Skip to content

පටුනට යන්න

වියෝ දුකෙන් පෙළෙන්නන්ව සනසන්න

වියෝ දුකෙන් පෙළෙන්නන්ව සනසන්න

වියෝ දුකෙන් පෙළෙන්නන්ව සනසන්න

බෙතානිය නම් නගරයේ විසූ ලාසරුස් බරපතළ ලෙස අසනීප වුණා. එවිට ඔහුගේ සොහොයුරියන් දෙදෙනා වූ මාර්තා සහ මරියා ඔවුන්ගේ කිට්ටු මිතුරෙකු වූ යේසුස් වෙත පණිවිඩකරුවන්ව යවා ඒ බව ඔහුට දැනුම් දුන්නා. ඒ අතරවාරයේදී ලාසරුස් මිය ගියා. “සහෝදරයාගේ වියෝව නිසා මාර්තා සහ මරියාව සැනසීමට” ඔවුන්ගේ මිතුරන් රැසක් පැමිණ සිටියා. (යොහන් 11:19) යේසුස් බෙතානියට පැමිණි විගස ඔවුන් දෙදෙනාව හමු වීමට ගියා. යේසුස් ඔවුන් සමඟ කටයුතු කළ ආකාරය සලකා බැලීමෙන් වියෝ දුකෙන් පෙළෙන අයව සැනසිය හැකි ආකාරය ගැන අපට බොහෝ දේවල් ඉගෙනගත හැකියි.

ඔබේ පැමිණීම ඔවුන්ට ශක්තියක්

යෙරිකෝවේ සිට යොර්දාන් ගඟ හරහා බෙතානියට පැමිණීමට යේසුස්ට දින දෙකක් ගත වුණා. යේසුස් පැමිණි බව ආරංචි වූ විගස මාර්තා ඔහුව මුණගැසීමට ගියා. පසුව මරියාත් යේසුස්ව හමු වීමට ගියා. (යොහන් 10:40-42; 11:6, 17-20, 28, 29) වියෝ දුකෙන් සිටි ඔවුන් දෙදෙනා යේසුස්ගේ පැමිණීමෙන් මහත් දිරිගැන්වීමක් ලැබුවා.

වියෝ දුකෙන් පෙළෙන අයව බැලීමට යෑමෙන් ඔවුන්ව දිරිගන්වන්න අපටත් හැකියි. තම හය හැවිරිදි පුතාව හදිසි අනතුරකින් අහිමි වූ ස්කොට් සහ ලිඩියා පැවසූ දේ සලකා බලන්න. “අපිට ඒ වෙලාවේ අපේ පවුලේ අයගෙත් මිතුරන්ගෙත් උපකාරය අවශ්‍ය වුණා. ඇත්තම කියනවා නම් ඒ අයට මේ සිද්ධිය ආරංචි වුණාම මහ රෑම ඔවුන් රෝහලට ආවා. ඒක අපිට ලොකු හයියක් වුණා. ඒ වෙලාවේ අපිට ඕන වුණේ කවුරු හරි අපිත් එක්ක ඉන්න එක විතරයි.”

ලාසරුස්ගේ මරණය නිසා වැලපෙමින් සිටින අයව දුටු විට ‘යේසුස්ගේ දෑස් කඳුළින් පිරී’ ගිය බව බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 11:33-35, 38) අන් අය ඉදිරියේ එලෙස දුක ප්‍රකාශ කිරීම ලැජ්ජාවක් කියා යේසුස් සිතුවේ නැහැ. වියෝ දුකෙන් සිටින අයගේ වේදනාව සහ තනිකම ඔහු හොඳින් තේරුම්ගත්තා. ඇත්තෙන්ම වියෝ දුකෙන් පෙළෙන අය හඬන විට ඔවුන් සමඟ හැඬීමට අපත් ලැජ්ජා විය යුතු නැහැ. (රෝම 12:15) නමුත් වියෝ දුකෙන් පෙළෙන ඇතැම් අය අන් අය ඉදිරියේ හැඬීමට අකමැති බව අපි මතක තබාගනිමු.

හොඳින් සවන් දෙන්න

මාර්තාව සහ මරියාව සැනසීම සඳහා යම් දේවල් පැවසීමට යේසුස් සූදානමින් එන්න ඇති. නමුත් ඔහු මුලින්ම ඔවුන්ට කතා කරන්න අවස්ථාව දුන්නා. (යොහන් 11:20, 21, 32) පසුව ඔහු මාර්තා සමඟ කතා කරන්න පටන්ගත් විට ඇගෙන් යම් ප්‍රශ්නයක් ඇසූ අතර ඇය පිළිතුරු දෙන විට ඕනෑකමින් සවන් දුන්නා.—යොහන් 11:25-27.

වියෝ දුකෙන් සිටින අයට ඕනෑකමින් සවන් දීමෙන් ඔවුන් කෙරෙහි සැබෑ සැලකිල්ලක් දැක්විය හැකියි. එමෙන්ම ඔවුන් කතා කිරීමට කැමති නම් යම් ප්‍රශ්න ඇසීමෙන් ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න. නමුත් ඔවුන් කතා කිරීමට කැමැත්තක් නොදක්වන අවස්ථාවලදී ඔවුන් සමඟ බලෙන් කතා කිරීම සුදුසු නැහැ.

ඇතැම් අවස්ථාවලදී කිසිවක් කතා නොකර සිටීමටත් තවත් අවස්ථාවලදී එකම දෙය නැවත නැවත කීමටත් ඔවුන් පෙලඹිය හැකියි. සමහරවිට ඔවුන් තමන්ට හැඟෙන දෙය එලෙසින්ම ප්‍රකාශ කිරීමටත් ඉඩ තිබෙනවා. උදාහරණයකට යේසුස්, මාර්තාව සහ මරියාව බැලීමට ගිය විට ඔවුන් දෙදෙනාම ඔහුට පැවසුවේ “ස්වාමීනි, ඔබ මෙහි සිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ” කියායි. (යොහන් 11:21, 32) නමුත් යේසුස් ඔවුන්ව නිවැරදි කිරීමට උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට ඔහු බොහෝ ඉවසිලිවන්තව ඔවුන්ට සවන් දී ඔවුන්ගේ වේදනාව තේරුම්ගත්තා.

වියෝ දුකෙන් පෙළෙන අය සමඟ කතා කරන විට ඔවුන්ව සැනසීමේ අරමුණින් කතා කරන්න. ඔවුන් යම් දේවල් ගැන කතා කිරීමට කැමති නම් ඒ දේවලට හොඳින් සවන් දෙන්න. එවැනි අවස්ථාවලදී ඔවුන් දෙසම බලමින් ඔවුන්ගේ හැඟීම් තේරුම්ගන්න.

කොහොමවුණත් ඔවුන්ගේ හැඟීම් තේරුම්ගැනීම එතරම් පහසු දෙයක් නොවෙයි. කලින් අදහස් දැක්වූ ලිඩියා මෙසේද පැවසුවා. “අපේ අවශ්‍යතාවන් වෙනස් වෙනවා. සමහර අවස්ථාවලදී අපි හොඳටම අඬනවා. ඒ වෙලාවට අපිට ඕනේ අපිත් එක්ක ඉන්න අය අපිව තේරුම්ගන්නවා දකින්නයි. ඇත්තටම අපේ යාළුවන් ඒ දේ කරන්න හුඟක් උත්සාහ කළා.”

යේසුස් ඒ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබුවා. ‘එක් එක් කෙනාගේ සිතේ ඇති වන වේදනාව’ වෙනස් බව ඔහු තේරුම්ගත්තා. (2 ලේකම් 6:29) මාර්තා සහ මරියා සමඟ කතා කළ විට යේසුස් වෙනස් ආකාරයෙන් ප්‍රතිචාරය දැක්වූයේ ඒ නිසයි. මාර්තා ඇයට හැඟෙන ආකාරය ගැන යේසුස්ට ප්‍රකාශ කළා. ඒ නිසා යේසුස් ඇය සමඟ දිගටම කතා කළා. නමුත් මරියා වැලපෙමින් සිටි නිසා යේසුස් ඇය සමඟ දිගින් දිගටම කතා කිරීමට උත්සාහ කළේ නැහැ. (යොහන් 11:20-28, 32-35) ඒ හා සමානව අපිත් වියෝ දුකෙන් සිටින අය සමඟ කතා කරන විට ඔවුන්ට වැඩිපුර කතා කිරීමට ඉඩ සලසා දී ඔවුන්ට සවන් දීමට අපි කැමති බව දැනෙන්න සැලැස්විය යුතුයි. එය ඔවුන්ට විශාල සහනයක් වෙයි.

සුවය ගෙන දෙන වචන

“ඔබ මෙහි සිටියා නම්” කියා මාර්තා සහ මරියා යේසුස්ට පැවසූ විට ඔහු ඒ ගැන අමනාප වුණේ නැහැ. ඒ වෙනුවට “ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි” කියා ඔහු මාර්තාට පැවසුවා. (යොහන් 11:23) එසේ පැවසීමෙන් යේසුස් ඇය තුළ බලාපොරොත්තුවක් ඇති කළා.

අපි පවසන දිරිගන්වනසුලු වචන ස්වල්පයකින් පවා වියෝ දුකෙන් සිටින අය මහත් සහනයක් ලබන බව මතක තබාගන්න. එවැනි වදන් ඔවුන්ට පැවසීමට හෝ යම් කාඩ්පතක ලියා යැවීමට අපට හැකියි. එවැනි ලිපි සහ කාඩ්පත් විටින් විට කියවිය හැකි නිසා දිගු කාලයක් පුරා ඔවුන්ට ඉන් දිරිගැන්වීමක් ලැබිය හැකියි. තම ස්වාමිපුරුෂයා වූ බොබ් මිය ගොස් මාස නවයක් ගත වූ පසුව තමන්ට ලැබී තිබුණු කාඩ්පත් කියෙවූ කැත් ඒ ගැන මෙසේ පැවසුවා. “ඒ කාඩ්පත්වලින් එදාට වඩා ලොකු සහනයක් අද මම ලබනවා.”

එවැනි කාඩ්පතක හෝ ලිපියක ඔබට සටහන් කළ හැක්කේ මොනවාද? මිය ගිය පුද්ගලයා සමඟ ඔබ ලද අද්දැකීමක් හෝ එම පුද්ගලයා තුළ තිබුණු යහපත් ගුණාංග ගැන සඳහන් කළ හැකියි. කැත් තවදුරටත් මෙසේ පැවසුවා. “බොබ් ගැන ලියලා තියෙන හොඳ දේවල් කියවනකොට මම අඬ අඬ හිනා වුණා. එයාගේ විහිළු වැඩ ගැන කියවනකොට අපි දෙන්නා එකට සතුටින් හිටිය හැටි මට මතක් වෙනවා. මට එවලා තියෙන හැම කාඩ්පතකම සඳහන් කරලා තිබුණු බයිබල් පද කියවලා මම ලොකු දිරිගැන්වීමක් ලබනවා.”

උපකාර කිරීමට ඉදිරිපත් වෙන්න

ලාසරුස් මිය ගියත් යේසුස් ඔහුට නැවත ජීවිතය දුන් නිසා ඔහුගේ පවුලේ අය මහත් සහනයක් ලැබුවා. නමුත් අපිට එසේ කිරීමට හැකියාවක් නැහැ. (යොහන් 11:43, 44) ඒ වුණත් කළ හැකි දේවල් තිබෙනවා. ඔවුන් වෙනුවෙන් ආහාර වේලක් පිළියෙල කිරීම, රෙදි සෝදා දීම, දරුවන්ව බලාගැනීම, ඔවුන්ව බැලීමට එන අමුත්තන්ට නවාතැන් ලබා දීම, ගෙදරට අවශ්‍ය දේවල් ගෙන දීම හෝ ඒ සඳහා ප්‍රවාහණ පහසුකම් සැපයීම ඒ අතරින් කිහිපයක් පමණයි. අපි එවැනි උපකාර කරනවා නම් ඔවුන් මහත් සහනයක් අද්දකියි.

ඔවුන්ට තනිවම සිටීමටත් යම් කාලයක් අවශ්‍ය බව අප තේරුම්ගත යුතුයි. ඒ වුණත් ඉඳහිට ගොස් ඔවුන්ව බැලීමට හෝ ඔවුන් සමඟ කතා කිරීමට අමතක කරන්න එපා. වියෝ දුකෙන් සිටින මවක් මෙසේ පැවසුවා. “වියෝ දුකෙන් ඉන්න කෙනෙක් කොතරම් කාලයක් වේදනාවෙන් ඉඳියිද කියලවත් යථා තත්වයට එන්නේ කවදද කියලවත් කියන්න බැහැ.” ඇතැම් අය සහකරුව අහිමි වූ අයව සැනසීම සඳහා ඔවුන්ගේ විවාහ සංවත්සර දිනයේදී හෝ පුද්ගලයා මිය ගිය දිනයේදී ඔවුන් සමඟ කාලය ගත කිරීමට සැලසුම් කරනවා. එවැනි අසීරු දිනවලදී ඔවුන් සමඟ සිටීමෙන් ඔබ ඔවුන් සඳහා වටිනා මිතුරෙක් බවට පත් වෙනවා.—හිතෝපදේශ 17:17.

මිය ගිය අයට නැවත ජීවිතය ලැබෙන බව පැවසීමෙන් යේසුස් වියෝ දුකෙන් සිටි අයව සැනසුවා. “අපේ මිත්‍ර ලාසරුස් නිදාගෙන සිටියි. මම දැන් යන්නේ ඔහුව නින්දෙන් අවදි කරන්නයි” කියා ඔහු තම අනුගාමිකයන්ට පැවසුවේ ඒ නිසයි. (යොහන් 11:11) මිය ගිය අයට නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් තිබෙන බව යේසුස් සහතික කළා. ‘මේ දේ ඔබ විශ්වාස කරනවාද’ කියා යේසුස්, මාර්තාගෙන් ඇසූ විට ඇය පැවසුවේ “ස්වාමීනි, මට එය විශ්වාසයි” කියායි.—යොහන් 11:24-27.

අනාගතයේදී යේසුස් මිය ගොස් සිටින අයට නැවත ජීවිතය ලබා දෙන බව ඔබ විශ්වාස කරනවාද? එසේනම් වියෝ දුකෙන් සිටින අයට එම බලාපොරොත්තුව ගැන පවසන්න. ඔවුන්ට උපකාර කිරීමට ඉදිරිපත් වෙන්න. එවිට ඔබ කතා කරන දේවලින් සහ ක්‍රියා කරන ආකාරයෙන් ඔවුන් මහත් සහනයක් අද්දකියි.—1 යොහන් 3:18.

[9වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

පෙරයාව

යොර්දාන් ගඟ

යෙරිකෝව

බෙතානිය

ලුණු මුහුද

යෙරුසලම

සමාරිය