Skip to content

පටුනට යන්න

අන්තයට යෑමෙන් වළකින්න

අන්තයට යෑමෙන් වළකින්න

අන්තයට යෑමෙන් වළකින්න

සමබර වීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය සපයන්නේ යෙහෝවා දෙවියි. ඔහුගේ “වැඩ සම්පූර්ණ” වන අතර ඔහුගේ යුක්තිය දයාව මගින් සමබර වී තිබෙනවා. (ද්විතීය කතාව 32:4) ඔහුගේ ප්‍රේමය ධර්මිෂ්ඨ නීති මත පදනම් වී තිබෙනවා. (ගීතාවලිය 89:14; 103:13, 14) දෙවි අපේ මුල් දෙමාපියන්ව මැව්වේ ජීවිතයේ සෑම කාරණයකදීම සමබර විය හැකි අයුරිනුයි. අන්තයටම යෑමේ නැඹුරුවාවක් ඔවුන් තුළ තිබුණේ නැහැ. කෙසේවෙතත් ඔවුන් දෙවිට අකීකරු වීමෙන් පසු ‘කැළලක්’ නොහොත් දෝෂයක් ඔවුන් තුළ ඇති වුණා. එහි ප්‍රතිඵලය වූයේ සමබර වීමේ සහජ නැඹුරුවාව අහිමි වීමයි.—ද්විතීය කතාව 32:5.

අපි එය නිදසුනක් මගින් පැහැදිලි කරගනිමු. රෝදය ඇද ගැසුණු බයිසිකලයක් ඔබ පැද තිබෙනවාද? ඒ වගේ රෝදයක් තිබෙන බයිසිකලයකින් ආරක්ෂාකාරීව ගමනක් යන්න බැහැ. එවැනි බයිසිකලයක් පැදීමත් අසීරුයි. අපේ පෞද්ගලිකත්වයේ දෝෂ තිබෙන විටත් අපි අද්දකින්නේ එවැනි තත්වයක්. ඇද ගැසුණු රෝදය වගේ අපේ පෞද්ගලිකත්වයත් ඇද වී තිබෙන නිසා අපේ ජීවිත ගමන අසීරු වී තිබෙනවා.

සමහර අවස්ථාවලදී හොඳ දෙයක් කිරීමේදී පවා අන්තයටම යන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඊශ්‍රායෙල්වරුන්ගේ වස්ත්‍රවල වාටියේ විශේෂ පටියක් අල්ලන්න කියා මෝසෙස්ගේ නීතියේ සඳහන් වී තිබුණා. එහෙත් යේසුස්ගේ කාලයේ සිටි පරිසිවරුන් අනිත් අයට වඩා තමන් විශේෂ පිරිසක් කියා පෙන්වීමට ‘තමුන්ගේ වස්ත්‍රවල දාවලු (හෙවත් වාටිය) මහත් කර’ ගත්තා. මෙයින් පෙනී යන්නේ ඔවුන් අනිත් අයට වඩා ධර්මිෂ්ඨ බව පෙන්වීමට ඒ නීතියේ අන්තයටම ගිය බවයි.—මතෙව් 23:5; ගණන් කතාව 15:38-40.

අදත් සමහර අය අන් අයගේ අවධානයට ලක් වීම සඳහා අසාමාන්‍ය දේවල් කරනවා. ඒ දේවලින් ඔවුන් කියා පාන්නේ “මටත් යමක් කරන්න පුළුවන්” කියායි. කෙසේවෙතත් ක්‍රිස්තියානියෙක් තමන් අඳින පළඳින දේවල්, තමන්ගේ ආකල්ප හා ක්‍රියාවන් සම්බන්ධයෙන් අන්තයටම යෑමෙන් කල්පවතින ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.

රැකියාව ගැන සමබරව සිතන්න

අපි කුමන තරාතිරමක සිටියත් යහපත් වැඩවල නිරත වීමෙන් අපේ ජීවිතය අර්ථවත්ව ගත කළ හැකියි. අපිව නිර්මාණය කර තිබෙන්නේ එවැනි වැඩවලින් තෘප්තියක් ලැබීමේ හැකියාව ඇතිවයි. (උත්පත්ති 2:15) අලසකම බයිබලයේ හෙළා දැක තිබෙනවා. “යමෙකු වැඩ කිරීමට අකමැති නම්, ඔහු නොකා සිටීවා!” කියා පාවුල් පැවසුවා. (2 තෙසලෝනික 3:10) අලසකම දුප්පත්කමට හා තෘප්තිය නැති වීමට පමණක් නෙවෙයි, දෙවිගේ අප්‍රසාදයට පවා ලක් වීමට හේතුවක්.

තවත් සමහරුන් ඊට වෙනස් අන්තයකට යමින් රැකියාවට වහල් වී සිටිනවා. රැකියාවට යන්න උදෙන්ම නිවසින් පිටත් වන ඔවුන් ආපසු නිවස බලා එන්නේ හුඟාක් රෑ වෙලයි. මෙයට හේතු දක්වමින් ඔවුන් පවසන්නේ තමන් රැකියාව කරන්නේ පවුලේ අයගේ යහපත සඳහා කියායි. එහෙත් වැඩි කාලයක් රැකියාව සඳහා යෙදවීමෙන් සිදු වන්නේ පවුලේ අය දුක් විඳීමයි. “මගේ මහත්තයා මායි දරුවෝ එක්කයි වැඩිපුර කාලයක් ගත කරනවා නම් මේ ගෙවල් දොරවල් හා සැප සම්පත් නැතත් මට කමක් නැහැ” කියා රැකියාවට වැඩි කාලයක් වැය කරන ස්වාමිපුරුෂයෙකුගේ භාර්යාවක් පැවසුවා. වැඩි කාලයක් රැකියාව සඳහා වැය කරන අය සාලමොන් රජ තමන්ගේ අද්දැකීමෙන් පැවසූ මේ වචන හොඳින් සිතට ගැනීම වැදගත්. “මාගේ අත්වලින් කළ සියලු කර්මාන්තද වෑයමෙන් කළ වැඩද බැලීමි. බලව, සියල්ල නිෂ්ඵලය. හුළඟ ලුහුබැඳ යන්ට උත්සාහ කිරීමක් විය.”—දේශනාකාරයා 2:11.

මෙයින් පෙනී යන්නේ අපි වැඩ කිරීමේදී අසල වීම හෝ වැඩට වහල් වීම යන අන්තයන් දෙකටම යෑම සුදුසු නැති බවයි. අපි වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බව ඇත්තයි. එහෙත් රැකියාවට වහල් වීමෙන් අපේ සතුට නැති වී යා හැකි බවත් මතක තබාගනිමු.—දේශනාකාරයා 4:5, 6.

විනෝද වීමේදී අන්තයටම නොයන්න

මේ කාලයේ ජීවත් වන “මිනිස්සු . . . දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය වන්නෝය” කියා බයිබලයේ කලින්ම පවසා තිබුණා. (2 තිමෝති 3:2, 4) මිනිසුන්ව දෙවිගෙන් ඈත් කරන්න සාතන් යොදාගන්න එක් උපක්‍රමයක් වන්නේ විනෝදාස්වාදය සඳහා බොහෝ දේවල් හඳුන්වාදීමයි. එය හුඟාක් සාර්ථක වී තිබෙනවා. “ත්‍රාසජනක” ක්‍රීඩා වැනි විනෝදාස්වාද අද වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. මෙවැනි ක්‍රීඩා දවසින් දවස වැඩි වන අතර ඒවාට සහභාගී වන අයගේ සංඛ්‍යාවද වැඩි වෙනවා. මේවා ජනප්‍රිය වීමට එක් හේතුවක් වන්නේ බොහෝදෙනෙක් තමන් එදිනෙදා ගත කරන ජීවිතය ගැන තෘප්තිමත් නොවීමයි. වැඩි ආස්වාදයක් ලැබිය හැකි දේවල් කරන්න ඔවුන් කැමතියි. නමුත් එවැනි දේවල නිරත වීම ජීවිතයට පවා අනතුරක්. දෙවිගෙන් ලැබී තිබෙන තෑග්ගක් වන තමන්ගේ ජීවිතය අනතුරේ හෙළෙන ක්‍රීඩාවල සිහි බුද්ධිය ඇතිව ක්‍රියා කරන ක්‍රිස්තියානීන් නිරත වන්නේ නැහැ.—ගීතාවලිය 36:9.

දෙවි මුල් මිනිස් යුවළව මවා ඔවුන්ව තැබුවේ ඒදන්හි උයන කියා හැඳින්වූ උද්‍යානයේයි. (උත්පත්ති 2:8) මුල් භාෂාවට අනුව එහි අර්ථය වන්නේ “ආස්වාදය” හෝ “ප්‍රීතිය” යන්නයි. ඇත්තෙන්ම දෙවිගේ අරමුණ වූයේ මිනිසා ජීවිතය ප්‍රීතියෙන් භුක්ති විඳිනවා දකින්නයි.

විනෝදාස්වාදය සම්බන්ධයෙන් යේසුස් අපිට හොඳ ආදර්ශයක් තැබුවා. ඔහු තම ජීවිතය මුළුමනින්ම කැප කර තිබුණේ දෙවිගේ කැමැත්ත කරන්නයි. ඔහු සුළු මොහොතකටවත් දෙවිගේ නීති හා ප්‍රමිති කඩ කළේ නැහැ. වෙහෙසට පත්ව සිටි අවස්ථාවලදී පවා ඔහු මිනිසුන්ට උපකාර කළා. (මතෙව් 14:13, 14) ඇතැම් අය යේසුස්ට කෑමට ආරාධනා කළ විට යේසුස් ඔවුන්ගේ නිවෙස්වලට ගියා. එමෙන්ම ඔහු විවේක ගැනීමට හා ප්‍රීතියෙන් සිටීමට කාලය වෙන් කළා. තමන් ඒ දේවල් කිරීම ගැන තමන්ගේ සමහර සතුරන් විවේචනය කරන බව යේසුස් දැන සිටියා. “ඔහු කෑදර, වයින් බීමට ලොල් වූ මිනිසෙකි” කියා ඔවුන් යේසුස් ගැන පැවසුවා. (ලූක් 7:34; 10:38; 11:37) එහෙත් දෙවිගේ කැමැත්තට අනුව ජීවත් වෙන පුද්ගලයෙක් කියන්නේ තපස් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් නොවෙයි කියා යේසුස් විශ්වාස කළා.

විනෝදාස්වාදය සම්බන්ධයෙන් අන්තයට යෑම නැණවත් දෙයක් නොවන බව පැහැදිලියි. විනෝද වීමට මුල් තැන දීමෙන් කවදාවත් නියම ප්‍රීතියක් ලැබෙන්නේ නැහැ. දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය ඇතුළු ජීවිතයේ වඩාත්ම වැදගත් දේවල් කෙරෙහි අවධානය අඩු වීම එහි ප්‍රතිඵලය විය හැකියි. එහෙත් අපි විනෝද වීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු නැහැ. එමෙන්ම සමබරව විනෝදාස්වාදවල නියැලෙන අයව විවේචනය කිරීමත් සුදුසු නැහැ.—දේශනාකාරයා 2:24; 3:1-4.

සමබර ජීවිතය සැබෑ සතුටට මඟයි

“අපි සියලුදෙනාම බොහෝ වර වැරදි කරන්නෙමු” කියා යාකොබ් පැවසුවා. (යාකොබ් 3:2) අන්තයටම යෑමෙන් වැළකීමට අපි වෑයම් කළත් ඇතැම් අවස්ථාවලදී අපි අතින් අඩු පාඩු විය හැකියි. සමබර වීමට නම් අපි ගැනම හොඳ අවබෝධයක් අපිට තිබිය යුතුයි. සමහරවිට අපි හැඟීම්වලට බර වී තීරණ ගත හැකියි. මේ නිසා නොදැනුවත්ව වගේ සමහර දේවලදී අන්තයටම යන්න පුළුවන්. ශක්තිමත් ඇදහිල්ලක් තිබෙන ක්‍රිස්තියානින් සමඟ ඇසුරු කිරීමත් හා ඔවුන් සමබර ලෙස දෙන උපදෙස්වලට සවන් දීමත් නැණවත් දෙයක්. (ගලාති 6:1) තවදුරටත් මේ ගැන විශ්වාසවන්ත මිතුරෙකුගෙන් හා අද්දැකීම්ලත් වැඩිමහල්ලෙකුගෙන් විමසිය හැකියි. එවැනි අය බයිබලය මාර්ගයෙන් සපයන උපදෙස් ‘කැඩපතකට’ සමාන කරන්න පුළුවන්. අපි යෙහෝවා දෙවිගේ ඇස් ඉදිරියෙහි කොතෙක් දුරට සමබර පුද්ගලයන්ද කියා දකින්න ඒවා උපකාරවත් වෙනවා.—යාකොබ් 1:22-25.

අපි යම් කාරණා සම්බන්ධයෙන් අන්තයටම ගොස් තිබෙනවා නම් ඒවායින් ජයගන්න අපිට පුළුවන්. ඒ සඳහා අපි අධිෂ්ඨානපූර්වකව වෑයම් කරනවා නම් යෙහෝවා දෙවි අපිට ආශීර්වාද කරන බව නිසැකයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට සමබර පුද්ගලයෙක් වශයෙන් ජීවිතයේ සැබෑ සතුට භුක්ති විඳින්න අපිට හැකි වෙනවා. එමෙන්ම සෙසු සහෝදර සහෝදරියන් සමඟ හොඳ ඇසුරක් භුක්ති විඳිය හැකියි. ඒ විතරක් නොවෙයි, අපි දේශනා කරන අයට හොඳ ආදර්ශයක් වෙන්නත් අපිට පුළුවන්. මේ හැම දේටම වඩා සැමවිටම සමබර මෙන්ම ප්‍රේමණීය ලෙස කටයුතු කරන අපේ දෙවි වන යෙහෝවා දෙවිව කිට්ටුවෙන් අනුකරණය කරන්නත් අපිට හැකියි.—එෆීස 5:1.

[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

©Greg Epperson/​age fotostock