Skip to content

පටුනට යන්න

අනාථ කඳවුරක සිට . . .

අනාථ කඳවුරක සිට . . .

අනාථ කඳවුරක සිට . . .

“අනාථ කඳවුරක්” යන වචනය කනට වැකුණු විගස ඔබගේ මනසේ ඇඳෙන්නේ මොන වගේ චිත්‍රයක්ද? ඔබ කවදා හෝ අනාථ කඳවුරකට ගිහින් තියෙනවාද? ඇත්තටම අනාථ කඳවුරක තත්වය කොයි වගේද?

මෙම ලිපිය සකස් කරන අවස්ථාව වන විට බටහිර ටැන්සානියාවේ අනාථ කඳවුරු 13ක් පිහිටුවා තිබුණා. සිවිල් යුද්ධයෙන් අවතැන් වූ අප්‍රිකානු රටවල සිටින 5,00,000ක් පමණ ජනයාට ටැන්සානියා ආණ්ඩුව හා සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් (UNHCR) එකතු වී උපකාර සැපයුවා. කඳවුරක ජීවිතය කෙබඳු වේවිද?

කඳවුරට පා තැබූ මොහොතේ

අවුරුදු කිහිපයකට පෙර තම පවුලේ අය හා මෙහි පැමිණි අවස්ථාව ගැන යෞවන දැරියක් වන කැන්ඩිඩා විස්තර කළේ මෙසේයි. “ඒගොල්ලෝ අපිට ආහාර කූපනයක් සහ හැඳුනුම් පතක් ලබා දුන්නා. අපේ පවුල නැයැරුගුසු කඳවුරේ පදිංචි කරවීමට කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා කිව්වා. අපිට බිම් කට්ටියක් හා ලිපිනයක් ලබා දුන්නා. අපිට පුංචි ගෙයක් හදන්න අවශ්‍ය ගස් හා තණකොළ කපාගන්න පුළුවන් තැනක් පෙන්නුවා. අපි මැටිවලින් ගඩොල් හැදුවා. අපිට UNHCR එකෙන් වහළට දාන්න ප්ලාස්ටික් රෙද්දක් දුන්නා. මේක සෑහෙන අමාරු වැඩක් වුණත් අපේ පුංචි ගේ හදලා ඉවර වුණාම අපිට ලොකු සතුටක් දැනුණා.”

කැන්ඩිඩා තවදුරටත් මෙසේ පැවසුවා. “ආපන ශාලාව ඉදිරිපිට පෝලිමේ ඉඳලා අපි UNHCR එකෙන් බෙදා දෙන මූලික ආහාර පාන ලබාගත්තා.” ආහාර කූපනයෙන් මේ දේවල් ලබාගත්තේ සති දෙකකට සැරයක් බදාදා දිනවලදීයි.

සෑම කෙනෙකුටම දවසකට ලැබුණේ මොන වගේ ආහාරද?

“අපි හැම කෙනෙකුටම බඩඉරිඟු පිටි කෝප්ප තුනක්, කඩල ඇට කෝප්පයක්, සෝයා පිටි ග්‍රෑම් 20ක්, පිසීමට ගන්නා තෙල් මේස හැඳි දෙකක් සහ ලුණු ග්‍රෑම් 10ක් ලැබුණා. සමහර වේලාවට අපිට සබන් බාර් එකක් දුන්නා. මේක මාසයක්ම පාවිච්චි කරන්න වෙනවා.”

පානීය ජලය ගැන මොනවාද කියන්න පුළුවන්? කඳවුරේ පානීය ජලය තියෙනවාද? රිසිකි නම් තරුණියක් මෙලෙස පැවසුවා. “ළඟපාත ගංගාවලින් නළ මාර්ගයෙන් ලොකු ජලාශවලට වතුර පොම්ප කරනවා. මේ වතුරට ක්ලෝරීන් දාලා පිරිසිදු කරලා හැම කඳවුරකම තිබෙන කටාරම්වලට බෙදා දෙනවා. කෝකටත් අපි ලෙඩ රෝග හැදෙන එක වළක්වාගන්න වතුර බොන්න කලින් හොඳට උතුරවාගන්නවා. උදේ ඉඳන් හැන්දෑ වෙනකම් අපි මේ කටාරම්වලින් වතුර එකතු කරගන්නත්, රෙදි සෝදගන්නත් සෑහෙන කාලයක් වැය කරනවා. අපිට දවසකට ගන්න පුළුවන් වතුර බාල්දි එකහමාරක් විතරයි.”

මේ කඳවුර නරඹන්න අවස්ථාවක් ලැබුණොත් එහි පෙර පාසැල්, ප්‍රාථමික පාසැල් හා ද්විතීයික පාසැල් දැකගන්න පුළුවන් වෙයි. සමහරවිට වැඩිහිටි අයට උගන්වන තැන්ද තියෙන්න පුළුවන්. මෙම කඳවුරේ ආරක්ෂාව සඳහා ඒ ළඟින්ම පොලිස් මුරපොළක් හා ආණ්ඩුවේ කාර්යාලයක් තියෙනවා. ඊට අමතරව කුඩා කඩවලින් හෙබි විශාල වෙළඳපොළක්ද එහි යන කෙනෙකුට දැකගන්න පුළුවන්. මෙයින් අනාථ කඳවුරේ අයට අවශ්‍ය එළවළු, පලතුරු, මාළු, කුකුල් මස් හා වෙනත් මූලික අවශ්‍යතාවන් ලබාගන්න පුළුවන්. අවට ගම්මානවලින් සමහර අය වෙළදාම් කරන්න එතැනට එනවා. නමුත් මේ අනාථ කඳවුරේ අයට මේ දේවල් ගන්න සල්ලි කෝ? සමහර අය කුඩාවට ගෙවතු වගාවක් ලෙස එළවළු වවන අතර ඒවායින් ලැබෙන පලදාව වෙළඳපොළේදී විකුණනවා. තවත් සමහර අය ඔවුන්ට කූපනයට ලැබෙන පිටි හෝ කඩලවලින් ටිකක් විකුණලා ඒ මුදලින් අවශ්‍ය මස්, පලතුරු ගන්නවා. ඇත්තටම මේක පේන්නේ කඳවුරක් වගේ නෙවෙයි, ලොකු ගම්මානයක් වගෙයි. වෙළඳපොළේ ඇහෙන කතා බහෙන් හා සිනහවෙන් පේන්නේ සමහර අය තමන්ගේ රටේ ඉන්නවා හා සමානව සතුටින් ඉන්නවා කියා. මේක එහි දකින්න තිබුණු සාමාන්‍ය දර්ශනයක්.

ඔබ රෝහලට ගියොත් එහි සිටින දොස්තර කෙනෙක් සමහරවිට සාමාන්‍ය රෝගයකට ප්‍රතිකාර කරන සායන කිහිපයක් ගැන හා හදිසි අවස්ථාවකදී මෙන්ම දරුණු රෝග සඳහා ප්‍රතිකාර කරන සායන ගැන ඔබට කියාවි. අවතැන් වූවන් 48,000දෙනෙක් සිටින කඳවුරක සාමාන්‍යයෙන් මසකට දරු උපත් 250ක් පමණ සිදු වන නිසා රෝහලේ මාතෘ අංශය හා ප්‍රසූතාගාරය ප්‍රධාන තැනක් ගනී.

ආත්මික බහුලත්වය

ලොව පුරාම සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇතැම්විට ටැන්සානියා කඳවුරේ සිටින තමන්ගේ සහෝදරයන් ගැන සිතනවා විය හැකියි. මෙහි සභා 14ක හා කණ්ඩායම් තුනක සහෝදරයන් 1,200ක් පමණ සිටිනවා. ඔවුන්ගේ තත්වය කොහොමද?

මෙම භක්තිවන්ත ක්‍රිස්තියානීන් කඳවුරට පා තැබූ මුල් අවස්ථාවේදීම කළ දෙයක් නම් තමන්ට රාජ්‍ය ශාලාවක් තනාගැනීමට බිම් කට්ටියක් ඉල්ලා සිටීමයි. මෙමගින් කඳවුරේ සිටින ජනයාට සාක්ෂිකරුවන්ව සොයාගැනීමටත් ඒ වගේම රැස්වීම්වලට සහභාගි විය යුතු ස්ථානය දැනගැනීමටත් පහසු වේවි. ලූගූෆු කඳවුරේ සභා 7ක් තියෙන අතර එහි ක්‍රියාශීලී සාක්ෂිකරුවන් 659දෙනෙක් සිටිනවා. ඉරිදා රැස්වීම්වලට සාමාන්‍යයෙන් මේ සභා සතෙන්ම එකතු වන සංඛ්‍යාව 1,700ක් පමණ වේ.

සියලුම කඳවුරුවල සිටින සාක්ෂිකරුවන් විශාල ක්‍රිස්තියානි එක්රැස්වීම්වලට හා සමුළුවලට සහභාගි වීමෙන් ප්‍රයෝජන ලබනවා. ලූගූෆු කඳවුරේ පැවති පළවෙනි දිස්ත්‍රික් සමුළුවට 2,363දෙනෙක් සහභාගි වුණා. සමුළු ශාලාවෙන් පිටත සාක්ෂිකරුවන් බව්තීස්ම තටාකයක් සාදා තිබුණා. මෙය සාදා තිබුණේ තරමක වළක් හාරා එහි වතුර රඳවා තබාගැනීම සඳහා ඇතුළට ප්ලාස්ටික් රෙද්දක් දමායි. සහෝදරයන් බයිසිකල්වලින් ගොස් කිලෝමීටර දෙකකට පමණ ඈතින් පිහිටි ගඟකින් වතුර ගෙනැවිත් එය පිරෙව්වා. එක සැරයකට බයිසිකලයෙන් ගේන්න පුළුවන් වූයේ වතුර ලීටර් 20යි. ඒ නිසා වතුර ගේන්න කිහිප සැරයක්ම යන්න සිද්ධ වුණා. විනීත ඇඳුම්වලින් සැරසී සිටි බව්තීස්ම අපේක්ෂකයින් බව්තීස්ම වීම සඳහා එක පෙළට සිටියා. සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්වා 56දෙනෙකුව බව්තීස්ම කරනු ලැබුවා. සමුළුවේ සම්මුඛ සාකච්ඡාවකදී එක් සහෝදරයෙක් පැවසුවේ ඔහු 40දෙනෙක් සමඟ බයිබල් පාඩම් පැවැත්වූ බවයි. ඒ සමුළුවේදී ඔවුන්ගෙන් හතරදෙනෙක් බව්තීස්ම වුණා.

මෙම කඳවුරුවල සිටින අයව බැහැදැකීම සඳහා චාරිකා අවේක්ෂකයන්ව යැවීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් කටයුතු සූදානම් කර තිබෙනවා. එක් චාරිකා අවේක්ෂකයෙක් අදහස් දැක්වූයේ මෙසේයි. “අපේ සහෝදර සහෝදරියන් දේවසේවයට හරිම ජ්වලිතයි. ඔවුන්ට දේශනා කරන්න විශාල ක්ෂේත්‍රයක් තියෙනවා. එක සභාවක එක් ප්‍රචාරකයෙක් මාසයකට පැය 34ක් පමණ සේවයේ නිරත වෙනවා. ඒ වගේම බොහෝදෙනෙක් බයිබල් පාඩම් පහක් හෝ ඊට වැඩියෙන් පවත්වනවා. එක් පුරෝගාමී සහෝදරියක් [පූර්ණ කාලීන දේවසේවිකාවක්] කිව්වේ මීට වඩා හොඳ ක්ෂේත්‍රයක් වෙන කොහෙන්වත් හොයාගන්න ලැබෙන්නේ නැහැ කියලයි. කඳවුරේ ඉන්න සෑම කෙනෙක්ම අපේ පොත් පත් ගොඩාක් ආශාවෙන් කියවනවා.”

බයිබල් පොත් පත් කඳවුරට ලැබෙන්නේ කොහොමද? ශාඛා කාර්යාලය කෝච්චියෙන් පොත් පත් එවන්නේ නැඟෙනහිර වෙරළබඩ ටංගනීකා විල අසල පිහිටි කිගෝමා නම් නගරයටයි. එතනින් පොත් පත් සභාවලට ප්‍රවාහණය කරන්න සහෝදරයන් කටයුතු සැලසුම් කරනවා. සමහර අවස්ථාවලදී සහෝදරයන් කුඩා ට්‍රක් රථයක් කුලියට ගෙන සියලුම කඳවුරුවලට ඔවුන් විසින්ම පොත් පත් බෙදා දෙනවා. දුෂ්කර පාරවල් හරහා ගොස් මේවා බෙදා දීම සඳහා දවස් තුන හතරක් විතර ගත වෙනවා.

ද්‍රව්‍යමය උපකාර

විශේෂයෙන්ම ප්‍රංශය, බෙල්ජියම සහ ස්විට්සර්ලන්තය වැනි රටවල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙම අවතැන් වූවන්ට උපකාර කළා. සමහර අය UNHCR හා ස්වදේශීය කටයුතු පිළිබඳ ඇමතිගේ අවසර ඇතිව ටැන්සානියාවේ කඳවුරුවල සිටින සහෝදරයන්ව බැහැදැකීමට ගියා. යුරෝපයේ සාක්ෂිකරුවන් සෝයා කිරි, ඇඳුම්, සපත්තු, පාසැල් පොත් සහ සබන් ටොන් ගණන් එකතු කර දුන්නා. මෙම පරිත්‍යාගය සියලුම අවතැන් වූවන්ට බෙදා දුන්නේ මතු දැක්වෙන බයිබල් ප්‍රතිපත්තිය පෙරදැරි කරගෙනයි. “අපට ප්‍රස්තාව තිබෙන තාක් කල් සියල්ලන්ටම, විශේෂයෙන්ම ඇදහිල්ලේ පවුලට අයත් අයට යහපත්කම් කරමු.”—ගලාති 6:10, NW.

මෙම මානුෂික ක්‍රියාවලින් ඉතා හොඳ ප්‍රතිඵල නෙළාගෙන ඇති අතර, බොහෝ සරණාගතයන්ට උපකාර ලැබී තිබෙනවා. එක් කඳවුරක පිහිටි ප්‍රජා සරණාගත කමිටුවක් මේ පිළිබඳව මෙසේ ප්‍රශංසා කර තිබුණා. “ඔබ ඉටු කළ සේවයට අපි, අපේ මුළු සමාජය වෙනුවෙන් ඔබට ගෞරවයෙන් ස්තුති ප්‍රශංසා කරන්න කැමතියි. . . . ඔබගේ සංවිධානය විසින් තුන් වතාවක් මේ මහත් මානුෂික ක්‍රියාවන් කර තිබෙනවා. මෙම ඇඳුම් පුරුෂයන්, කාන්තාවන්, දරුවන් මෙන්ම අලුත උපන් බිලිඳුන් ඇතුළු 12,654දෙනෙකුගේ අවශ්‍යතාවන් සපුරා තිබෙනවා. . . . මුයෝවෝසි කඳවුරේ දැනට සිටින සරණාගතයින්ගේ සංඛ්‍යාව 37,000යි. මෙම මුළු සංඛ්‍යාවෙන් සියයට 34.2කට එනම් 12,654දෙනෙකුට උපකාර පිරිනමනු ලැබුවා.”

සරණාගතයින් 12,382දෙනෙක් සිටින තවත් එක් කඳවුරක සෑම කෙනෙකුටම ඇඳුම් කෑලි තුනක් බැගින් දෙනු ලැබුවා. තවත් කඳවුරක ප්‍රාථමික හා ද්විතීයික පාසැල්වල දරුවන්ටත් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල දූ දරුවන්ටත් දහස් ගණන් පොත් පත් බෙදා දුන්නා. එක් ප්‍රදේශයක කටයුතු සංවිධානය කරන UNHCRහි නිලධාරියෙක් ප්‍රශංසා කළේ මෙලෙසයි. “අපිට ලැබුණු සහනාධාරවලට අපි ඇත්තෙන්ම කෘතඥපූර්වක වෙනවා. එය කඳවුරේ සිටින බොහෝදෙනෙකුගේ අවශ්‍යතාවන් පිරිමැසුවා. මෑතකදී බහාලුම් (containers) පහක පාසැල් පොත් තොගයක් එවා තිබුණා. මේවා අපේ සමාජ සේවකයන් විසින් කඳවුරේ සිටින්නන්ට බෙදා දුන්නා. ඔබ සැමට ගොඩාක් ස්තුතියි.”

ප්‍රවෘත්ති පත්‍රවල පවා මෙම සහනාධාර වැඩ පිළිවෙළ පැසසුමට ලක් කර තිබුණා. වර්ෂ 2001 මැයි 20වෙනිදා සන්ඩේ නිව්ස් පත්‍රයේ එක් ශීර්ෂ පාඨයක් වූයේ “ටැන්සානියාවේ අවතැන් වූවන්ට ඇඳුම් පැළඳුම්” යන්නයි. එහි 2002 පෙබරවාරි 10වෙනිදා කලාපයේ සඳහන් කර තිබුණේ මෙසේයි. “අනාථ කඳවුරේ සාමාජිකයන් මෙම සහනාධාර ඉතා අගය කොට සලකයි. ප්‍රමාණවත් ඇඳුම් නැති නිසා පාසැල් ගමන් අත්හැර ගිය සමහර දරුවන් නැවතත් දිගටම පාසැල් යන්න පටන් අරං.”

කොටු වී සිටියත් කිසිම මඟක් නැතිව නොවේ

බොහෝ සරණාගතයින්ට මෙම කඳවුරේ ජීවිතයට හැඩගැසීමට වසරක පමණ කාලයක් ගත වෙනවා. ඔවුන්ගේ ජීවිත ඉතා සරලයි. මෙම කඳවුරේ ජීවත් වන යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ කාලයෙන් වැඩි හරියක් මිඩංගු කරන්නේ තම අසල්වැසි සරණාගතයින්ට දෙවිගේ වචනය වන බයිබලයේ සඳහන් සහනදායී ශුභාරංචිය දේශනා කිරීමටයි. ඔවුන් පැමිණෙන්නාවූ අලුත් ලෝකයක් ගැන අන් අය සමඟ කතා කරනවා. එහිදී “ඔවුහු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් ඔවුන් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.” ඉන්පසු සියලුදෙනාම “කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසය කරනවා ඇත. මක්නිසාද සේනාවල යෙහෝවාගේ මුඛය එය පැවසීය.” නිසැකවම, දෙවිගේ ආශීර්වාද සමඟින් උදා වන අලුත් ලෝකය සරණාගත කඳවුරුවලින් තොර එකක් වනු ඇති.—මීකා 4:3, 4; ගීතාවලිය 46:9.

[8වන පිටුවේ පින්තූරය]

න්ඩූටා කඳවුරේ ගෙවල්

[10වන පිටුවේ පින්තූර]

ලුකෝලේ රාජ්‍ය ශාලාව (දකුණු පසින්) ලූගූෆුවල බව්තීස්ම කරන දර්ශනයක් (පහතින්)

[10වන පිටුවේ පින්තූරය]

ලූගූෆු කඳවුරේදී පැවැත්වූ දිස්ත්‍රික් සමුළුව