Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිව ප්‍රශංසාවට පත් කරන වැඩක්

යෙහෝවා දෙවිව ප්‍රශංසාවට පත් කරන වැඩක්

යෙහෝවා දෙවිව ප්‍රශංසාවට පත් කරන වැඩක්

“මට නම් මේක අදහාගන්නවත් බැහැ. යෙහෝවා දෙවිට නමස්කාර කරන්න මෙච්චර ලස්සන තැනක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. කීයක් දුන්නත් මේ වගේ සතුටක් නම් ලැබෙන්නේ නැහැ.”—මෙක්සිකෝවේ මරීයා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එකට එකතු වෙලා දෙවිගේ වචනය වන බයිබලය අධ්‍යයනය කරන්න දක්වන්නේ දැඩි ආශාවක්. (ගීතාවලිය 27:4; හෙබ්‍රෙව් 10:23-25) ඒ සඳහා සුදුසු ස්ථානයක් තියෙනවා නම් ඔවුන් හුඟක් කැමතියි. පහුගිය වසර කීපය තුළ ලොව පුරා රාජ්‍ය ශාලා ලෙස හඳුන්වන දෙවිට නමස්කාර කරන ස්ථාන දහස් ගණනක් ඉදි කරන්න ඔවුන්ට හැකි වී තිබෙනවා.

මේ රාජ්‍ය ශාලා ඉදි කිරීමේ අරමුණ කුමක්ද? ඒවා ඉදි කරන්නේ කවුද? මේ වැඩයෙහි නිරත වන අයට ලැබෙන ප්‍රයෝජන මොනවාද? මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට මෙක්සිකෝව සහ බෙලිස් යන රටවල සිදු වන දේ ගැන අපි බලමු.

විශාල අවශ්‍යතාවක්!

මෙක්සිකෝවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කලින් රැස්වීම් පැවැත්තුවේ සාක්ෂිකරුවන්ගේ නිවෙස්වල, ගෙවතුවල, ගබඩා කාමරවල, ගරාජ්වල හෝ කුළියට ගත් ශාලාවලයි. ඒ දවස්වල අපිටම කියලා රාජ්‍ය ශාලාවක් තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා ඔවුන් හිතුවා.

වර්ෂ 1994 වෙද්දී මෙක්සිකෝවේ සාක්ෂිකරුවන් 3,88,000ක් සිටියා. ඒ වසරේදී කළ එක් ගණන් බැලීමකට අනුව ඔවුන් සියලුදෙනාටම රාජ්‍ය ශාලාවල එක් රැස්වීමට නම් අලුත් රාජ්‍ය ශාලා 3,300ක් ඉදි කළ යුතු බව පෙනී ගියා. එය මොන තරම් විශාල වැඩක්ද!

ඒ වන විටත් නොයෙක් සාක්ෂිකරුවන් තමන්ට පුළුවන් විදිහට තමන්ගේ ප්‍රදේශයේම රාජ්‍ය ශාලා ඉදි කරමින් සිටියා. නමුත් ඊළඟ වසර පහ තුළ සිදු වූ සාක්ෂිකරුවන්ගේ වර්ධනයත් සමඟම තවත් රාජ්‍ය ශාලා කඩිනමින් ඉදි කිරීමේ අවශ්‍යතාව පැන නැඟුණා. මෙම අවශ්‍යතාව ඔවුන් සපුරාගත්තේ කෙසේද?

කඩිසර ස්වේච්ඡා සේවකයන්

වර්ෂ 1999දී රාජ්‍ය ශාලා ඉදි කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබුවා. ඒ සඳහා මෙක්සිකෝවේ සිටි ඉදි කිරීමේ දක්ෂතා තිබූ සාක්ෂිකරුවන් රාජ්‍ය ශාලා ඉදි කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. දැන් මෙක්සිකෝව පුරා රාජ්‍ය ශාලා ඉදි කිරීමේ කණ්ඩායම් 35ක් පිහිටුවා තිබෙන අතර බෙලිස්වලත් එවැනි කණ්ඩායමක් සිටිනවා.

මෙවැනි කණ්ඩායමක සාමාන්‍යයෙන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම සාමාජිකයන් අටක් පමණ සිටිනවා. ඔවුන් පූර්ණකාලීනව වැඩ කළත් ඒ සඳහා ඔවුන්ට වැටුපක් ගෙවන්නේ නැහැ. ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පෙරමුණ ගන්නා මේ කණ්ඩායම් සේවය කරන්න ප්‍රදේශයෙන් ප්‍රදේශයට යන්නේ ඉමහත් සතුටකින්. මොවුන් සඳුදා සිට සිකුරාදා දක්වාත්, සෙනසුරාදාවක් හැර සෙනසුරාදාවකුත් දිනකට පැය අට බැගින් සේවයේ නියැලෙනවා. පෙරවරු 7.00ට බයිබල් පදයක් සාකච්ඡා කර උදේ ආහාරය ගැනීමෙන් පසු ඔවුන් තම දෛනික වැඩ කටයුතු ආරම්භ කරමින් තමන්ට ලැබෙන ඕනෑම කාර්යයක් කරන්නේ සතුටින්. පුරුෂයන් හා සමානව කාන්තාවන්ද බිත්ති කපරාරු කිරීම, ටයිල් ඇල්ලීම සහ තීන්ත ගෑම වැනි කාර්යයන්වල කඩිසරව නියැලෙනවා.

රාජ්‍ය ශාලාව ඉදි කරන ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවන් ඉදි කිරීමේ කණ්ඩායමට අවශ්‍ය නවාතැන් පහසුකම්, කෑම බීම සැපයීමෙන් හා ඔවුන්ගේ රෙදි සෝදා දීමෙන් හැකි උපරිමයෙන් සහයෝගය දක්වනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් සමඟ එකතු වී ඉදි කිරීමේ කාර්යයේ හවුල් වීමෙන්ද සතුටක් ලබනවා. ඊට අමතරව රැස්වීම්වලදී හා දේශනා සේවයේ එකට හවුල් වීමෙනුත් දෙගොල්ලන්ම ලබන්නේ මහත් ප්‍රීතියක්.

ස්වේච්ඡා සේවකයන් ලබන ආශීර්වාද

මේ කාර්යයේ නියැලීම ගැන ස්වේච්ඡා සේවකයන්ට හැඟෙන්නේ කෙසේද? වසර තුනකට වඩා වැඩි කාලයක් ඉදි කිරීමේ වැඩවල නියැලුණු ඩැනියෙල් මෙසේ පවසනවා. “අපිට රස්නේවත් සීතලවත් බලන්නේ නැතුව වැඩ කරන්න වෙනවා. පුරුදු නැති කෑම කන්නත් වෙනවා. පවුලේ අයගෙන් වෙන් වෙලා දුර තැන්වලට යන්නත් වෙනවා. ගොඩක් නවීන පහසුකමුත් නැහැ. ඒත් අපිට ලැබෙන ආශීර්වාද එක්ක බලද්දී ඒවා ඇත්තටම ප්‍රශ්න නෙවෙයි.”

ඒ ආශීර්වාද මොනවාද? බොහෝ ස්වේච්ඡා සේවකයන්ට එකිනෙකාගෙන් ඉදි කිරීමේ අලුත් ශිල්ප ක්‍රම ඉගෙනගන්න අවස්ථාව ලැබෙනවා. විශාල කණ්ඩායමක් අධීක්ෂණය කරමින් සිටින කාලෝස් තමා ලැබූ ලොකුම ආශීර්වාදය ගැන මෙසේ පවසනවා. “අපි 20දෙනා හරියට එක පවුලක් වගේ. අපි කන්නෙත්, වැඩ කරන්නෙත්, බයිබලය අධ්‍යයනය කරන්නෙත්, යාච්ඤා කරන්නෙත් එකට. ඒ නිසා අපි අතරේ තියෙන්නේ පුදුමාකාර බැඳීමක්.”

එමෙන්ම ඔවුන් තමන්ට උපකාර කරන සභාවල සිටින අය සමඟත් කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නවා. මෙවැනි ව්‍යාපෘති 100කට වඩා වැඩි සංඛ්‍යාවක ඉදි කිරීමේ කටයුතුවල නියැලුණු හෝසේ මෙසේ පවසනවා. “අපි රාජ්‍ය ශාලා හදලා දුන්නට පස්සේ තමන්ගේ සිහිනය සැබෑ වෙනවා දකින ඒ සභාවල සිටින සාක්ෂිකරුවන් තමන්ගේ අගය පළ කරන්නේ හද පිරි සතුටෙන්. රාජ්‍ය ශාලාවක් සෑදීමට අපි සුළු වශයෙන් හෝ දායක වීමෙන් අනිත් අයගේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා දැකීම අපිට ලොකු ප්‍රීතියක්.”

විශාල වැඩ කොටසක නිමාවක්!

මෙම රාජ්‍ය ශාලා ඉදි කරන්නේ අන් අයගේ අවධානය ඇදගන්නා ආකාරයෙන්වත් කැපී පෙනෙන ලෙසවත් නොව ඉතා සරලවයි. ඒ නිසයි අඩු වියදමකින් ඉක්මනින්ම එම ශාලා ඉදි කිරීමට පුළුවන් වී තිබෙන්නේ. ඒවා ඉදි කිරීමට හැකි සෑම අවස්ථාවකදීම දේශීය අමුද්‍රව්‍යය හා ශිල්ප ක්‍රම යොදාගන්නවා. මේ ආකාරයට සති හයක් වැනි කෙටි කාලයකින් අලුත් ශාලාවක් ඉදි කළ හැකියි.

වර්ෂ 2007 වන විට බෙලිස්හි අලුත් රාජ්‍ය ශාලා 17ක් ඉදි කර තිබූ අතර 1999 සිට මේ වන තෙක් මෙක්සිකෝවල ශාලා 1,400කට වඩා ඉදි කර තිබෙනවා.

සෑහෙන ප්‍රමාණයක් ඉදි කර තිබුණත් තවත් රාජ්‍ය ශාලා අවශ්‍යයි. (මතෙව් 9:37) මෙක්සිකෝවේ සාක්ෂිකරුවන්ගේ ගණන 6,00,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඔවුන් දෙවිගේ වචනය ඉගෙනගැනීම සඳහා සතියකට තුන් වරක් රැස් වෙනවා. එමනිසා තවත් රාජ්‍ය ශාලා 2,000ක් පමණ අවශ්‍යයි. මේ කාර්යය කරන්නේ ඉදි කරන්නන්ගේ හැකියාවෙන් පමණක් නම් මෙතරම් දෙයක් කිරීමට හැකි වෙන්නේ නැහැ. නමුත් එසේ කිරීමට හැකි වී තිබෙන්නේ යෙහෝවා දෙවිගේ උපකාරයෙන් “සියල්ල කළ හැකි” නිසයි.—මතෙව් 19:26.

[22වන පිටුවේ කොටුව/පින්තූරය]

“කියන දේ කරන සෙනඟක්”

රාජ්‍ය ශාලා ඉදි කිරීමේ කාර්යයෙන් ප්‍රයෝජන ලබන්නේ එම ශාලාවේ රැස් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පමණක් නෙවෙයි. උදාහරණයකට බෙලීස්වල රාජ්‍ය ශාලාවක් ගොඩනඟනවා දුටු එක් පුද්ගලයෙක් පෙන්තකොස්ත ආගමේ සිටි තම බිරිඳට පැවසුවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගොඩනැඟිල්ල හදලා ඉවර වුණාට පස්සේ ඔහුත් රැස්වීම්වලට සහභාගි වෙන බවයි. ඔහුට එසේ හැඟුණේ ඇයි? එයට හේතුව ඔහුම මෙසේ පැහැදිලි කළා. “ඒ අය එක්ක දෙවි ඉන්නවා කියලා මට තේරෙනවා. ඒගොල්ලන් එකට වැඩ කරද්දී රණ්ඩු වෙන්නේ නැහැ. කියන දේ කරන සෙනඟක්.”

[පින්තූරය]

බෙලිස්හි ඔරෙන්ජ් වෝක්හි රාජ්‍ය ශාලාව

[23වන පිටුවේ කොටුව/පින්තූර]

ලොව පුරා දරන වෙහෙසක්

රටවල් 120ක රාජ්‍ය ශාලා ඉදි කිරීමේ කණ්ඩායම් සංවිධානය කර තිබෙනවා. ස්වේච්ඡා සේවකයින් ඉතාමත් සතුටින් මෙම කාර්යයෙහි නියැලෙන රටවල් අතුරින් කිහිපයක් පහත දැක්වෙනවා.

ඇංගෝලාව, ඉතියෝපියාව, ඉන්දියාව, කසක්ස්තානය, ක්‍රොඒෂියාව, ඝානාව, ජැමෙයිකාව, ටුවාලු, ඩොමිනිකන් ජනරජය, නයිජීරියාව, පැපුවා නිව්ගිනියාව, බොලීවියාව, මෝල්දාවියාව, යුක්රේනය, රුවන්ඩාව, ලයිබීරියාව, වෙනිසියුලාව, සැම්බියාව, හොංකොං, ෆිජි,

[පින්තූර]

මෙක්සිකෝවේ ට්ලාස්කාලාහි රාජ්‍ය ශාලාව

මෙක්සිකෝවේ රාජ්‍ය ශාලා ඉදි කිරීමේ කණ්ඩායමේ සාමාජිකයන්

[23වන පිටුවේ පින්තූරය]

මෙක්සිකෝවේ අකාපුල්කෝහි රාජ්‍ය ශාලාව