Skip to content

පටුනට යන්න

ඔබ හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාව ඉගෙනගත යුතුද?

ඔබ හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාව ඉගෙනගත යුතුද?

ඔබ හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාව ඉගෙනගත යුතුද?

ශුද්ධ බයිබලය ලිවීම සඳහා ප්‍රධාන වශයෙන් යොදාගනු ලැබුවේ හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාවයි. * එය ලියූ අයට දෙවි තම බලය මාර්ගයෙන් ඔවුන් ලිවිය යුත්තේ කුමක්ද කියා පෙන්වා දුන්නා. (2 සාමුවෙල් 23:2) එමනිසා බයිබලයේ තිබෙන වදන් සියල්ලක්ම දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියනු ලැබුවා කියා පැවසිය හැකියි.—2 තිමෝති 3:16, 17.

අද දින බයිබලය කියවන බොහෝදෙනෙක් හෙබ්‍රෙව් හෝ ග්‍රීක භාෂාව දන්නේ නැහැ. ඒ නිසා බයිබලයේ තිබෙන දේවල් දැනගැනීමට ඔවුන්ට තමන්ගේම භාෂාවට පරිවර්තනය කර තිබෙන බයිබලයක් කියවීමට සිදු වෙනවා. ඒ නිසා කෙනෙකුට මෙවැනි ප්‍රශ්න මතු විය හැකියි. ‘මම කියවන බයිබල් පරිවර්තනයේ තිබෙන්නේ මුල් බයිබලයේ තිබුණ අදහසමද?’ එසේනැත්නම් ‘මුල් අදහස් දැනගැනීමට මම හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂා ඉගෙනගෙන ඒ භාෂාවලින් තිබෙන බයිබලයක් කියවිය යුතුද?’

මේ කාරණා මතක තබාගන්න

ඔබ මතක තබාගත යුතු පළමු කාරණය වන්නේ මුල් හෙබ්‍රෙව් භාෂාව හෝ ග්‍රීක භාෂාව දැන සිටි පමණින් බයිබලයේ තිබෙන දේවල් තේරුම්ගත නොහැකි බවයි. එයට හේතුව කුමක්ද? එය තේරුම්ගැනීමට හෙබ්‍රෙව් භාෂාව හොඳින් දැන සිටි යුදෙව්වන් ගැන යේසුස් පැවසූ මේ දෙය සලකා බලන්න. “ඔබ ශුද්ධ ලියවිල්ල සොයා බලන්නේ ඒවා මාර්ගයෙන් ඔබට සදාකාල ජීවනය ලැබේයයි ඔබ සිතන හෙයිනි. මා ගැන සාක්ෂි දරන්නෙත් ඒවාමය. එහෙත් ජීවනය ලැබෙන පිණිස මා වෙතට එන්න ඔබ කැමති නැත.” (යොහන් 5:39, 40) යුදෙව්වන්ට තමන්ගේම භාෂාවෙන් ලියවී තිබුණු ශුද්ධ ලියවිලි කියවීමට හැකියාව තිබුණා. එසේනම් ඔවුන්ට යේසුස් ගැන සඳහන් වී තිබූ අනාවැකි තේරුම්ගැනීමට බැරි වුණේ ඇයි? ඔවුන්ට හෙබ්‍රෙව් භාෂාව පිළිබඳව අවබෝධයක් නොතිබූ නිසාද? නැහැ. ඔවුන්ට ‘දෙවි කෙරෙහි ප්‍රේමයක්’ නොතිබූ නිසා කියා යේසුස් පැවසුවා.—යොහන් 5:42.

බයිබල් ලේඛකයෙකු වූ පාවුල් පැවසූ මේ දෙයද සලකා බලන්න. “යුදෙව්වරු ලකුණු ඉල්ලති. ග්‍රීකයෝ ප්‍රඥාව සොයති. එහෙත් අප දේශනා කරන්නේ, කණුවක ඇණ ගසනු ලැබූ ක්‍රිස්තුස් ගැනය. මෙය යුදෙව්වරුන්ට බාධාවට හේතුවකි. අන්‍යජාතීන්ට මෝඩකමකි.” (1 කොරින්ති 1:22, 23) හෙබ්‍රෙව් භාෂාව කතා කළ යුදෙව්වන් සහ ග්‍රීක භාෂාව කතා කළ ග්‍රීකයන් තමුන්ගේම භාෂාවලින් යේසුස් පිළිබඳ ශුභාරංචිය ඇසුවත් ඔවුන් එය පිළිගත්තේ නැහැ. මේ සියල්ලෙන් අපට පැහැදිලි වන්නේ කෙනෙක් හෙබ්‍රෙව් හෝ ග්‍රීක භාෂාව දැන සිටි පමණින් ඔහු බයිබලයේ තිබෙන දේවල් තේරුම්ගෙන ඒවා පිළිගනියි කියා අපට සිතිය නොහැකි බවයි.

මතක තබාගත යුතු දෙවෙනි කාරණය නම් බයිබලය ලිවීමට භාවිත කළ මුල් හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂා අතරත් වර්තමානයේ භාවිත වන හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂා අතරත් වෙනස්කම් තිබෙන බවයි. එමනිසා භාෂා දෙකම හොඳින් කතා කරන අයටත් මුල් හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාවේ අදහස් තේරුම්ගැනීම අභියෝගයක් වී තිබෙනවා. ඊට හේතුව පැරණි වචන වෙනුවට අලුත් වචන එකතු වී තිබීම සහ පැරණි වචනවල අර්ථ පවා නවීන දින වෙනස් වී තිබීමයි. ඊට කදිම උදාහරණයක් ක්‍රියා 7:20 සහ හෙබ්‍රෙව් 11:23 යන බයිබල් පදවලින් සොයාගත හැකියි. එම පදවල ළදරු වියේ සිටි මෝසෙස්ව විස්තර කර තිබෙන්නේ “ශෝභන” දරුවෙකු ලෙසයි. ශෝභනයි යන්න විස්තර කිරීමට එදා භාවිත කළ ග්‍රීක වචන අද දිනත් භාවිත වෙනවා. නමුත් අද දින එය භාවිත වෙන්නේ ‘විහිළු’ යන අදහස පැවසීමටයි.

ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වන්නේ ඔබ නවීන දින භාවිත වන හෙබ්‍රෙව් හෝ ග්‍රීක භාෂා ඉගෙනගත්තද බයිබලය ලිවීමට යොදාගත් මුල් භාෂාවේ අදහස් තේරුම්ගැනීම පහසු කටයුත්තක් නොවන බවයි. එමනිසා යම් වචනවලට අතීතයේදී මොන වගේ අර්ථයක් තිබුණාද කියා දැනගැනීමට ශබ්දකෝෂ සහ ව්‍යාකරණ පොත්වල පිහිට පතන්නද ඔබට සිදු විය හැකියි.

තුන්වන කරුණ නම් සම්පූර්ණයෙන්ම අලුත් භාෂාවක් ඉගෙනගැනීම පහසු කාර්යයක් නොවීමයි. ඔබ අලුත් භාෂාවක් ඉගෙනගන්නවා නම් එහි තිබෙන යම් යෙදුම් ඉගෙනගැනීමට සහ තේරුම්ගන්න එතරම් කාලයක් ගත වන එකක් නැහැ. නමුත් භාෂාවක සියුම් අදහස් අවබෝධ කරගැනීමට විශාල උත්සාහයක් සහ කාලයක් අවශ්‍ය වෙනවා. ඇත්තෙන්ම වෙනත් භාෂාවක් පිළිබඳව තිබෙන්නේ සීමිත දැනුමක් නම් යම් අදහස් පවා වරදවා තේරුම්ගැනීමට තිබෙන ඉඩකඩ වැඩියි.

වචනවල අර්ථ තේරුම්ගන්නේ කෙසේද?

සිංහල භාෂාව ඉගෙනගන්නා කෙනෙක් යම් වචනයක අර්ථය ඔබෙන් ඇසුවායැයි සිතන්න. සමහරවිට එම වචනයේ අර්ථය කුමක්ද කියා එක වචනයකින් ඔහුට පැවසීම ඔබට අපහසු විය හැකියි. ඊට හේතුව සමහර වචනවලට විවිධ අර්ථ තිබීමයි. උදාහරණයකට ‘කොට’ යන වචනය සලකා බලන්න. ඇතැම් අවස්ථාවලදී යම් පුද්ගලයෙකුගේ ප්‍රමාණය සඳහන් කරන විට ‘කොට’ යන වචනය භාවිත කළොත් ඉන් අදහස් වෙන්නේ ඔහු ‘මිටි’ බවයි. එමෙන්ම ලී කඳන්වලටත් ‘කොට’ කියා පවසනවා. ඊට අමතරව ‘එසේ කොට’ කියා සඳහන් කළොත් එහි ‘කොට’ යන වචනයෙන් යොමු දැක්වෙන්නේ ‘ක්‍රියාවක්’ කළා යන අදහසටයි. නමුත් ඊට වෙනස්ව ‘කොට උඩ’ කියා පැවසුවොත් එහි ‘කොට’ යන අර්ථය කලින් සඳහන් කළ අර්ථ සියල්ලෙන්ම වෙනස් වී වෙනම අදහසක් ලබා දෙනවා. මින් පැහැදිලි වන්නේ වාක්‍යයක අවට පාඨ සම්බන්ධය අනුව වචනයක අර්ථය වෙනස් වන බවයි. නමුත් අප ඒ වෙනස තේරුම්ගන්නේ කෙසේද?

ඔබ මුල් හෙබ්‍රෙව් භාෂාවෙන් හෝ ග්‍රීක භාෂාවෙන් ලියැවුණ බයිබලයක් කියවනවායැයි සිතන්න. එහිදී ඔබට නුහුරු වචනයක් හමු වෙනවා. එහි අර්ථය දැනගැනීම සඳහා ඔබ ශබ්දකෝෂයක් බැලූ විට ඊට විවිධ අර්ථ තිබෙන බව ඔබට පෙනී යනවා. එසේනම් ඔබ කියවන කොටසට අනුව එම වචනයට ගැළපෙන හරි අර්ථය කුමක්ද කියා ඔබ තීරණය කරන්නේ කෙසේද? ඒ සඳහා ඔබ කියවන කොටසේ අවට පාඨ සම්බන්ධය ගැන ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. සමහරවිට එම වචනය භාවිත කර තිබෙන්නේ ඔබ සිතනවාට වඩා වෙනස්ම අදහසක් ලබා දීමට විය හැකියි. ඔබට එම වචනවල අර්ථය ගැන අවබෝධයක් නොතිබුණොත් ඔබ කියවන ශුද්ධ ලියවිලි කොටසේ තිබෙන සියුම් අදහස් ඔබෙන් ගිලිහී යා හැකියි. එවිට ඔබ මුල් භාෂාවෙන් තිබෙන බයිබලයක් කියෙව්වත් ඉන් නියම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.

වචනයක අර්ථය හඳුනාගැනීම සඳහා අවට පාඨ සම්බන්ධය අවබෝධ කරගැනීමේ වැදගත්කම තේරුම්ගැනීමට හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාවේ භාවිත වන වචන දෙකක් ගැන දැන් අපි සලකා බලමු. ඒවා නම් රුවා (හෙබ්‍රෙව්) සහ නියුමා (ග්‍රීක) යන වචන දෙකයි. සමහර අවස්ථාවලදී “සුළඟ” ගැන සඳහන් කරන විටත් මිනිසුන්ට සහ සතුන්ට තිබෙන ජීව බලය ගැන සඳහන් කරන විටත් යොදාගෙන තිබෙන්නේ එම වචන දෙකයි. (උත්පත්ති 7:22; නික්මයාම 10:13; ගීතාවලිය 104:29; යොහන් 3:8; යාකොබ් 2:26) එමෙන්ම ස්වර්ගයේ සිටින දේවදූතයන්ව විස්තර කිරීමටත් දෙවිගේ බලය ගැන විස්තර කරන විටත් යොදාගෙන තිබෙන්නේද එම වචන දෙකමයි. (උත්පත්ති 1:2; 1 රාජාවලිය 22:21, 22; මතෙව් 8:16; මතෙව් 12:28) එමෙන්ම පුද්ගයෙකු තුළ ඇති වන හැඟීම් විස්තර කිරීමටත් පුද්ගලයන් පිරිසක් තුළ තිබිය හැකි ආකල්ප ගැන විස්තර කිරීමටත් එම වචන දෙකම භාවිත කර තිබෙනවා.—යොෂුවා 2:11; ගලාති 6:18.රුවා සහ නියුමා යන හෙබ්‍රෙව් සහ ග්‍රීක වචන දෙකට ඉහත සඳහන් අර්ථ සියල්ලක්ම ඇතුළත් බව ශබ්දකෝෂවල පෙන්නුම් කළ හැකියි. නමුත් කියවන කොටසට අදාළව හරි අර්ථය කුමක්ද කියා දැනගැනීමට නම් අවට පාඨ සම්බන්ධය තේරුම්ගත යුතුයි. ඔබ මුල් භාෂාවලින් ලියවුණු බයිබලයක් කියෙව්වත් ඔබේම භාෂාවට පරිවර්තනය කර තිබෙන බයිබලයක් කියෙව්වත් කියවන කොටසෙහි නියම අර්ථය කුමක්ද කියා දැනගැනීමට නම් අවට පාඨ සම්බන්ධය තේරුම්ගැනීම අවශ්‍යයි.

පරිවර්තනයක් භාවිත කිරීම වැරදිද?

මුල් හෙබ්‍රෙව් හා ග්‍රීක භාෂාව ඉගෙනගෙන බයිබලය කියවීමට සමහර අය විශාල උත්සාහයක් ගෙන තිබෙනවා. සමහරවිට යම් අදහස් ඔවුන්ට සම්පූර්ණයෙන්ම අවබෝධ නොවුණත් මුල් භාෂාවලින්ම එය කියවීමට ලැබීම ගැන ඔවුන් සතුටු විය හැකියි. නමුත් ඔබ හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාව දන්නේ නැත්නම් ඔබ බයිබල් පරිවර්තනයක් භාවිත කිරීම සුදුසුද? ඔව්. එසේ පැවසීමට හේතු තුනක් සලකා බලන්න.

පළමු හේතුව නම් අලුත් ගිවිසුමේ ලේඛකයන් පවා පරණ ගිවිසුමට අයත් පොත්වල ග්‍රීක පරිවර්තනයන් භාවිත කිරීමයි. ඔවුන් පැරණි ගිවිසුමට අයත් පොත්වලින් යම් උපුටා දැක්වීම් කරන අවස්ථාවලදී ඒවා හෙබ්‍රෙව් භාෂාවෙන් තිබූ ලියවිලිවලින් නොගෙන ග්‍රීක භාෂාවට පරිවර්තනය කරන තිබූ පොත්වලින් උපුටාගත්තා. * (ගීතාවලිය 40:6; හෙබ්‍රෙව් 10:5, 6) ඔවුන් හොඳින් හෙබ්‍රෙව් භාෂාව දැන සිටි නිසා අවශ්‍ය නම් හෙබ්‍රෙව් භාෂාවෙන්ම කළ ලියවිලිවලින් උපුටාගන්න තිබුණා. ඒ වුණත් ඔවුන් එසේ නොකර ග්‍රීක භාෂාවට පරිවර්තනය වී තිබූ ලියවිලිවලින් උපුටා දැක්වූයේ එවකට සිටි මිනිසුන්ට එම ලියවිලි පහසුවෙන් ලබාගෙන කියවිය හැකි වූ නිසයි.—උත්පත්ති 12:3; ගලාති 3:8.

දෙවන හේතුව නම් යේසුස්ගේ ඉගැන්වීම් පවා පරිවර්තනයක් තුළින් බයිබලයට ඇතුළත් කර තිබීමයි. එසේ පවසන්නේ ඇයි? යේසුස් කතා කළේ එවකට භාවිත වූ හෙබ්‍රෙව් භාෂාවෙනුයි. නමුත් ඔහුගේ එම ඉගැන්වීම් සියල්ලම සුවිශේෂ පොත් ලියූ බයිබල් ලේඛකයන් ග්‍රීක භාෂාවට පරිවර්තනය කර සුවිශේෂ පොත්වලට ඇතුළත් කළා. * ඉන් අපට පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි ඔහුගේ පුත්‍රයාගේ වදන් පවා පරිවර්තනයක් තුළින් බයිබලයට ඇතුළත් කිරීමට ඉඩහැරිය බවයි. දෙවි එසේ කිරීමට ඉඩහැරියේ එවකට සිටි බොහෝ අයට ග්‍රීක භාෂාව හොඳින් තේරුම්ගැනීමට හැකි වූ නිසයි. මේ සියලු කාරණාවලින් අපට පැහැදිලි වන්නේ අප බයිබලය කියවන්නේ මොන භාෂාවෙන්ද යන කාරණයට වඩා අප දන්නා භාෂාවකින් එය කියවා එහි සඳහන් උපදෙස් අදාළ කරගැනීම වැදගත් බවයි.

තුන්වන හේතුව නම් බයිබලයේ තිබෙන “ශුභාරංචිය” ලොව පුරා සිටින “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත්” අයත් මිනිසුන්ට දැන්විය යුතු වීමයි. (එළිදරව් 14:6; ලූක් 10:21; 1 කොරින්ති 1:27-29) ඒ අනුව විවිධ භාෂා කතා කරන අයට බයිබලයේ ඇතුළත් ශුභාරංචිය දැනගැනීමට හැකි වන්නේ ඔවුන්ගේම භාෂාවලට බයිබලය පරිවර්තනය කළොත් පමණයි. ඔවුන්ට බයිබලයේ තිබෙන දේවල් දැනගැනීමට මුල් හෙබ්‍රෙව් හෝ ග්‍රීක භාෂාව දැනගන්න අවශ්‍ය නැහැ. සමහර භාෂාවලින් බයිබල් පරිවර්තන කිහිපයක් ලබාගැනීමට හැකියාව තිබෙන නිසා තමන්ට වඩා සුදුසුයි කියා සිතෙන බයිබල් පරිවර්තනයක් තෝරාගැනීමට පාඨකයන්ට අවස්ථාව තිබෙනවා. *

බයිබලයේ තිබෙන සත්‍ය ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගැනීම සඳහා ඔබට කුමක් කළ හැකිද? ඒ සඳහා විවිධ විෂයන් ගැන බයිබලයේ සඳහන් වන තොරතුරු අධ්‍යයනය කිරීම ඉතා ප්‍රයෝජනවත්. උදාහරණයකට ඔබට “විවාහය” නමැති විෂය පිළිබඳව දැනගැනීමට අවශ්‍ය වූවා කියා සිතන්න. එසේනම් ඒ පිළිබඳව බයිබලයේ සඳහන් වන තොරතුරු සලකා බැලීමෙන් ඔබට විවාහය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු දැනගැනීමට හැකි වෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද ඒ ක්‍රමය අනුගමනය කරමින් අන් අයට බයිබලයේ සඳහන් දේවල් කියා දෙනවා. එමනිසා ඔවුන්ව හමු වී ඔවුන් පවත්වන බයිබල් පාඩමක් ආරම්භ කිරීම හොඳ අදහසක් නොවේද! ඔබ කුමන භාෂාවක් කතා කළත් බයිබලයේ සඳහන් දේවල් දැනගැනීමට එය බාධාවක් නොවේ. ඊට හේතුව “සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්” දැකීමට යෙහෝවා දෙවි කැමැත්තෙන් සිටීමයි.—1 තිමෝති 2:4; එළිදරව් 7:9.

[පාදසටහන්වල]

^ 2 ඡේ. බයිබලයේ ඇතැම් කොටස් ඇරමයික භාෂාවෙන්ද ලියැවී තිබෙන බවට සාක්ෂි තිබෙනවා. (එස්රා 4:8; 6:18; 7:12-26; යෙරෙමියා 10:11; දානියෙල් 2:4; 7:28) එම ඇරමයික භාෂාව බයිබලය ලිවීම සඳහා යොදාගත් මුල් හෙබ්‍රෙව් භාෂාවට සමාන භාෂාවක්.

^ 16 ඡේ. යේසුස් සහ ඔහුගේ මුල් අනුගාමිකයගේ කාලයේදී හෙබ්‍රෙව් භාෂාවෙන් ලියවුණු පැරණි ගිවිසුමට අයත් සියලුම පොත් ග්‍රීක භාෂාවට පරිවර්තනය වී තිබුණා. එම පරිවර්තනය හැඳින්වූයේ සෙප්ටුඅජින්ට් ලෙසයි. මෙම පරිවර්තනය වැඩියෙන්ම භාවිත කළේ ග්‍රීක භාෂාව කතා කළ යුදෙව්වන් විසිනුයි. අලුත් ගිවිසුමේ ලේඛකයන් පැරණි ගිවිසුමෙන් උපුටා දැක්වීම් කරන විට ඔවුන් භාවිත කළේ සෙප්ටුඅජින්ට් පරිවර්තනයයි.

^ 17 ඡේ. මතෙව් ඔහුගේ සුවිශේෂ වාර්තාව මුලින්ම ලියනු ලැබුවේ හෙබ්‍රෙව් භාෂාවෙන් බව සමහරුන්ගේ මතයයි. නමුත් මේ වන විට ඉතිරි වී තිබෙන්නේ එහි ග්‍රීක පරිවර්තනය පමණයි. සමහරවිට එය හෙබ්‍රෙව් භාෂාවෙන් ග්‍රීක භාෂාවට පරිවර්තනය කර ඇත්තේ මතෙව් විසින්ම විය හැකියි.

^ 18 ඡේ. හොඳ බයිබල් පරිවර්තනයක් තෝරාගන්නේ කෙසේද කියා දැනගැනීමට 2008 මැයි 1 මුරටැඹ කලාපයේ “නිවැරදි බයිබල් පරිවර්තනයක් තෝරාගන්නා අයුරු” නමැති ලිපිය බලන්න.

[22වන පිටුවේ කොටුව/පින්තූරය]

සෙප්ටුඅජින්ට් පරිවර්තනය

හෙබ්‍රෙව් බසින් ලියවී තිබූ ශුද්ධ ලියවිල්ල ග්‍රීක භාෂාවට පරිවර්තනය කිරීම ඇරඹුණේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදීයි. එය අවසන් වූයේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදීයි. එම පරිවර්තනය නිම කිරීමට වසර සියයකට වඩා ගත වූ නිසා එම කාර්යය අවසන් කිරීමට සිදු වූයේ වෙනත් පිරිසකටයි. ශුද්ධ ලියවිල්ල මුල්ම වතාවට වෙනත් භාෂාවකට පරිවර්තනය වූයේ මේ අවස්ථාවේදීයි. මෙම පරිවර්තනය හඳුන්වන්නේ සෙප්ටුඅජින්ට් ලෙසයි. යේසුස්ගේ කාලයේ සිටි ග්‍රීක භාෂාව කතා කළ යුදෙව්වන් සහ යේසුස්ගේ මුල් අනුගාමිකයන් ග්‍රීක භාෂාවෙන් තිබූ මෙම සෙප්ටුඅජින්ට් පරිවර්තනය බොහෝ සෙයින් භාවිත කළා.

එමෙන්ම පොරොන්දු වී තිබූ ගැලවුම්කරු යේසුස් බව ඔප්පු කිරීමට මෙම සෙප්ටුඅජින්ට් පරිවර්තනය මුල් ක්‍රිස්තියානීන්ට බොහෝ සෙයින් උපකාරවත් වුණා. එදා සිටි ක්‍රිස්තියානීන් මෙම පරිවර්තනය බොහෝ සෙයින් භාවිත කළ නිසා එය හැඳින්වූයේ ක්‍රිස්තියානි පරිවර්තනයක් ලෙසයි. ඒ හේතුව නිසා යුදෙව්වන් සෙප්ටුඅජින්ට් පරිවර්තනය භාවිත කිරීම ටිකෙන් ටික අඩු කළා. ඒ නිසා ශුද්ධ ලියවිල්ලේ වෙනත් ග්‍රීක පරිවර්තන බිහි වෙන්න පටන්ගත්තා. යුදෙව්වෙක් බවට පත් වූ අකිලා දෙවන සියවසේදී එවැනි ග්‍රීක පරිවර්තනයක් එළිදැක්වූවා. එම පරිවර්තනයේ විශේෂ දෙයක් තිබෙන බව එක් බයිබල් විශාරදයෙක් පැවසුවා. එය නම් හෙබ්‍රෙව් අක්ෂරවලින් ලියවුණු යෙහෝවා යන දෙවිගේ නාමයයි.

[හිමිකම් විස්තර]

Israel Antiquities Authority

[23වන පිටුවේ පින්තූර]

වඩා වැදගත් වන්නේ අපට තේරුම්ගත හැකි භාෂාවකින් දෙවිගේ වචනය කියවා එහි මඟ පෙන්වීම් අදාළ කරගැනීමයි