනේ. දෙවි කෙනෙක් නැත්නම් මට කීකරු වෙන්න දෙයක් නැහැ.’—ගීතාවලිය 14:1.

දරුවා එසේ සිතනවා නම් ඔහුගෙන් මේ ප්‍රශ්නය ඇසීම සුදුසුයි. “දෙවි දීලා තියෙන නීතිවලින් ඔයාට යහපතක් වෙනවා කියලා ඔයා හිතනවාද?” (යෙසායා 48:17, 18) ඔහු ‘ඔව්’ කියා පැවසුවොත් දෙවි දී තිබෙන එම නීති ගැන ඔහු සතුටු විය යුත්තේ ඇයි කියා තේරුම්ගන්න ඔහුට උපකාර කරන්න.

දරුවා පැවසුවොත්: “මේක ඔයාලගේ ආගම වෙන්න පුළුවන්. ඒත් ඒක මම අදහන ආගම නෙවෙයිනේ.”

මෙසේ පවසන්න එපා: “ඔයා අපේ ළමයෙක්. ඒ නිසා ඔයා අදහන්න ඕනේ අපේ ආගමයි.”

මෙසේ පැවසිය හැකියි: “ඔයා මේක කියන්නේ විහිළුවට නෙමෙයි කියලා මට තේරෙනවා. හරි, ඔයා මේ ආගම අදහන්නේ නැත්නම් මොන ආගමද අදහන්න තීරණය කරලා තියෙන්නේ? මොන විදිහට ජීවත් වුණොත් හොඳයි කියලද ඔයා හිතන්නේ?”

දරුවාගෙන් ප්‍රශ්න ඇසිය යුත්තේ ඇයි? එවිට තමා සිතන්නේ කුමක්ද කියා හොඳින් තේරුම්ගැනීමට දරුවාට හැකි වෙනවා. දරුවා එසේ කරනවා නම් ඔබේ විශ්වාසයන් හා ඔහුගේ විශ්වාසයන් අතර වෙනසක් නොමැති බව ඔහුටම වැටහේවි. පසුව ඔහුම ඒ ගැන පුදුම වෙයි.

සමහරවිට ඔහුගේ ගැටලුව වී තිබෙන්නේ තම ආගමික විශ්වාසයන් ගැන අන් අයට පැවසීමට අපහසු වීම විය හැකියි. (කොලොස්සි 4:6; 1 පේතෘස් 3:15) එසේත් නැත්නම් වෙනත් ආගමක කෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබෙන නිසා විය හැකියි. දරුවාගේ සැබෑ ගැටලුව කුමක්ද කියා තේරුම්ගන්න ඔහුට උපකාර කරන්න. ඒ ආකාරයට දරුවා ඔහුගේ තේරුම්ගැනීමේ හැකියාව වර්ධනය කරගන්නා විට අනාගතයේදී අවබෝධයෙන් ක්‍රියා කරන වැඩිහිටියෙකු වීමට ඔහුට හැකි වෙයි.

2 වැඩිහිටියන්ගේ මඟ පෙන්වීම්

සමහර මනෝ වෛද්‍යවරු පවසන්නේ සමහර රටවල දරුවන්ට යොවුන් කාලයේදී ඇති වන පීඩනකාරී ස්වභාවය හා ගැටළු එතරම් නැහැ කියායි. ඊට හේතුව කුඩා කාලයේ සිටම වැඩිහිටියන්ව ආශ්‍රය කිරීම, ඔවුන් සමඟ වැඩ කිරීම හා වගකීම් දැරීමට ඉගෙනගැනීමයි. එවැනි රටවල යොවුන් විය විස්තර කිරීමට පවා වචන නැහැ.

තවත් සමහර රටවල යෞවනයන්ගේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්. බොහෝවිට මව සහ පියා යන දෙදෙනාම රැකියාවට යනවා. දරුවන් ගෙදර පැමිණෙන විට ඔවුන්ට කතාබහ කරන්න කිසිවෙක් නැහැ. සමහරවිට ආශ්‍රය කිරීමට ඥාතියෙක්වත් ළඟපාත නැහැ. ඒ නිසා ඔවුන්ට ආශ්‍රය කිරීමට සිටින්නේ සම වයසේ මිතුරන් පමණයි. * එය ඇත්තෙන්ම අනතුරුදායකයි. ඊට හේතුව එවැනි සමහර මිතුරන් ළඟ හොඳ ප්‍රතිපත්ති නැති වීමයි. අනික් අතට ගුණ යහපත් යෞවනයන් වුණත් වැඩිහිටියන්ගේ ආශ්‍රයෙන් මිදෙනවා නම් ඔවුන් වැරදි කිරීමට තිබෙන ඉඩකඩ වැඩියි.

ඈත අතීතයේ ඊශ්‍රායෙල් ජාතිකයන් අතර සිටි යෞවනයන් තම වැඩිහිටියන්ගෙන් එසේ වෙන් වී සිටියේ නැහැ. * උදාහරණයකට උස්සියා කියා කෙනෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඔහු යෞවන වයසේදීම යූදා දේශයේ රජ බවට පත් වුණා. රජ කෙනෙකුගේ වගකීම් දැරීමට ඔහුට හැකි වුණේ සෙකරියා නමැති අද්දැකීම් ලත් වැඩිහිටියෙක් උපකාර කළ නිසයි. සෙකරියා “සැබෑ දෙවිට ගරුබිය දැක්විය යුතු ආකාරය ගැන ඔහුට උපදෙස්” දුන්නා.—2 ලේකම් 26:5.

ඔබේ දරුවා වැඩිහිටියන් සමඟ ආශ්‍රය කරනවාද? ඒ වැඩිහිටියන් ඔබේ දරුවාට හොඳ මඟ පෙන්වීම් හා උපදෙස් දෙනවා නම් ඒ ගැන ඊර්ෂ්‍යා නොවී සතුටු වන්න. ඊට හේතුව ඔවුන් ඔබේ දරුවාගේ ජීවිතයට හොඳ බලපෑමක් වීමයි. බයිබලයේ මෙවැනි දෙයක් පවසනවා. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය.”—හිතෝපදේශ 13:20.

3 වගකීම් දෙන්න

සමහර රටවල රැකියා කිරීම සම්බන්ධයෙන් යෞවනයන්ට යම් සීමා තිබෙනවා. උදාහරණයකට සමහර වැඩ සඳහාත් වැඩ කළ යුතු පැය ප්‍රමාණය පිළිබඳවත් ඒ ඒ රටේ නීතියට අනුව යම් සීමා පනවා තිබෙනවා. එවැනි නීති පනවා තිබෙන්නේ යෞවන දරුවන්ගේ ආරක්ෂාව සඳහායි.

එවැනි නීති එක අතකින් දරුවන්ට ආරක්ෂාවක් සපයන බව ඇත්තයි. අනික් අතට සමහර විද්වතුන් පවසන්නේ එවැනි නීති නිසා වගකීම් දැරීමට දරුවන් පුහුණු වන්නේ නැති බවයි. එක් පොතක ඒ ගැන මෙසේ සඳහන් වුණා. දැන් යෞවනයන් පුරුදු වී සිටින්නේ “මහන්සි වී වැඩ කරනවා වෙනුවට හැමදේම අතට ලැබෙනකම් බලාගෙන ඉන්නයි.” එහි තවදුරටත් පවසන්නේ ‘තමන්ට කැමති විදිහට දේවල් කරන, කිසිම වගකීමක් දැරීමට අකමැති යෞවන පරපුරක් බිහි වී ඇති බවයි.’—Escaping the Endless Adolescence.

ඊට වෙනස්ව බැරෑරුම් වගකීම් රැසක් දැරීමට සූදානමින් සිටි යෞවනයන් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එවැනි කෙනෙක් වන්නේ තිමෝතියි. යෞවනයෙක්ව සිටි අවදියේදී ඔහුට පාවුල් නමැති අද්දැකීම් ලත් වැඩිහිටියෙකුව මුණගැසුණා. තිමෝතිගේ ජීවිතයේ ඥානවන්ත තීරණ ගැනීමට පාවුල් බොහෝ සෙයින් උපකාර කළා. පාවුල්, උද්‍යෝගයෙන් දෙවිට සේවය කළ කෙනෙක්. වරක් ඔහු තිමෝතිට පැවසුවේ ‘ඔබට දෙවිගෙන් ලැබුණු දීමනාව දිගටම උද්‍යෝගයෙන් භාවිත කරන්න’ කියායි. (2 තිමෝති 1:6) තිමෝතිට වයස අවුරුදු 20ක් හෝ ඊට අඩු වයසකදී ඔහු පාවුල් සමඟ විවිධ ප්‍රදේශවල තිබූ ක්‍රිස්තියානි සභාවලට ගියා. ඒ අතරතුරේදී බොහෝ වගකීම් දැරීමටත් ඔහුට හැකියාව ලැබුණා. තිමෝති සමඟ වසර දහයක් පමණ වැඩ කිරීමෙන් පසුව පාවුල් ඔහු ගැන ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා. “ඔහුට සමාන ගතිලක්ෂණ ඇති, ඔහු තරම් ඔබ ගැන සැලකිලිමත් වන පුද්ගලයෙකු තවත් මට නැති තරම්ය.”—ෆිලිප්පි 2:20.

බොහෝවිට වගකීම් දැරීමට යෞවනයන්ට ලොකු ආශාවක් තිබෙනවා. විශේෂයෙන්ම අන් අයට උපකාර කිරීමට ඔවුන් ලොකු ඇල්මක් දක්වන්න පුළුවන්. එවැනි වගකීම් දරුවන්ට දීමෙන් තම යෞවන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට පමණක් නොව අනාගතයේදී වගකීමෙන් වැඩ කරන වැඩිහිටියන් වීමටත් හැකි වනවා.

වෙනසට හුරු වන්න

ඔබේ දරුවා යොවුන් වියට පැමිණෙන විට ඔහු තුළ ඇති වන වෙනස්කම් ඔබට මහ විපර්යාසයක් ලෙස දැනෙන්න පුළුවන්. නමුත් ඒ වෙනස ගැන ඕනෑවට වඩා කලබල වෙන්න එපා.

ඔබේ දරුවාගේ යෞවන කාලයේදී (1) අවබෝධයෙන් ක්‍රියා කිරීමට ඔහුට උපකාර කරන්න. (2) වැඩිහිටියන්ගේ මඟ පෙන්වීම් ලබාගැනීමට ඔහුට ඉඩ දෙන්න. (3) යම් වගකීම් දැරීමට ඔහුව පුහුණු කරන්න. එසේ කිරීමෙන් යොවුන් වියේ සිට වැඩිහිටිවියට යන ඔබේ දරුවා සාර්ථක වෙයි.

[පාදසටහන්වල]

^ 17 ඡේ. ඒ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත 2009 මැයි 1 මුරටැඹ කලාපයේ 10-12 පිටු බලන්න.

^ 38 ඡේ. අද යෞවනයන් විනෝද වීම සඳහා ඔවුන් වෙනුවෙන්ම නිර්මාණය කළ විනෝදාංශ තිබෙනවා. ඉන් සිදු වී තිබෙන්නේ ඔවුන් වැඩිහිටියන්ගෙන් වෙන් වී වෙනම සමාජයක් බිහි කරගෙන තිබීමයි.

^ 39 ඡේ. පුරාණ ඊශ්‍රායෙලයේ මෙන්ම මුල් සියවස්වල දෙවිගේ සේවකයන් අතර සිටි දරුවන්ව කුඩා වයසේ සිටම වගකීම් දැරීමට පුහුණු කළා. ඒ වගේම තරුණ වයසේදීම ඔවුන්ට වැඩිහිටියන් මෙන් වගකීම් දැරීමට සිදු වුණා.

[20වන පිටුවේ කොටුව/පින්තූරය]

“මීට වඩා හොඳ දෙමාපියන් මට කොහෙන්වත් හොයාගන්න බැහැ”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින දෙමාපියන් තම දරුවන්ට බයිබලයේ ඇති ප්‍රතිපත්ති කියා දෙන අතර හොඳ ආදර්ශයක්ද තබනවා. (එෆීස 6:4) නමුත් බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න කියා ඔවුන් කවදාවත් දරුවන්ට බල කරන්නේ නැහැ. දැනුම් තේරුම් ඇති වයසකට පැමිණි විට තමා ඇදහිය යුත්තේ කුමන ආගමද කියා දරුවෙකු තනිව තීරණය කළ යුතුයි.

වයස අවුරුදු 18ක් වන ඈෂ්ලින්, දෙමාපියන් කියා දුන් ආගමික විශ්වාසයන්ට අනුව ජීවත් වෙන්න තීරණය කළා. ඇය පවසන්නේ මෙසේයි. “මට ආගම කියන්නේ සතියේ එක දවසකට විතරක් සීමා වුණ දෙයක් නෙමෙයි. ඒක මගේ ජීවිතයේම කොටසක්. මම ගන්න හැම තීරණයකටම ඒක බලපානවා.”

කුඩා කාලයේ සිටම බයිබල් ප්‍රතිපත්ති කියා දුන් එක ගැන ඈෂ්ලින් හුඟක් සතුටු වෙනවා. “මීට වඩා හොඳ දෙමාපියන් මට කොහෙන්වත් හොයාගන්න බැහැ. පොඩි කාලේ ඉඳන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් හැටියට ජීවත් වෙන්න මට ආසාවක් ඇති කළේ මගේ අම්මයි තාත්තයි. මගේ ජීවිතයේ හැම දේකදීම ඒ දෙන්නා මට උපකාර කරන බව මට ස්ථිරයි.”

[17වන පිටුවේ පින්තූරය]

හිතේ තියෙන දේ කියන්න ඉඩ දෙන්න

[18වන පිටුවේ පින්තූරය]

ඥානවන්ත වැඩිහිටියන්ව ඇසුරු කිරීමට ඉඩ දෙන්න

[19වන පිටුවේ පින්තූරය]

මහන්සි වී වැඩ කිරීමට උගන්වන්න