Skip to content

පටුනට යන්න

යේසුස් කළ ප්‍රාතිහාර්යයන්වලින් ඔබට කුමක් ඉගෙනගත හැකිද?

යේසුස් කළ ප්‍රාතිහාර්යයන්වලින් ඔබට කුමක් ඉගෙනගත හැකිද?

යේසුස් කළ ප්‍රාතිහාර්යයන්වලින් ඔබට කුමක් ඉගෙනගත හැකිද?

යේසුස් මිහිපිට සිටියදී ගත කළ ජීවිතය පිළිබඳව සඳහන් බයිබල් වාර්තා එකකවත් “ප්‍රාතිහාර්යය” යන වචනය සඳහා මුල් භාෂාවේ වචනය යොදා නොතිබෙන බව දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් විය හැකිය. “ප්‍රාතිහාර්යය” ලෙස ඇතැම්විට පරිවර්තනය කර තිබූ (දීනමීස් යන) ග්‍රීක් වචනයෙන් ඇත්තටම අදහස් වූයේ “බලය” යන්නය. (ලූක් 8:46, NW) එය “හැකියාව” හෝ “බලවත් ක්‍රියා” ලෙසද සඳහන් කළ හැකිය. (මතෙව් 11:20; 25:15, NW) එක් විශාරදයෙකු පවසන පරිදි, මෙම ග්‍රීක් යෙදුමෙන් “අවධාරණය කෙරෙන්නේ සිදු කර ඇති බලවත් ක්‍රියාව ගැන හා විශේෂයෙන්ම එය සිදු කිරීමට යොදාගැනුණු බලය ගැනය. මෙම සිද්ධිය විස්තර කර තිබෙන්නේ ක්‍රියාත්මක වෙමින් තිබෙන දෙවිගේ බලය වෙත අවධානය යොමු කිරීම සඳහාය.”

තවත් ග්‍රීක් යෙදුමක් (ටීරස්) බොහෝවිට පරිවර්තනය කර තිබෙන්නේ “පෙර නිමිති” හෝ “පුදුම දේ” යනුවෙනි. (යොහන් 4:48, ක්‍රියා 2:19, NW) මෙම ප්‍රකාශය මගින් නිරීක්ෂකයන්ට ඇති වන බලපෑම හුවා දක්වයි. බොහෝ අවස්ථාවලදී, සෙනඟ සහ ගෝලයෝ යේසුස්ගේ බලවත් ක්‍රියා දැකීමෙන් පුදුමයට පත් වූහ.—මාක් 2:12; 4:41; 6:51; ලූක් 9:43; NW.

යේසුස්ගේ ප්‍රාතිහාර්යයන් සම්බන්ධයෙන් කියවෙන තුන්වන ග්‍රීක් යෙදුමෙන් (සිමියොන්) ‘ලකුණක්’ අඟවයි. එය “සිදු කරන ලද ප්‍රාතිහාර්යයේ වඩාත් ගැඹුරු අර්ථය වෙත යොමු කෙරෙනවායයි” රොබට් ඩෙෆින්බෝ පවසයි. ඔහු තවදුරටත් මෙසේද එක් කරයි. “ලකුණක් යනු ප්‍රාතිහාර්යයක් වන අතර එමගින් අපේ ස්වාමීන් වන යේසුස් පිළිබඳව යම් සත්‍යයක් කියාපායි.”

මායාවක්ද නැතහොත් දෙවි දුන් බලයද?

යේසුස්ගේ ප්‍රාතිහාර්යයන් ජනයාව විනෝද කිරීමට සැලසුම් කළ විජ්ජාවන් හෝ මායාවන් ලෙසට බයිබලයේ විස්තර නොකරයි. එම සිද්ධීන් “දෙවිගේ බල පරාක්‍රමය” පිළිබිඹු කළ අවස්ථාවන්ය. යේසුස් විසින් පිරිමි ළමයෙකුට වැසී සිටි භූතයෙකු පහ කරනු ලැබූ අවස්ථාව මීට උදාහරණයකි. (ලූක් 9:37-43, NW) “බලයේ මහත්කම” ඇති තැනැත්තා වශයෙන් දක්වා තිබෙන සර්වබලධාරී දෙවිට එවැනි බලවත් ක්‍රියා කළ නොහැකිද? (යෙසායා 40:26) සැබවින්ම පුළුවනි!

සුවිශේෂ වාර්තාවල යේසුස්ගේ ප්‍රාතිහාර්යයන් 35ක් පමණ සඳහන් වේ. එහෙත් ඔහු සිදු කළ ප්‍රාතිහාර්යයන්වල මුළු සංඛ්‍යාව හෙළි කර නැත. උදාහරණයක් වශයෙන්, මතෙව් 14:14හි, [NW] මෙසේ පවසයි. “ඔහු [යේසුස්] මහත් සමූහයක් සිටිනවා දුටුවේය. ඔහුට ඔවුන් ගැන අනුකම්පාවක් හැඟී, ඔවුන්ගේ රෝගීන්ව සුව කළේය.” එම අවස්ථාවේදී ඔහු කොපමණ සංඛ්‍යාවක් සුව කළාද කියා අපට පවසා නැත.

තමන් දෙවිගේ පුත්‍රයා මෙන්ම පොරොන්දු කරනු ලැබූ මෙසියස් බව පැවසීම සඳහා යේසුස්ට එවැනි බලවත් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය විය. දෙවි දුන් බලය නිසා ප්‍රාතිහාර්යයන් සිදු කිරීමට යේසුස්ට හැකි වූ බව ශුද්ධ ලියවිල්ලෙහි පෙන්වයි. ප්‍රේරිත පේතෘස් යේසුස් ගැන සඳහන් කළේ “ඔබ දන්නා පරිදි, දෙවි . . . ඔහු ලවා ඔබ අතරේ කරවන ලද බලවත් ක්‍රියාවලින්ද, පෙර නිමිතිවලින්ද, ලකුණුවලින්ද ඔබට [ඔහුව] ප්‍රසිද්ධියේ පෙන්වා දුන්නේය” කියාය. (ක්‍රියා 2:22, NW) තවත් අවස්ථාවක පේතෘස් මෙසේ පැවසුවේය. “දෙවි ශුද්ධාත්මයෙන් හා බලයෙන් නාසරෙත්වලින් ආ යේසුස්ව අභිෂේක කළ විට, ඔහු යහපත කරමින්ද යක්ෂයා මගින් පීඩා කරනු ලැබූ සියල්ලන්ව සුව කරමින්ද ඒ දේශය පුරා [ගියේය]. මන්ද, දෙවි ඔහු සමඟ සිටියේය.”—ක්‍රියා 10:37, 38, NW.

යේසුස්ගේ ප්‍රාතිහාර්යයන් ඔහුගේ පණිවිඩය සමඟ බැඳී තිබිණ. යේසුස්ගේ ඉගැන්වීමට හා ඔහුගේ ප්‍රාතිහාර්යයන්ගෙන් එකකට සෙනඟ ප්‍රතිචාරය දැක්වූ ආකාරය මාක් 1:21-27හි [NW] හෙළි කරයි. මාක් 1:22හි පවසන්නේ “ඔහු ඉගැන්වූ ආකාරය ගැන” සෙනඟ “මවිත” වූ බවය. එමෙන්ම මාක් 1:27වන පදයේ පෙන්වන්නේ ඔහු භූතයෙකු පලවාහැරිය විට ජනයා “විස්මයට” පත් වූ බවය. යේසුස්ගේ බලවත් ක්‍රියා මෙන්ම ඔහුගේ පණිවිඩය ඔහු පොරොන්දු වූ මෙසියස් බවට සාක්ෂි සැපයීය.

යේසුස් තමන් මෙසියස් බව නිකම්ම ප්‍රකාශ කළේ නැත. ඔහුගේ වදන් හා වෙනත් ක්‍රියා මෙන්ම ඔහු තම ප්‍රාතිහාර්යයන්වලදී විදහා පෑ දෙවි දුන් බලය ඔහු ඇත්තෙන්ම මෙසියස් බවට සාක්ෂි සැපයීය. යේසුස්ගේ කාර්යභාරය හා අධිකාරිත්වය පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු නිර්භීතව මෙසේ පිළිතුරු දුන්නේය. “මට තිබෙන සාක්ෂිය යොහන් [බව්තීස්තගේ] සාක්ෂියට වඩා උතුම්ය. මන්ද, ඉටු කිරීමට පියාණන් මට පැවරූ කාර්යයන්, එනම් මා ඉටු කරන දේවල් පියාණන් විසින් මාව එවූ බවට සාක්ෂි දෙයි.”—යොහන් 5:36, NW.

විශ්වසනීය බවට සාක්ෂි

යේසුස්ගේ ප්‍රාතිහාර්යයන් සැබෑ මෙන්ම විශ්වාස කළ හැකි ඒවා බවට ස්ථිර වන්න අපට හැක්කේ මන්ද? විශ්වසනීය බවට තිබෙන ඇතැම් සාධක සලකා බලන්න.

යේසුස් බලවත් ක්‍රියා සිදු කරන විට කිසිදා තමා වෙත අවධානය ඇදගත්තේ නැත. ඕනෑම ප්‍රාතිහාර්යයක් අවසානයේදී දෙවිට ප්‍රශංසාව හා ගෞරවය ගෙන දීමට ඔහු වගබලා ගත්තේය. උදාහරණයකට අන්ධ මිනිසෙකු සුව කිරීමට පෙර, සුවවීම සිදු වනු ඇත්තේ “දෙවිගේ ක්‍රියා ඔහු තුළ ප්‍රකාශ වන පිණිස” යයි යේසුස් අවධාරණය කළේය.—යොහන් 9:1-3; 11:1-4, NW.

මායාකාරයන්, විජ්ජාකාරයන් හා ඇදහිල්ලෙන් සුව කරන්නන් මෙන් යේසුස් කිසිදා, මෝහනය, රැවටීම, මනස්කාන්ත දර්ශන, වශී ගුරුකම් හෝ හැඟීම්බර වත්පිළිවෙත් යොදාගත්තේ නැත. එමෙන්ම ඔහු මිථ්‍යාදෘෂ්ටික දේවල් හෝ ශුද්ධ වස්තු යොදාගත්තේද නැත. යේසුස් අඬහැරපාන්නේ නැතුව අන්ධ මනුෂ්‍යයන් දෙදෙනෙකුව සුව කළ අයුරු සලකා බලන්න. “යේසුස් අනුකම්පාවෙන් පෙලඹී, ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළේය. එකෙණෙහිම ඔවුන්ට පෙනීම ලැබ, ඔවුහු ඔහු පසුපස ගිය” බව වාර්තාවේ පැවසේ. (මතෙව් 20:29-34, NW) මෙහිදී වත්පිළිවෙත්, මංගල්‍යය හෝ ප්‍රදර්ශනය කිරීම් ඇතුළත්ව තිබුණේ නැත. යේසුස් බොහෝවිට තම ප්‍රාතිහාර්යමය ක්‍රියා සිදු කළේ අන් අය බොහෝදෙනෙකු ඉදිරිපිට එළිමහනේය. ඔහු විශේෂ ආලෝකයක්, වේදිකාවක් හෝ යම් විශේෂ වේදිකා භාණ්ඩ භාවිත කළේ නැත. එහෙත්, නවීන දින ප්‍රාතිහාර්යයන්යයි පැවසෙන දේවල් බොහෝවිට ලේඛනගත කිරීමට පවා නොහැකිය.—මාක් 5:24-29; ලූක් 7:11-15; NW.

යේසුස්ගේ ප්‍රාතිහාර්යයන්ගෙන් ප්‍රයෝජන ලැබූ අයට ඇදහිල්ල තිබූ බව යේසුස් ඇතැම්විට පිළිගත්තේය. කෙසේනමුත් කෙනෙකු තුළ ඇදහිල්ල නොතිබූ පමණින් යේසුස් ඔහු වෙනුවෙන් ප්‍රාතිහාර්යයක් නොකර හැරියේද නැත. ඔහු ගලීලයේ කපර්ණවුමෙහි සිටියදී “භූතාවේශ වූ බොහෝදෙනෙක් ඔහු වෙත ගෙනෙන ලද්දෝය. ඔහු වචනයකින් ආත්මයන් දුරු කර, අසාධ්‍ය තත්වයක සිටි සියල්ලන්ව සුව කළේය.”—මතෙව් 8:16, NW.

යේසුස් ප්‍රාතිහාර්යයන් සිදු කළේ කුතුහලයෙන් සිටි අයව සෑහීමට පත් කිරීමට නොව ශාරීරික අවශ්‍යතා තිබූ අයව සෑහීමට පත් කිරීමටය. (මාර්ක් 10:46-52; ලූක් 23:8) එමෙන්ම යේසුස් කිසිවිටෙක පෞද්ගලික වාසි ප්‍රයෝජන තකා ප්‍රාතිහාර්යයන් සිදු කළේද නැත.—මතෙව් 4:2-4; 10:8.

සුවිශේෂ වාර්තා ගැන කුමක් කිව හැකිද?

යේසුස්ගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳ සත්‍යයන් අපට දැනගන්න සලස්වා තිබෙන්නේ සුවිශේෂයන් හතරේ ඇති වාර්තාවලිනි. යේසුස් හා බැඳි ප්‍රාතිහාර්යයන්ගේ විශ්වසනීයත්වය ගැන අප සෝදිසි කර බලන විට මේවා පිළිබඳව ඇති වාර්තා කෙරෙහි විශ්වාසය තැබීමට හේතු තිබේද? ඇත්තෙන්ම තිබේ.

දැනටමත් දැක ඇති පරිදි යේසුස්ගේ ප්‍රාතිහාර්යයන් සිදු කරනු ලැබුවේ සියැසින් දැක බලා ගත හැකි වන සේ බොහෝදෙනෙකු ඉදිරිපිටය. මුල්ම සුවිශේෂයන් ලියන ලද්දේ එම ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනෙකු ජීවත්ව සිටි කාලයේදීමය. සුවිශේෂ ලේඛකයන්ගේ අවංකභාවය පිළිබඳව ප්‍රාතිහාර්යයන් හා නැවත නැඟිටීම (සිංහලෙන් නැත) නමැති පොතේ මෙසේ පවසයි. “සුවිශේෂයන් ලියූ එවැන්ජලිස්තවරුන් ආගම ප්‍රචාරය කිරීමේ අටියෙන් ප්‍රාතිහාර්යමය කතා පෙළක් තුළ, වගවිභාගයකින් තොරව ඓතිහාසික සත්‍යයන් වැළලුවායයි කියමින් ඔවුන්ට චෝදනා කිරීම සම්පූර්ණයෙන්ම අසාධාරණයක් වනු ඇත. . . . ඔවුන්ගේ අභිප්‍රාය වූයේ අවංක වාර්තාකරුවන් වීමය.”

ක්‍රිස්තු ධර්මයට විරුද්ධ වූ යුදෙව්වෝ සුවිශේෂයන්හි විස්තර කර ඇති බලවත් ක්‍රියා ගැන කිසිදා සැක නොකළෝය. ඔවුන් ප්‍රශ්න කළේ මේවා සිදු කිරීමට යොදාගත් බලය ගැන පමණි. (මාර්ක් 3:22-26) පසු කලෙක තදින් විවේචනය කළ අයට පවා යේසුස්ගේ ප්‍රාතිහාර්යයන් ප්‍රතික්ෂේප කිරීමට නොහැකි විය. ඒ වෙනුවට, යේසුස් සිදු කළ ප්‍රාතිහාර්යමය ක්‍රියා ගැන ක්‍රි.ව. පළමු හා දෙවන සියවස්වලදී වාර්තා වී තිබිණ. පැහැදිලිවම, ඔහුගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳ සුවිශේෂ වාර්තා විශ්වසනීයයි සැලකීමට අපට හොඳ හේතු ඇත.

ප්‍රාතිහාර්යයන් පිටුපස සිටින මිනිසා

යේසුස්ගේ ප්‍රාතිහාර්යයන්වල විශ්වසනීයත්වය ගැන පරීක්ෂා කිරීමේදී තර්ක විතර්කවලට පමණක් සීමා වුවහොත් එය සම්පූර්ණ පරීක්ෂණයක් නොවනු ඇත. සුවිශේෂයන්හි යේසුස්ගේ බලවත් ක්‍රියා පිළිබඳව විස්තර කරන විට ඔහු උණු වන හදවතක් ඇති, සෙසු මිනිසුන්ගේ ශුභසිද්ධිය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වමින් ඔවුන් කෙරෙහි අතිමහත් අනුකම්පාව දැක්වූ මිනිසෙකු බව හෙළි කරයි.

යේසුස් කරා පැමිණ බැගෑපත් වූ ලාදුරු රෝගියා සම්බන්ධයෙන් සලකා බලන්න. “ඔබ කැමති නම් මාව පවිත්‍ර කරන්න ඔබට පුළුවන්.” යේසුස් “අනුකම්පාවෙන් පෙලඹී” ඔහු වෙත තම අත දිගු කොට ඔහුව ස්පර්ශ කර මෙසේ පැවසීය. “මා කැමතියි. පවිත්‍ර වෙන්න.” ඔහු ඒ මොහොතේම සුව විය. (මාක් 1:40-42, NW) මෙලෙස දෙවි දුන් බලය ප්‍රාතිහාර්යයන් කිරීම සඳහා යොදාගැනීමට ඔහුව පෙලඹුවේ ඔහු සතු දයානුකම්පාවය යන කාරණය යේසුස් පෙන්නුවේය.

නායින් නුවරින් පිටත්ව ආ අවමංගල්‍ය පෙරහැරක් යේසුස්ට හමු වූ මොහොතේ සිදු වූයේ කුමක්ද? මිය ගිය තරුණයා වැන්දඹුවකගේ එකම පුතා විය. යේසුස් “අනුකම්පාවෙන් පෙලඹී,” එම ස්ත්‍රිය වෙත පැමිණ “හැඬීම නවත්වන්න” යයි පැවසුවේය. ඉන්පසු ඔහු ඇගේ පුතාව යළිත් ජීවත් කෙරෙව්වේය.—ලූක් 7:11-15, NW.

යේසුස්ගේ ප්‍රාතිහාර්යයන්ගෙන් උකහාගත හැකි සැනසිලිදායක පාඩමක් වන්නේ, ඔහු “අනුකම්පාවෙන් පෙලඹී” අන්‍යයන්ට උපකාර කිරීමට දේවල් කළ කෙනෙකු බවය. එහෙත් මෙවැනි ප්‍රාතිහාර්යයන් ඉතිහාසයට පමණක් සීමා වූ ඒවා නොවේ. “යේසුස් ක්‍රිස්තුස් ඊයෙත් අදත් සදහටත් එකමය” යයි හෙබ්‍රෙව් 13:8හි [NW] පවසයි. ස්වර්ගික රජ වශයෙන් දැන් පාලනය කරමින් සිටින ඔහු සූදානමින්ද, හැකියාව ඇතුවද සිටින්නේ, දෙවි දුන් ප්‍රාතිහාර්යමය බලයන් යොදාගෙන ඔහු මිහිපිට සිටියදී කළ දේවලට වඩා වැඩියෙන් මහත් දේ කිරීමටය. නොබෝ කලකින්, කීකරු මිනිස් වර්ගයාව සුව කිරීමට යේසුස් එම බලයන් භාවිත කරනු ඇත. අනාගතය සඳහා වූ මෙම දීප්තිමත් ප්‍රස්තාව ගැන වැඩියෙන් දැනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබට ඉතා සතුටෙන් උපකාර කරනු ඇත.

[4, 5වන පිටුවේ පින්තූර]

යේසුස්ගේ ප්‍රාතිහාර්යයන් “දෙවිගේ බල පරාක්‍රමය” පිළිබිඹු කිරීමක් විය

[7වන පිටුවේ පින්තූරය]

උණු වන හදවතක් තිබූ මිනිසෙකි, යේසුස්