Skip to content

පටුනට යන්න

ගැලවීමට මඟ කුමක්ද?

ගැලවීමට මඟ කුමක්ද?

ගැලවීමට මඟ කුමක්ද?

බොහෝ ක්‍රිස්තියානීන් විශ්වාස කරන්නේ තමන් ‘අලුත් උපතක්’ ලබා ඇති බවයි. අලුත් උපතක් ලැබීම සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීමේ ලකුණක් මෙන්ම ගැලවීමට මඟ කියාත් ඔවුන් විශ්වාස කරනවා. ක්‍රිස්තියානි ධර්මය උගන්වන කෙනෙක් ඒ ගැන පැවසුවේ ‘යමෙක් අලුත් උපතක් නොලැබුවොත් ඔහු ක්‍රිස්තියානියෙකු නොවෙයි’ කියායි.

සමහරවිට ඔබත් ඒ ගැන කල්පනා කර ඇති. අලුත් උපතක් ලැබීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එය ගැලවීම ලැබීමට සමානද? අලුත් උපතක් නොලැබූ කෙනෙකුට ගැලවීම ලැබෙන්නේ නැද්ද? දැන් අපි අලුත් උපතක් ලැබූ කෙනෙක්යයි බොහෝදෙනා හඳුන්වන්නේ කාටද කියා බලමු.

‘අලුත් උපතක්’ ලැබූ කෙනෙක් කියා බොහෝදෙනෙක් හඳුන්වන්නේ “දෙවිගේ ශුද්ධාත්මය මාර්ගයෙන් විශේෂ පණිවිඩයක් ලැබුණු අයටයි. බොහෝවිට එවැනි දෙයක් අද්දකින්නේ ක්‍රිස්තියානි අයයි. එම සිද්ධියෙන් පසු ඒ පුද්ගලයන් තම ජීවිතය ගත කරන්නේ දෙවි වෙනුවෙන්මයි” කියා එක්ශබ්දකෝෂයක සඳහන් වෙනවා. එමෙන්ම ඔවුන් විශ්වාස කරන්නේ දැනටමත් ඔවුන් ගැලවී සිටිනවා කියායි.—Merriam-Webster’s Collegiate Dictionary—Eleventh Edition

නමුත් අලුත් උපතක් ලැබීම ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද කියා දැනගැනීමට ඔබ කැමතිද? මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීම ඔබ ජීවත් වන ආකාරය කෙරෙහිත් ඔබේ අනාගත බලාපොරොත්තු කෙරෙහිත් බලපානවා. එමනිසා ඒ ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද කියා සොයා බැලීම ඉතාම වැදගත්.

බයිබලයේ පවසන්නේ කුමක්ද?

‘අලුත් උපතක්’ ගැන යේසුස් හා යෙරුසලමේ සිටි යුදෙව් ආගමික නායකයෙක් අතර සිදු වූ සාකච්ඡාව ගැන යොහන් 3:1-12 දක්වා වාර්තා වෙනවා. එම සම්පූර්ණ වාර්තාව මෙහි තිබෙන කොටුවේ සඳහන් වෙනවා. එය කියවන්න කියා අප ඔබට දිරිගන්වන්න කැමතියි.

‘අලුත් උපත’ සිදු වන ආකාරය යේසුස් එම වාර්තාවෙහි පැහැදිලි කළා. ඔහු එම ආගමික නායකයා සමඟ කළ සාකච්ඡාව පහත සඳහන් වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සපයාගැනීම සඳහා අපට උපකාරයක් වෙනවා.

අලුත් උපතක් ලැබීම කොතරම් වැදගත්ද?

අලුත් උපතක් ලැබීමට තීරණය කරන්නේ එක් එක් පුද්ගලයාද?

අලුත් උපතක් ලැබීමේ අරමුණ කුමක්ද?

එය සිදු වන්නේ කෙසේද?

එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයා අද්දකින වෙනස කුමක්ද?

අප දැන් මෙම ප්‍රශ්න එකින් එක සලකා බලමු.

[4වන පිටුවේ කොටුව/පින්තූරය]

‘කෙනෙක් අලුත් උපතක් ලැබිය යුතුයි’

“එකල, පරිසිවරයෙකු මෙන්ම යුදෙව්වරුන්ගේ පාලකයෙකු වූ නිකදේමස් නම් මිනිසෙක් සිටියේය. මොහු රාත්‍රියේ ඔහුව හමුවීමට ඇවිත්, “රබ්බි, ඔබ දෙවි වෙතින් පැමිණි ගුරුවරයෙකු බව අපි දනිමු. මන්ද, තමන් සමඟ දෙවි නැතිනම්, ඔහුට ඔබ කරන මේ ලකුණු සිදු කිරීමට නොහැකිය” යි ඔහුට කීවේය. යේසුස් පිළිතුරු දෙමින්, “යමෙකු නැවත ඉපදෙන්නේ [අලුත් උපතක් ලබන්නේ] නැතිනම්, ඔහුට දෙවිගේ රාජ්‍යය දැකගත නොහැකියයි සැබවින්ම මම ඔබට කියමි” යයි ඔහුට පැවසීය. නිකදේමස් ඔහු අමතා, “මිනිසෙකු මහලුව සිටියදී ඔහුට උපදින්න පුළුවන් කොහොමද? ඔහුට දෙවන වරටත් මව් කුසට ඇතුල් වී උපදින්න පුළුවන්ද?” කියා ඇසීය. යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය: “සැබවින්ම මම ඔබට කියමි, යමෙකු වතුරෙන් සහ ආත්මයෙන් ඉපදුණේ නැතිනම්, ඔහුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් විය නොහැක. මාංසයෙන් ඉපදුණු දේ මාංසිකය. ආත්මයෙන් ඉපදුණු දේ ආත්මිකය. ඔබ සැමෝම නැවත උපදින්න ඕනෑයයි [අලුත් උපතක් ලැබිය යුතුයි කියා] මා ඔබට පැවසීම ගැන පුදුම නොවන්න. සුළඟ කැමති කැමති තැනට හමයි. එහි ශබ්දයද ඔබට ඇසෙයි. නමුත් එය කොතැනින් එනවාද කියාවත් කොතැනට යනවාද කියාවත් ඔබ දන්නේ නැත. ආත්මයෙන් ඉපදුණු සියල්ලන්ද එසේමය.” නිකදේමස් පිළිතුරු දෙමින්, “මේ දේවල් සිදු වෙන්න පුළුවන් කොහොමද?” කියා ඔහුගෙන් ඇසීය. යේසුස් ඔහු අමතා මෙසේ පිළිතුරු දුන්නේය: “ඔබ ඊශ්‍රායෙලයෙහි ගුරුවරයෙකුව සිටියදීත්, මේ දේවල් දන්නේ නැද්ද? සැබවින්ම මම ඔබට කියමි, අපි දන්නා දේ කියන්නෙමු. අපි දුටු දේ ගැන සාක්ෂි දරන්නෙමු. නමුත් ඔබ අප දෙන සාක්ෂිය පිළිගන්නේ නැත. මා ඔබට පොළොවේ දේවල් ගැන කී විට විශ්වාස කරන්නේ නැත්නම්, මා ඔබට ස්වර්ගයේ දේවල් ගැන කීවොත් ඔබ විශ්වාස කරන්නේ කොහොමද?”—යොහන් 3:1-12.