Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්!

ජීවිත වෙනස් කළ පොතක්!

ජීවිත වෙනස් කළ පොතක්!

දුම්පානයට සහ මරිජුවානාවලට ඇබ්බැහි වූ කෙනෙක් ඉන් මිදුනේ කෙසේද? මැර කල්ලියක සාමාජිකයෙකුට ඔහුගේ ජීවිතය වෙනස් කරගැනීමටත් සියලුදෙනාටම එක හා සමානව සැලකීමටත් උපකාරවත් වුණේ කුමක්ද? ඒ සම්බන්ධයෙන් ඔවුන් පැවසූ දේවල් සලකා බලමු.

තොරතුරු

නම: හෙයින්රික් මාර්

වයස: 38

රට: කසක්ස්තානය

අතීතයේදී: දුම්පානයට සහ මරිජුවානාවලට ඇබ්බැහි වූ කෙනෙක්

මගේ අතීතය: මම ඉපදුණේ කසක්ස්ථානයේ ටෂ්කන්ට් කියන නගරයේ ඉඳලා කිලෝමීටර් 120ක් විතර දුරින් පිහිටි නගරයකයි. ගිම්හානයේදී ඒ පළාතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක් දක්වා ඉහළ නඟිනවා. ඒත් ශීත ඍතුවේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 10ක් දක්වා පහළ බහිනවා. මේ දේශගුණය මිදි වගාවට වගේම මරිජුවානා වගාවටත් හරිම හිතකරයි.

මගේ දෙමව්පියන් ජර්මානු ජාතිකයන්. ඒ දෙන්නා ක්‍රිස්තියානි ආගමට අයිති වුණත් ආගමේ වත්පිළිවෙත් අනුව ජීවත් වුණේ නැහැ. කොහොමවුණත් පරමණ්ඩල යාච්ඤාව කටපාඩමින් කියන්න ඔවුන් මාව පුහුණු කළා. මට වයස අවුරුදු 14දී මගේ අම්මයි අක්කයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. දවසක් ඒ සාක්ෂිකරුවන් දෙවිගේ නම යෙහෝවා කියලා මගේ අම්මගේ බයිබලයෙන්ම පෙන්නලා දුන්නා. ඒක ඇහුණාම මට පුදුම හිතුණා. හැබැයි කාලයක් ගියාට පස්සේ අම්මා බයිබලය පාඩම් කරන එක නතර කළා. ඒ නිසා මට දෙවි ගැන ඉගෙනගන්න ලැබුණේ නැහැ. දවසක් පාසැලේදී අපේ ගුරුතුමිය සාක්ෂිකරුවන් ගැන බොරු තොරතුරු වගයක් කිව්වා. ඒ වෙනකොට මායි අක්කයි සාක්ෂිකරුවන් පැවැත්වූ රැස්වීම් කිහිපයකට ගිහින් තිබුණු නිසා මම ගුරුතුමියට කිව්වා ඒ තොරතුරු බොරු කියලා.

මට වයස අවුරුදු 15දී වෘත්තිය පුහුණුවක් ලබාගන්න මම රුසියාවට ගියා. මම යෙහෝවා දෙවි ගැන ඉගෙනගත්ත දේවල් එහේ හිටිය යාළුවන්ට කිව්වා. කොහොමවුණත් එහේදි මම දුම්පානයට පුරුදු වුණා. කසක්ස්තානයේ හිටිය අපේ ගෙදර අයව බලන්න යන අවස්ථාවලදී මට ලෙහෙසියෙන්ම මරිජුවානා ගන්න පුළුවන් වුණා. ඒක නීති විරෝධී වුණත් මම එහෙම කළා. ඒ වගේම මම හුඟක් වොඩ්කා සහ වයිනුත් පානය කළා.

මගේ වෘත්තිය පුහුණුව අවසන් කළාට පස්සේ මම අවුරුදු දෙකකට සෝවියට් හමුදාවට බැඳුණා. ඒ වෙනකොටත් මම බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් මට අමතක වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අවස්ථාවක් ලැබුණු හැටියෙම අනික් සොල්දාදුවන්ට මම යෙහෝවා දෙවි ගැන කියලා දුන්නා. ඒ වගේම සාක්ෂිකරුවන් ගැන බොරු කටකතා පැතිරෙද්දී මම සාක්ෂිකරුවන් වෙනුවෙන් කතා කළා.

හමුදා පුහුණුවෙන් පස්සේ මම ජර්මනියට ගියා. එහේදි සාක්ෂිකරුවන්ගේ පොතක් මට ලැබුණා. මම හරිම ආසාවෙන් ඒ පොත කියවද්දී මට තේරුණා ඒකේ තිබුණු තොරතුරු ඇත්ත කියලා. කොහොමවුණත් දුම්පානය සහ මරිජුවානා ගන්න එක නතර කරන්න මට පුළුවන් වුණේ නැහැ. ටික කාලෙකට පස්සේ මම ජර්මනියේ කාල්ස්රුහි කියන නගරයට මාරු වුණා. එහෙදී මට සාක්ෂිකරුවෙකුව මුණගැහුණු නිසා ඔහු එක්ක බයිබලය පාඩම් කරන්න අවස්ථාව ලැබුණා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: බයිබලයේ තියෙන්නේ දෙවිගේ අදහස් කියලා මම දැනගෙන හිටියා. සාක්ෂිකරුවන්ගෙන් මට ලැබුණු පොත කියෙව්වාට පස්සේ ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු බයිබලයේ සඳහන් වෙලා තියෙනවා කියලා මට තේරුණා. ඒ වුණත් මගේ නරක පුරුදුවලින් ගොඩ එන එක ලෙහෙසි වුණේ නැහැ. බයිබලයේ 2 කොරින්ති 7:1හි සඳහන් වෙන විදිහට “මාංසය සහ ආත්මය [මනස] දූෂ්‍ය කරවන සෑම දෙයකින්ම” පවිත්‍ර වෙන්න නම් මම දුම්පානය සහ මරිජුවානා භාවිතය නතර කරන්න ඕනේ කියලා මට තේරුණා.

ටික කාලෙකට පස්සේ මරිජුවානා ගන්න එක මම නතර කළා. ඒත් දුම්පානය අත්හරින්න මාස හයක් විතර ගත වුණා. දවසක් මට බයිබලය ගැන ඉගැන්වුව සාක්ෂිකරුවා මගෙන් මෙහෙම ඇහුවා. “ඔයා ගත කරන ජීවිතයේ තේරුම මොකද්ද?” ඒ ප්‍රශ්නේ මගෙන් ඇහුවම මම දුම්පානයට කොච්චර ඇබ්බැහි වෙලාද කියලා මට තේරුණා. ඒ නරක පුරුද්දෙන් මිදෙන්න මම කිහිප සැරයක්ම උත්සාහ කළත් ඒක සාර්ථක වුණේ නැහැ. ඒ නිසා දුම්පානය කරලා දෙවිගෙන් සමාව ඉල්ලනවා වෙනුවට දුම්පානය කරන්න හිතෙන වෙලාවෙම ඒක නොබී ඉන්න දෙවිගෙන් උදව් ඉල්ලනවා කියලා මම හිතුවා. වර්ෂ 1993 එක දවසක ආයෙත් කවදාවත් මම දුම්පානය කරන්නේ නැහැ කියලා තීරණය කළා. එදා ඉඳලා අද වෙනකල් මම දුම්පානය කළේ නැහැ. මට එහෙම කරන්න පුළුවන් වුණේ යෙහෝවා දෙවිගේ උපකාරය නිසයි.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: දැන් මම මරිජුවානාවලටයි දුම්වැටිවලටයි සල්ලි නාස්ති කරන්නේ නැහැ. ඒ නිසා මගේ ශරීර සෞඛ්‍ය හොඳ අතට හැරිලා තියෙනවා. දැන් මම ජර්මනියේ පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරනවා. ඒ වගේම මගේ ජීවිතයට අරමුණක් තියෙනවා. බයිබලයේ ඇති ප්‍රතිපත්ති මගේ ජීවිතයට අදාළ කරගැනීමට ලැබුණු එක ගැන මට හුඟක් සතුටුයි.

තොරතුරු

නම: ටයිටස් ෂාන්ගාඩී

වයස: 43

රට: නැමීබියාව

අතීතයේදී: මැර කල්ලියක සාමාජිකයෙක්

මගේ අතීතය: මම හැදී වැඩුණේ නැමීබියාවේ උතුරු පැත්තට වෙන්න තියෙන පිටිසර ගමක. අසූව දශකයේ තිබුණු යුද්ධය නිසා අපේ ගමේ හුඟක් අය පහර දීම්වලට ලක් වුණා. සමහර අයව මරලා දැම්මා. අපේ ගමේ අය හිතුවේ නියම පිරිමියෙක් වෙන්න නම් හොඳට ගහගන්න පුළුවන් වෙන්න ඕනේ කියලයි. ඒ නිසා මාත් හොඳට ගහගන්න පුරුදු වුණා.

පාසැල් අධ්‍යාපනයෙන් පස්සේ මම අපේ මාමාගේ ගෙදර පදිංචියට ගියා. එහේ ගිහින් වැඩි කාලයක් යන්න කලින් මම මැර කල්ලියකට සම්බන්ධ වුණා. රණ්ඩුවක් පටන්ගන්න ඕනේ කියලා හිතුණාම කලු ජාතිකයන්ට තහනම් කරලා තිබුණු හෝටල්වලටයි තැබෑරුම්වලටයි අපි යනවා. ඒ වගේ අවස්ථා කිහිපයකදීම අපි ආරක්ෂක භටයන් එක්කත් පොලිස් නිලධාරීන් එක්කත් රණ්ඩු කරගෙන තියෙනවා. මම හැමදාම රෑට නිදාගත්තේ දිග පිහියක් ළඟ තියාගෙන.

එක දවසක් රෑ මැර කල්ලියක් එක්ක රණ්ඩු කරනකොට ඒ කල්ලියේ කෙනෙක් පිටිපස්සෙන් ඇවිල්ලා මගේ ඔළුවට ගහන්න හැදුවා. හැබැයි ඒ වෙලාවේ අපේ කල්ලියේ කෙනෙක් ඇවිත් එයාට ගැහුවේ නැත්නම් මම අද ජීවතුන් අතර නැහැ. එහෙම වෙලත් මම පාඩමක් ඉගෙනගත්තේ නැහැ. මාත් එක්ක කවුරු හරි වාද කළොත් ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා මම බලන්නේ නැහැ ගහනවා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: දවසක් මට සාක්ෂිකාරියක්ව මුණගැහුණා. බයිබලයේ ගීතාවලිය 37වන පරිච්ඡේදයේ සඳහන් වෙලා තිබුණු ප්‍රීතිමත් පොරොන්දු කිහිපයක් එයා මට පෙන්වුවා. ඊට පස්සේ ඒ වගේ තවත් ප්‍රීතිමත් පොරොන්දු බයිබලයේ එළිදරව් පොතේ තියෙනවා කියලත් එයා කිව්වා. හැබැයි ඒ මොන පරිච්ඡේදයේද කියලා එයා මට කිව්වේ නැහැ. ඒ නිසා එදාම මම බයිබලයක් හොයාගෙන මුළු එළිදරව් පොතම කියෙව්වා. එළිදරව් 21:3, 4හි සඳහන් වෙලා තිබුණු “මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය” කියන පොරොන්දුව ගැන මම හුඟක් සතුටු වුණා. ඒ නිසා ඊළඟ වතාවේ ඒ සාක්ෂිකාරිය ආවාම බයිබලය ගැන ඉගෙනගන්න මම කැමති වුණා.

මගේ සිතුවිලි සහ ක්‍රියාවන් වෙනස් කරගන්න එක මට ලොකු අභියෝගයක් වුණා. ඒත් බයිබලයේ ක්‍රියා 10:34, 35හි සඳහන් ආකාරයට “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බවත්” “සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නා” බවත් මම තේරුම්ගත්තා. ඒ වගේම බයිබලයේ රෝම 12:18හි සඳහන් උපදෙසට අනුව “හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න” මම උපරිමයෙන් උත්සාහ කළා.

කේන්තිය පාලනය කරගන්නවාට අමතරව දුම්පානය නතර කරන්නත් මට ඕනේ වුණා. ඒ දේ කරන්න මට උදව් කරන්න කියලා මම හැඬූ කඳුලින් යෙහෝවා දෙවිට යාච්ඤා කළා. දුම්වැටියක් පානය කරන හැම වෙලාවකම මම හිතුවා මේක තමයි මගේ “අන්තිම” දුම්වැටිය කියලා. ඒත් ඒක එහෙම වුණේ නැහැ. හැබැයි මට බයිබලය ගැන කියලා දුන්න සාක්ෂිකාරිය ඊට වඩා වෙනස් ක්‍රමයක් මට කියලා දුන්නා. එයා කිව්වා දුම්වැටියක් බොන්න හිතෙනකොටම ඒක නොබී ඉන්න උපකාර ඉල්ලලා දෙවිට යාච්ඤා කරන්න කියලා. ඒ වගේම දුම්පානය කරන අයගේ ඇසුරෙන් මිදෙන්නත් මට ඕනේ වුණා. දුම්පානය කිරීම කොතරම් භයානකද කියලා මම රැකියා ස්ථානයේ අයටත් පැහැදිලි කළා. එදායින් පස්සේ රැකියා ස්ථානයේ කිසිම කෙනෙක් මට දුම්වැටි දුන්නේ නැහැ.

අවසානයේදී මට දුම්පානයෙන් මිදිලා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුළුවන් වුණා. මාස හයක් පුරා බයිබලයේ තිබෙන ප්‍රතිපත්ති ඉගෙනගෙන ඒවා මගේ ජීවිතයට අදාළ කරගත්ත නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ලෙස බව්තීස්ම වෙන්න මට අවස්ථාව ලැබුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: ජාතිභේද සහ වර්ණ භේද නැතුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එකිනෙකාට ප්‍රේම කරන විදිහ දැක්කම ඔවුන් අදහන්නේ සැබෑ ආගම කියලා මට තේරුණා. මම සාක්ෂිකරුවෙක් ලෙස බව්තීස්ම වෙන්නත් කලින් එක් සුදු ජාතික සාක්ෂිකරුවෙක් මාව එයාගේ ගෙදර කෑමකට ආරාධනා කළා. මට ඒක අදහාගන්නත් බැරි වුණා. මම කවදාවත් සුදු ජාතිකයෙකුව එච්චර කිට්ටුවෙන් ආශ්‍රය කරලා නැහැ. මම දැන් ලෝක ව්‍යාප්ත සහෝදර කැලක සාමාජිකයෙක්.

අතීතයේදී ආරක්ෂක භටයන් සහ පොලිස් නිලධාරීන් මගේ දාමරික ජීවිතය වෙනස් කරන්න උත්සාහ කළත් ඒක කරන්න ඔවුන්ට බැරි වුණා. ඒත් බයිබලයට පුළුවන් වුණා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න. ඒ නිසා මම දැන් ජීවත් වෙන්නේ හරිම සතුටින්.

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මට උදව් කරන්න කියලා මම හැඬූ කඳුලින් යෙහෝවා දෙවිට යාච්ඤා කළා”