Skip to content

පටුනට යන්න

බයිබල් පද සසඳා බලමු

බයිබල් පද සසඳා බලමු

වර්ෂ 1837දී ජෝර්ජ් ස්ටෝර්ස් නම් දේවගැතිවරයා නිව් යෝක් නගරයට යන අතරේදී දුම්රියේ තිබී පත්‍රිකාවක් අහුලාගත්තා. එම පත්‍රිකාවේ මාතෘකාව වූයේ ‘මරණයෙන් පසු ජීවිතයක් තිබෙනවාද?’ යන්නයි. මේ ගැන කුතුහලයක් ඇති වූ ඒ දේවගැතිවරයා එය දිගටම කියවන්න පටන්ගත්තා. ඔහු විශ්වාස කළේ මරණයෙන් පසු ශරීරයෙන් බැහැරව යන යමක් වෙනත් තැනක ජීවත් වන බවයි. නමුත් මේ පත්‍රිකාව කියවූ පසු ඒ ගැන සොයන්න ඔහු තුළ උනන්දුවක් ඇති වුණා. මේ පත්‍රිකාවේ කර්තෘ කවුදැයි කියා ඔහු ඒ වන විට දැනගෙන සිටියේ නැහැ. ඒත් එහි සඳහන් කරුණු තර්කානුකූලව ඉදිරිපත් කර තිබුණු බවත් ඒවා ශුද්ධ ලියවිල්ලේ අදහස්වලටද එකඟ බවත් ඔහු වටහාගත්තා. මේ නිසා මෙම විෂය ගැන ගැඹුරින් සොයා බැලීමට ඔහු තීරණය කළා.

චාල්ස් ඩාවින් පරිණාමවාදයට තුඩු දෙන යම් යම් කරුණු ලිවීමට පටන්ගත්තේ ඉහත සිද්ධිය සිදු වූ වකවානුවේදීයි. මේ කාලය වන විට පරිණාමවාදය පිළිබඳ මතය ප්‍රචලිත වී තිබුණේ නැති අතර මිනිසුන් බොහෝ සේ ආගම දහමට ලැදිව සිටියා. ඔවුන් දෙවි කෙනෙක් සිටින බව විශ්වාස කළා. ඒ විතරක් නෙවෙයි බොහෝදෙනෙක් බයිබලය කියවූ අතර එයට ලොකු බලයක් තිබෙන බවත් විශ්වාස කළා.

ස්ටෝර්ස්ට ලැබුණු පත්‍රිකාවේ කර්තෘ පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියාවල පදිංචි හෙන්රි ගෲ බව පසුව ඔහුට දැනගන්න ලැබුණා. ‘ශුද්ධ ලියවිලි වඩාත් හොඳින් පැහැදිලි කර දෙන්න පුළුවන් ශුද්ධ ලියවිලිවලටමයි’ යන මතය තදින්ම විශ්වාස කළ කෙනෙක් හෙන්රි. ඔහුද ඔහු හා සමාන මත තිබූ තවත් අයද එකතු වී බයිබලයේ තිබෙන උපදෙස් තමන්ගේ ජීවිතයට අදාළ කරගැනීමේ අදහසින් එය අධ්‍යයනය කළා. ඔවුන් මෙසේ අධ්‍යයනය කළ නිසා බයිබලයේ සඳහන් වැදගත් සත්‍යයන් කිහිපයක් ඔවුන්ට දැනගන්න ලැබුණා.

හෙන්රි ලියූ දේවල්වලින් පෙළඹීමක් ලැබූ ස්ටෝර්ස් කෙනෙක් මිය ගිය පසු සිදු වන දෙය ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද කියා වුවමනාවෙන් අධ්‍යයනය කළ අතර ඔහුගේ සමකාලීන දේවගැතිවරුන් සමඟ ඒ කරුණු බෙදාගත්තා. අවුරුදු පහක් පුරා මහත් වෑයමක් දරා බයිබලය අධ්‍යයනය කිරීමෙන් පසු තමා සොයාගත් අගනා සත්‍යයක් ප්‍රකාශයට පත් කරන්න ස්ටෝර්ස් තීරණය කළා. ඔහු 1842දී එක් ඉරිදා දවසක තමන් සොයාගත් දෙයක් ගැන දේශනයක් දුන්නා. කෙසේවෙතත් තමා සාකච්ඡා කරන විෂය ගැන පැහැදිලි අවබෝධයක් ලබා දීම සඳහා තව දේශන කිහිපයක් දිය යුතු බව ඔහු තේරුම්ගත්තා. මරණයෙන් පසු ශරීරයෙන් බැහැරව යන යමක් වෙනත් තැනක ජීවත් නොවන බව ඔප්පු කිරීමට තවත් දේශන හයක් පැවැත්වුවා. ඉන්පසු ඒවා පොතක් ලෙස ප්‍රකාශයට පත් කළා. (Six Sermons) ස්ටෝර්ස් බයිබලයේ පද අතර තිබෙන සම්බන්ධතාව හොඳින් සන්සන්දනය කර බැලූ නිසා, දෙවිට අගෞරවයක් ගෙන දෙන ආකාරයෙන් ඇතැම් ක්‍රිස්තියානි ආගම්වල උගන්වන බොරු ඉගැන්වීම්වලින් යටපත් වී තිබූ සත්‍යයන් ඉස්මතු කිරීමට ඔහුට හැකි වුණා.

බයිබලයේ අමරණීයභාවය ගැන උගන්වනවාද?

යේසුස්ට විශ්වාසවන්තව සිටීම නිසා ආලේප ලත් ක්‍රිස්තියානීන්ට අමරණීයභාවය නමැති ත්‍යාගය දෙන බව බයිබලයේ පවසා තිබෙනවා. (1 කොරින්ති 15:50-56) අමරණීයභාවය විශ්වාසවන්තව සිටි අයට ලැබෙන ත්‍යාගයක් නම් දුෂ්ටයන්ට එම තත්වය නොලැබෙන බව ස්ටෝර්ස් පෙන්වා දුන්නා. මේ සම්බන්ධයෙන් ස්ථිරව දැනගැනීම සඳහා ඔහු ශුද්ධ ලියවිලි පරීක්ෂා කළා. ඔහු මතෙව් 10:28හි (පැරණි අනුවාදය) පවසා තිබෙන දෙය ගැන අවධානය යොමු කළා. එහි පවසන්නේ “ආත්මයද [හෙවත් ජීවයද] ශරීරයද නිරයෙහි විනාශ කරන්ට පුළුවන් තැනැත්තාටම භය වෙන්න” කියායි. මින් අදහස් කරන්නේ ජීවය නසන්න පුළුවන් බවයි. ඒ වගේම ඔහු එසකියෙල් 18:4හි සඳහන් දේත් මෙයට සම්බන්ධ කළා. එහි මෙසේ පවසා තිබෙනවා. “පව් කරන ආත්මය [හෙවත් ප්‍රාණය] නසින්නේය.” මේ කාරණය සම්බන්ධයෙන් තිබෙන සියලුම ශුද්ධ ලියවිලි පාඨ සලකා බැලීමෙන් පසු එය ගැන තිබෙන වටිනා සත්‍යය පහසුවෙන් තේරුම්ගැනීමට හැකි වෙනවා. ස්ටෝර්ස් මෙසේ පැවසුවා. “මරණයෙන් පසු අමරණීය යමක් ශරීරයෙන් බැහැරව ජීවත් වන්නේ නැති බවට මා සොයාගත් කරුණු නිවැරදි නම් බයිබලයේ තිබෙන තවත් බොහෝ පද පැහැදිලිව තේරුම්ගැනීමටත් හැකි වෙනවා.”

ඒත් යූද් 7වෙනි පදයේ මෙසේ සඳහන් වෙනවා. “සොදොම් සහ ගොමෝරාද ඒවා අවට පිහිටි නුවරවල්ද කලින් සඳහන් කළ අය මෙන්ම අධික ලෙස වේශ්‍යාකම් කර, අස්වාභාවික සේවනය සඳහා මාංසය ලුහුබැඳ ගොස් සදාකාල ගින්න නමැති යුක්තිසහගත දඬුවම වින්දෝය. එහෙයින් එය අනතුරු ඇඟවීමක් ලෙස අප ඉදිරියෙහි තබා ඇත.” මෙම පදය කියවන සමහර අය හිතන්න පුළුවන් සොදොම් සහ ගොමෝරා විනාශයෙන් විනාශ වූ අය සදාකාල ගින්නක දුක් විඳිනවා කියා. මේ ප්‍රශ්නයට ස්ටෝර්ස් මෙසේ පිළිතුරු දුන්නා. “අපි බයිබල් පදයක් තවත් බයිබල් පදයක් සමඟ සන්සන්දනය කර බලමු.” ඉන්පසු ඔහු 2 පේතෘස් 2: 5, 6හි සඳහන් වදන් මෙසේ උපුටා දැක්වුවා. ‘පුරාණ ලෝකයකට ඔහු දඬුවම් කිරීමෙන් නොවැළකී ජලගැල්මක් ගෙන ආ කල, නෝවාව ආරක්ෂා කළේය. ඔහු සොදොම් සහ ගොමෝරා යන නගර අළු කරමින් ඒවා විනාශ කළේය. එමගින් ඔහු අභක්තිකයන් සඳහා පැමිණෙන්නට තිබෙන දේවල් පිළිබඳ පාඩමක් සැපයුවේය.’ මෙයින් පැහැදිලි වන්නේ සොදොම් සහ ගොමෝරා යන නගර එහි වැසියන් සමඟ සම්පූර්ණයෙන්ම විනාශයට ලක් වූ බවයි.

ස්ටෝර්ස් ඒ ශුද්ධ ලියවිලි පාඨ දෙක ගැන මෙසේ පැවසුවා. “පේතෘස් යූද්ගේ පොතේ සඳහන් කරුණුවලට තවත් අමතර තොරතුරු සපයනවා. මේ ශුද්ධ ලියවිලි පාඨ දෙක සන්සන්දනය කිරීමෙන් පැහැදිලි වන්නේ දෙවි පව්කාරයන් කෙරෙහි දක්වන අප්‍රසන්නකමයි. . . . අවසාන කාලයේ ජීවත් වන සියලුදෙනාට පුරාණ සොදොම් සහ ගොමෝරාවට ගෙනා එම ‘සදාකාලික’ විනාශය හොඳ ‘පාඩමක්’ නැත්නම් අනතුරු ඇඟවීමක් කියා පැවසිය හැකියි.” යූද් මෙහිදී විස්තර කළේ සොදොම් සහ ගොමෝරා යන නගර දෙක ගින්නෙන් සාදාකාලික විනාශයක් අද්දුටු බවයි. මිනිසුන් මිය ගියාට පසු ඔවුන්ගෙන් යමක් බැහැරව අමරණීයව ජීවත් වන බව එයින් අදහස් කරන්නේ නැහැ.

ස්ටෝර්ස් තමන්ගේ අදහස්වලට අනුබල දෙන ශුද්ධ ලියවිලි පාඨ පමණක් සැලකිල්ලට ගෙන අනිත් ඒවා ඉවත් කළේ නැහැ. ඔහු යම් පාඨයක් ගැන සලකා බැලීමේදී ඒ අවට පාඨ ගැන මෙන්ම එය බයිබලයේ සමස්ත අදහසට ගැළපෙන්නේ කෙසේද කියාත් සොයා බැලුවා. එක් බයිබල් පදයක් තවත් පදයක ඇති අදහසට පටහැනි දෙයක් ඉදිරිපත් කර තිබෙනවා නම් සාධාරණ පිළිගත හැකි පිළිතුරු ලබාගැනීම සඳහා ස්ටෝර්ස් ඊට අදාළ අනිකුත් සියලුම බයිබල් පද සොයා බැලුවා.

බයිබලය ගැන රසල් කළ අධ්‍යයනය

ජෝර්ජ් ස්ටෝර්ස් සමඟ ඇසුරු කළ තවත් යෞවනයෙක් සිටියා. ඔහු චාල්ස් ටේස් රසල්. මොහු පෙන්සිල්වේනියාවේ පිහිටි පිට්ස්බර්ග්හිදී තවත් පිරිසක් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට කටයුතු සූදානම් කළා. රසල් ලියූ ශුද්ධ ලියවිලි මත පදනම් වූ මුල් ලිපි අතරින් එක් ලිපියක් ස්ටෝර්ස් විසින් සැකසූ සඟරාවක (Bible Examiner) 1876දී ප්‍රකාශයට පත් වුණා. මුල් කාලයේ විසූ බයිබලය අධ්‍යයනය කළ අය තමන්ගේ වැඩවලට මහත් සේ අත හිත දුන් බව රසල් පිළිගත්තා. සයන්ස් වොච් ටවර්හි කර්තෘ වන රසල් ඔහුට ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීමට ලිඛිතව හා වාචිකව උපකාර කළ ස්ටෝර්ස්ව ගොඩාක් අගය කොට සැලකුවා.

රසල් ඔහුට වයස අවුරුදු 18දී බයිබලය අධ්‍යයනය කිරීම සඳහා කණ්ඩායමක් එකතු කරගත්තා. මෙලෙස බයිබලය අධ්‍යයනය කිරීමේදී ඔවුන් යම් ක්‍රමයක් අනුගමනය කළා. රසල් සමඟ බයිබල් අධ්‍යයනය කිරීමට සහාභාගි වූ ඒ. එච්. මැක්මිලන් එම ක්‍රමය හැඳින්වූයේ මෙසේයි. “කණ්ඩායමේ කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ අපි ඒ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරනවා. ඒ ප්‍රශ්නයට අදාළ සියලුම බයිබල් පද සොයා බැලුවාට පස්සේ ඒ බයිබල් පද අතර තිබෙන සම්බන්ධය පැහැදිලි නම් හා සෑහීමකට පත් වෙන්න පුළුවන් නම් අපි යම් නිගමනයකට එනවා. ඊට පස්සේ අපි ඒ නිගමනය සටහන් කර තබනවා.”

සමස්තයක් හැටියට ගත් විට බයිබලයේ අඩංගු දේවල් අතර එකඟතාවක් තිබිය යුතු බවත් එහි කර්තෘ වන දෙවිගේ ගුණාංග එමගින් කියා පෑ යුතු බවත් රසල් විශ්වාස කළා. බයිබලයේ යම් වගන්තියක් තේරුම්ගැනීමට අපහසු වන අවස්ථාවලදී ඊට පිළිතුරු තවත් වගන්තියක් මාර්ගයෙන් තේරුම් කරගත හැකි බවද රසල් විශ්වාස කළා.

බයිබලය තේරුම්ගැනීමට බයිබලයම යොදාගත් 19වන සියවසේ විසූ බයිබල් ශිෂ්යයන් කිහිපදෙනෙක්: ජෝර්ජ් ස්ටෝර්ස්, හෙන්රි ග, චාල්ස් ටේස් රසල්, ඒ. එච්. මැක්මිලන්

බයිබල් පද සැසඳීමේ ක්‍රමය

එක් බයිබල් පදයක් තේරුම් කරගැනීමට තවත් පදයක ආධාර පැතිය යුතුයි කියා මුලින්ම සිතුවේ රසල්වත් ස්ටෝර්ස්වත් හෙන්රිවත් නෙවෙයි. මෙය ක්‍රිස්තියානි ආගමේ මූලාරම්භකයාණන් වන යේසුස් උපයෝගි කරගත් ක්‍රමයක්. ඔහු එක් පදයක තේරුම නිවැරදිව පහදා දීමට තවත් පද කිහිපයක් ගෙනහැර දැක්වුවා. උදාහරණයක් ලෙස ධාන්‍ය කරල් කඩාගෙන කෑම ගැන යේසුස්ගේ ගෝලයන්ට පරිසිවරු දොස් පැවරූ විට යේසුස් 1 සාමුවෙල් 21:6හි සඳහන් සිද්ධිය ගැන කතා කරමින් සබත් නීතිය අදාළ වන ආකාරය ගැන පෙන්වා දුන්නා. දාවිත් සහ ඔහුගේ මිනිසුන් පිදීමේ රොටි අනුභව කළ සිද්ධිය ගැන ආගමික නායකයන් හොඳින් දැන සිටියා. නීතියේ සඳහන් වන ආකාරයට පිදීමේ රොටි කෑමට අවසර තිබුණේ ආරොන්ට හා ඔහුගේ පුත්‍රයන්ට පමණක් බව යේසුස් ඔවුන්ට පෙන්වා දුන්නා. (නික්මයාම 29:32, 33; ලෙවී කතාව 24:9) ඒත් දාවිත්ට රොටි ගෙන කන්න අවසර දුන්නා. යේසුස් ඔවුන් කළ දෝෂාරෝපණය වැරදි බව ඔප්පු කිරීමට හොෂෙයා පොතෙන් මේ කොටස උපුටා දැක්වුවා. “‘මට අවශ්‍ය දයාව මිස පූජාව නොවේ’ යන කීමේ අර්ථය ඔබ තේරුම්ගෙන සිටියා නම්, ඔබ නිදොස් අය පිට වරද තබන්නේ නැත.” (මතෙව් 12:1-8) එක් පදයක තේරුම නිවැරදිව වටහාගැනීමට තවත් බයිබල් පද සන්සන්දනය කිරීම ගැන ඒ සිද්ධිය මොන තරම් කදිම උදාහරණයක්ද!

මෙම ක්‍රමයම යේසුස්ගේ ගෝලයන්ද අනුගමනය කළා. පාවුල් තෙසලෝනිකයේ ජනයාට කතා කරද්දී “ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන ඔවුන්ට තර්කානුකූලව පහදා දුන්නේය. ක්‍රිස්තුස් වධ විඳින්නත් මළවුන්ගෙන් නැඟිටින්නත් අවශ්‍යව තිබූ බව ශුද්ධ ලියවිල්ලට යොමු දක්වා පහදා දෙමින් ඔවුන්ට ඔප්පු කර පෙන්වීය.” (ක්‍රියා 17:2, 3) ඔහු දේවානුභාවය යටතේ ලියූ ලිපිවල තේරුම දැනගැනීමට බයිබලයේ අනෙකුත් පොත්වලට යොමු දැක්වුවා. ඔහු හෙබ්‍රෙව්වරුන්ට ලිවීමේදී නීතිය පැමිණීමට තිබෙන යහපත් දේවල ඡායාවක් බව ඔප්පු කිරීමට ශුද්ධ ලියවිලි පාඨ බොහොමයක් උපුටා දැක්වුවා.—හෙබ්‍රෙව් 10:1-18.

මේ ආකාරයට යේසුස් මෙන්ම මුල් ක්‍රිස්තියානීන් භාවිත කළ එම ක්‍රමයම 19වන හා 20වන සියවස්වල සිටි බයිබල් ශිෂ්‍යයන්ද අනුගමනය කළා. යම් බයිබල් පදවල තේරුම වටහාගැනීමට තවත් බයිබල් පද සසඳා බැලීමේ ක්‍රමය මුරටැඹ සඟරාවේත් දිගටම භාවිත කර තිබෙනවා. (2 තෙසලෝනික 2:15) බයිබල් පදයක තේරුම වටහාගැනීමට මෙම ප්‍රතිපත්තිය යෙහෝවාගේ සාක්ෂිකරුවනුත් අදාළ කරගන්නවා.

අවට පාඨවලට අවධානය දෙන්න

අපි බයිබලය කියවන විට යේසුස් හා ඔහුගේ විශ්වාසවන්ත ගෝලයන්ගේ කදිම ආදර්ශය අපිට අනුගමනය කරන්න පුළුවන් කොහොමද? උදාහරණයක් හැටියට අපිට යම් පදයක් ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් මුලින්ම එම පදයට කලින් හා පසු කොටස කියවිය හැකියි. මෙම කොටස් එම පදයේ තේරුම වටහාගැනීමට උපකාරවත් වන්නේ කොහොමද? මේ ගැන පැහැදිලි කරගැනීමට අපි මතෙව් 16:28හි සඳහන් යේසුස් පැවසූ මෙම වදන් සැලකිල්ලට ගනිමු. “සැබවින්ම මම ඔබට කියමි, මනුෂ්‍ය පුත්‍රයා සිය රාජ්‍යයෙන් යුක්තව එනවා දකින්න පළමුවෙන්, මෙතැන සිටගෙන සිටින්නන්ගෙන් සමහරෙකු කිසිසේත් මරණ රසය විඳින්නේ නැත.” යේසුස් මෙම වදන් පැවසූ අවස්ථාවේ සිටි සියලුම ගෝලයන් දේවරාජ්‍යය ස්වර්ගයේ ස්ථාපිත කිරීමට පෙර මිය ගිය නිසා එම වදන් ඉෂ්ට වුණේ නැහැයි කියා සමහරු හිතන්න පුළුවන්. බයිබලය ගැන විග්‍රහ කරන එක් පොතක (The Interpreter’s Bible) පවා මේ පදය ගැන මෙසේ පවසා තිබෙනවා. “එම අනාවැකිය ඉෂ්ට වුණේ නැහැ. ඒ නිසා එය වචනාර්ථයෙන් තේරුම්ගත නොහැකි බව පසු කලෙක ක්‍රිස්තියානීන් තේරුම්ගත්තා.”

කෙසේවෙතත් අවට පාඨ සලකා බැලීමෙන් සහ මෙයට සම්බන්ධ තවත් තොරතුරු මාක් හා ලූක් සුවිශේෂවලින් සොයා බැලීමෙන් යේසුස්ගේ ඉහත වදන්වල නියම තේරුම පැහැදිලි කරගත හැකියි. ඉහත වදන් පැවසූ පසු සිදු වූ දේ ගැන මතෙව් වර්තා කරන්නේ මෙසේයි. “දවස් හයකට පසු යේසුස් පේතෘස්වද යාකොබ්වද ඔහුගේ සහෝදර යොහන්වද කැඳවාගෙන උස් කන්දකට ගියේය. එවිට ඔහු, ඔවුන් ඉදිරියෙහි අන් ස්වරූපයකට පත් විය.” (මතෙව් 17:1, 2) මාක් සහ ලූක්ද යේසුස් දේවරාජ්‍යය ගැන පැවසූ දේ හා අන් ස්වරූපයකට පත්වීම අතර සම්බන්ධය ගෙනහැර දැක්වුවා. (මාක් 9:1-8; ලූක් 9:27-36) යේසුස් අන් ස්වරූපයකට පත්වීමෙන් හා තේජසින් යුක්තව ගෝලයන් තිදෙනෙකු ඉදිරියේ දිස්වීමෙන් පෙන්නුම් කළේ රාජ්‍ය බලයෙන් යුක්තව ඔහුගේ පැමිණීමයි. මෙම නිගමනය නිවැරදි බව මෙම සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවෙක් වන පේතෘස් ‘අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ බලය ගැන හා ඔහුගේ පැමිණ සිටීම ගැන’ කතා කිරීමේදී පැහැදිලි වෙනවා.—2 පේතෘස් 1: 16-18.

බයිබල් වගන්තියක තේරුම පහදා දීමට ඔබත් බයිබලයටම ඉඩහරිනවාද?

බයිබල් පදයක අවට පාඨ කියවීමෙන් පසුව පවා ඔබට යම් පදයක් තේරුම්ගැනීමට නොහැකි නම් කුමක් කළ යුතුද? බයිබලයේ අඩංගු සමස්ත පණිවිඩය මතකයේ තබාගෙන එම පදය වෙනත් බයිබල් පද සමඟ සන්සන්දනය කර බලන්න පුළුවන්. මෙය කිරීම සඳහා අපට තිබෙන හොඳම මෙවලම නම් ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයයි. මෙය සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් භාෂා 57කින් තිබෙනවා. මෙහි බොහෝ පරිවර්තනවල මැද තීරුවේ යොමු සටහන් දක්නට තිබෙනවා. යොමු සටහන් සහිත ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයේ එවැනි යොමු සටහන් 1,25,000ක් පමණ අඩංගු වෙනවා (මෙය සිංහලෙන් නැත). එම බයිබලයේ හැඳින්වීමේ කොටසේ මෙසේ පවසා තිබෙනවා. “බයිබලයේ පොත් 66 අතර සම්බන්ධයක් තිබෙන බවත් මෙය දේවානුභාවයෙන් ලියවුණු පොතක් බවත් මෙහි මැද තීරුවේ තිබෙන යොමු සටහන් හා පාද සටහන් සන්සන්දනය කිරීමෙන් ඔබට දැනගත හැකියි.”

එක් බයිබල් පදයක තේරුම වටහාගැනීමට මැද තීරුවේ තිබෙන යොමු සටහන් උපකාරවත් වන ආකාරය ගැන දැන් අපි සොයා බලමු. උදාහරණයක් ලෙස ආබ්‍රහම්ගේ පවුලේ අය ඌර් දේශයෙන් පිටත්ව යෑමේදී මූලිකත්වය ගත්තේ කවුද? උත්පත්ති 11:31හි මෙසේ පවසා තිබෙනවා. ‘තේරා තමන් පුත් ආබ්‍රම්ද ලොත්ද ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයිද කැඳවාගත්තේය. ඔවුහු කානාන් දේශයට යන පිණිස කල්දියයන්ගේ ඌර් නම් ස්ථානයෙන් පිටත්ව ගොස් හාරාන්ට පැමිණ එහි වාසය කළෝය.’ මෙම වාර්තාව කියවන කෙනෙක් සිතන්නේ ආබ්‍රහම්ගේ පියා වූ තේරා ඌර් දේශයෙන් පිටත්ව යෑමේදී මූලිකත්වය ගත් බවයි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නව ලොව පරිවර්තනයේ මැද තීරුවේ යොමු සටහන් 11ක් තිබෙනවා. අවසාන යොමු සටහනේ සඳහන් බයිබල් පදය වන්නේ ක්‍රියා 7:2යි. ක්‍රියා 7වන පරිච්ඡේදයේ සඳහන් වන්නේ පළමුවෙනි ශතවර්ෂයේ යුදෙව්වන්ට ස්තේපන් දුන් උපදෙස් ගැනයි. ක්‍රියා 7:2, 3හි පවසා තිබෙන්නේ මෙසේයි. “අපේ මුතුන්මිත්තා වූ ආබ්‍රහම් හාරාන්හි පදිංචි වීමට කලින් මෙසපොතේමියාවේ සිටි කාලයෙහි, තේජවත් දෙවි ඔහුට පෙනී, ‘ඔබේ දේශයෙන්ද ඔබේ නෑදෑයන් කෙරෙන්ද පිට වී, මා ඔබට පෙන්වන දේශයට එන්න’ යයි කීවේය.” ආබ්‍රහම් හාරාන් දේශයෙන් පිටත් වී යෑම ගැන පැහැදිලි අවබෝධයක් ස්තේපන්ට තිබුණේ නැති බව ඔහු පැවසූ ඉහත වදන්වලින් අදහස් වෙනවාද? නැහැ. එවන් දෙයක් අදහස් වන්නේ නැහැ. මන්ද ස්තේපන් පවසා තිබෙන දෙයත් දේවානුභාවයෙන් ලියා තිබෙන නිසයි.—උත්පත්ති 12:1-3.

එසේනම්, “තේරා තමන් පුත් ආබ්‍රම්” සහ පවුලේ අනෙක් සියල්ලන්ව ඌර් දේශයට යන්න කැඳවාගත් බව උත්පත්ති 11:31හි පවසා තිබෙන්නේ මන්ද? පවුලේ ප්‍රධානියා වූ තේරා ආබ්‍රහම් සමඟ යෑමට කැමති වුණා. මේ නිසයි හාරාන් දේශයට පවුලේ අයව රැගෙන යෑමේදී මූලිකත්වය ගත්ත තැනැත්තා ලෙස තේරා ගැන උත්පත්ති වාර්තාවේ සඳහන් වන්නේ. මෙලෙස පද එකින් එකට සැසඳීම නිසා ඇත්තටම සිදු වූ දෙය අපට දැනගැනීමට හැකියි. දෙවිගේ අණ පරිදි ඌර් දේශයෙන් පිටත්ව යෑමට ඇති අවශ්‍යතාව ඔහු ගෞරවනීය ලෙස තම පියාට ඒත්තුගැන්වුවා.

අපි බයිබල් පද කියවන විට එහි අවට පාඨ සම්බන්ධය ගැන සලකා බැලිය යුතු අතර එය බයිබලයේ සමස්ත පණිවිඩයට ගැළපෙන්නේ කෙසේද කියාත් සොයා බැලිය යුතුයි. ක්‍රිස්තියානීන්ට දී තිබෙන මෙම උපදේශය සැලකිල්ලට ගැනීමත් වැදගත්. “දෙවි සිය කරුණාවෙන් අපට දී තිබෙන දේවල් දැනගන්නා පිණිස . . . අපට ලැබී තිබෙන්නේ ලෝකයේ ආත්මය නොව, දෙවිගෙන් වූ ආත්මයය. අප මේ දේවල් කතා කරන්නේ මිනිස් ප්‍රඥාවෙන් උගන්වනු ලැබූ වචනවලින් නොව, ආත්මික කාරණා පහදා දීමට ආත්මික වචන යොදාගනිමින් ආත්මය විසින් උගන්වනු ලබන වචනවලිනි.” (1 කොරින්ති 2:11-13) ඒ නිසා අපි යෙහෝවා දෙවිගෙන් ඔහුගේ වචනයේ තිබෙන දේවල් තේරුම්ගැනීමට අවශ්‍ය ප්‍රඥාව දෙන්න කියා අයදින්න අවශ්‍යයි. ඒ වගේම “ආත්මික කාරණා පහදා දීමට ආත්මික වචන” යොදාගන්න අවශ්‍ය නිසා බයිබල් පදයක් ගැන යම් ප්‍රශ්නයක් පැනනැඟුණු විට ඒ හා සම්බන්ධ බයිබල් පද මෙන්ම එහි අවට පාඨ සලකා බැලිය යුතුයි. අපි මෙලෙස අධ්‍යයනය කරනවා නම් දෙවිගේ වචනයේ අඩංගු අනර්ඝ මැණික් වැනි සත්‍යයන් අපි සොයාගන්නවා නියතයි.

පාවුල් ඔහු ගෙනා තර්කය ඔප්පු කිරීමට තවත් බයිබල් පද ගෙනහැර දැක්වුවා