Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

පරිණාමය

පරිණාමය

සමහරු හිතන්නේ ජීවීන් පරිණාමය වුණා කියලයි. තවත් අය හිතන්නේ දෙවියන් මුලින්ම ජීවියෙක් නිර්මාණය කරලා ටිකෙන් ටික එය පරිණාමය වෙන්න සැලැස්සුවා කියලයි.

මහා පිපුරුමකින් විශ්වය ආරම්භ වුණා කියන අදහස බයිබලයේ තියෙන වාර්තාවට එකඟද?

බයිබලයේ කියන්නේ “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළා” කියලයි. (උත්පත්ති 1:1) හැම දෙයක්ම නිර්මාණය කළේ කවුද කියලා ඒ පදයේ කිව්වත් නිර්මාණය කළේ කොහොමද කියලා කියන්නේ නැහැ. ඒ නිසා විශ්වය මහා පිපුරුමකින් ඇති වුණා කියලා කෙනෙක් හිතුවත් ඒක උත්පත්ති 1:1 සඳහන් වෙන අදහසත් එක්ක ගැටෙනවා කියලා කියන්න බැහැ. මොකද ඒ බයිබල් පදයේ කියලා තියෙන්නේ හදපු කෙනා ගැන මිසක් හදපු විදිහ ගැන නෙමෙයි.

විශ්වයේ තියෙන හැම දෙයක්ම මහා පිපුරුමකින් ඇති වුණා කියලා විශ්වාස කරන විද්‍යාඥයන් හිතන්නේ ඉබේම සිදු වුණු පිපුරුමකට පස්සේ පදාර්ථ එකතු වෙලා කාලයත් සමඟ තරු, ග්‍රහලෝක වැනි ආකාශ වස්තූන් බිහි වුණා කියලයි. ඒත් බයිබලයේ කියන්නේ දෙවියන් විශ්වය නිර්මාණය කළා කියලයි. එහෙම කරන්න ඔහු පිපුරුමක් වගේ දෙයක් පාවිච්චි කළාද නැත්නම් වෙන ක්‍රමයක් පාවිච්චි කළාද කියලා බයිබලයේ කියන්නේ නැහැ.

“පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය.”උත්පත්ති 1:1.

කාලයත් එක්ක ජීවීන්ගේ යම් වෙනසක් වෙනවා කියන එක බයිබලයට එකඟද?

බයිබලයේ කියන්නේ දෙවියන් “ඒ ඒ වර්ගයට අනුව” ජීවීන්ව නිර්මාණය කළා කියලයි. (උත්පත්ති 1:11, 12, 21, 24, 25) එහෙමනම් එකම වර්ගයේ ජීවීන් තුළ විවිධත්වයක් ඇති වෙන්න පුළුවන්ද? ඔව්. ඒත් එක වර්ගයක් තුළ ඇති වෙන ඒ වගේ විවිධත්වයක් නිසා අලුත් වර්ගයක් බිහි වෙන්නේ නැහැ.

මේ උදාහරණය බලන්න. ගලපගොස් දූපත්වල ඉන්න පිංචි නම් කුඩා කුරුල්ලන් ගැන 1970 ගණන්වලදී පර්යේෂකයන් අධ්‍යයනය කළා. ඒ දූපත්වල නියඟයක් ඇති වුණු කාලයේදී වැඩියෙන්ම දකින්න ලැබුණේ දිග හොටක් තියෙන පිංචි කුරුල්ලන් විතරයි. සමහර අය හිතුවා මේක පරිණාමය වීමක් කියලා. ඒත් ඇත්තටම සිද්ධ වුණේ පරිසරයේ වෙනස් වීමට උන් හැඩගැහුන එකයි. කාලයක් ගියාට පස්සේ ආයෙත් කුඩා හොටක් තියෙන පිංචි කුරුල්ලන්ගේ ගණන වැඩි වුණා. මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ජෙෆ්රි ෂ්වෝට්ස් කිව්වේ සත්තු පරිසරයට අනුව හැඩගැහෙද්දී යම් වෙනසක් වුණත් “අලුත් ජීවියෙක් බිහි වෙන්නේ නැහැ” කියලයි.

ජීවීන්ගේ ආරම්භය ගැන බයිබලයේ තියෙන වාර්තාවයි පරිණාමයයි දෙකම හරිද?

‘සෑම දෙයක්ම සෑදුවේ දෙවියන්’ කියලත් ඒ හැම දෙයක්ම නිර්මාණය කරලා ඉවර වෙන කල් ඔහු “විවේක ගත්තේ” නැහැ කියලත් බයිබලයේ කියනවා. (එළිදරව් 4:11; උත්පත්ති 2:2) ඒකෙන් පැහැදිලි වෙන්නේ දෙවියන් මුලින්ම සරල ජීවියෙක් නිර්මාණය කරලා, ඒ ජීවියා මාළු, වානරයන්, මිනිසුන් වැනි විවිධ ජීවීන් දක්වා පරිණාමය වෙන කල් අවුරුදු මිලියන ගණනක් බලාගෙන හිටියේ නැහැ කියලයි. දෙවියන් විවේක ගත්තේ හැම දෙයක්ම නිර්මාණය කරලා ඉවර වුණාට පස්සෙයි. * “අහසද පොළොවද මුහුදද ඒවායේ තිබෙන සියල්ලද” දෙවියන් නිර්මාණය කළා කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි.—නික්මයාම 20:11; එළිදරව් 10:6.

“අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.”එළිදරව් 4:11.

තවත් විස්තර දැනගන්න කැමතිද? බයිබලයේ කියන්නේ “දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙන්” කියලයි. (රෝම 1:20) දෙවියන් ගැන ඉගෙනගන්න එකෙන් ඔහු මනුෂ්‍යයන් වෙනුවෙන් සැලසුම් කරලා තියෙන ප්‍රීතිමත් අනාගතය ගැන දැනගන්න පුළුවන්. (දේශනාකාරයා 12:13; හෙබ්‍රෙව් 11:6) වැඩි විස්තර දැනගන්න ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වන්න. එහෙමත් නැත්නම් www.ps8318.com/si වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > බයිබලයෙන් උත්තර යටතේ බලන්න.

^ 12 ඡේ. මැවුම්වාදීන් කියන විදිහට ලෝකය දෙවියන් නිර්මාණය කළේ පැය 24ක දවස් හයකින් කියලා බයිබලයේ කියන්නේ නැහැ. වැඩි විස්තර දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කළ ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ යන සඟරාවේ 24-27 දක්වා පිටු බලන්න. එය www.ps8318.com/si වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.