Skip to content

පටුනට යන්න

ඔහු දෙවිගේ සිත සතුටු කළා

ඔහු දෙවිගේ සිත සතුටු කළා

ඔහු දෙවිගේ සිත සතුටු කළා

දාවිත් ගැන ඔබ අසා තිබෙනවාද? ඔහු යෙහෝවා දෙවිට ළැදිව සිටි කෙනෙක්. එක අවස්ථාවකදී ගොලියත් නම් යෝධයාව ඔහු මරා දැමුවා. තවත් අවස්ථාවකදී සාවුල් රජගෙන් පැමිණි පීඩා නිසා යුදා පාළුකරයට ගොස් සැඟවී සිටියා. බැත්-ෂෙබා නම් ස්ත්‍රිය සමඟ අනාචාරයේ හැසිරීම නිසා ඔහුට බොහෝ ප්‍රශ්නවලට මුහුණ දීමටත් සිදු වුණා. ඔහු රචනා කළ ඇතැම් ගීතිකාද බයිබලයේ සඳහන් වී තිබෙනවා.

දෙවිට සේවය කිරීමේදී ඔහු බොහෝ ආශීර්වාද අද්දැක්කා. විවිධ දුෂ්කරතාවලටත් මුහුණ දුන්නා. නමුත් ඔහු ගැන කතා කිරීමට අප පෙලඹෙන මූලික හේතුව නම් ඔහු ‘යෙහෝවා දෙවිගේ සිත සතුටු’ කළ කෙනෙක් ලෙස බයිබලයේ සඳහන් වීමයි.—1 සාමුවෙල් 13:14.

දාවිත් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ ඔහුගේ යෞවන කාලයේ සිටයි. ඔහු මෙන් දෙවිගේ සිත සතුටු කරන්න ඔබත් කැමතිද? එසේනම් දාවිත්ට එය කිරීමට හැකි වුණේ කෙසේද කියා අපි බලමු.

පවුල් පසුබිම

දාවිත්ගේ පියාගේ නම යෙස්සේ. යෙහෝවා දෙවිට ළැදිව සේවය කළ ඔහු, රූත් සහ බෝවස්ගේ මුනුපුරෙක්. යෙස්සේට පුතුන් අටදෙනෙක්ද දූවරුන් දෙදෙනෙක්ද සිටියා. ඔවුන්ගේ කුඩා කාලයේ සිටම යෙස්සේ, දෙවිගේ ප්‍රතිපත්ති ගැන ඔවුන්ට කියා දුන්නා. දාවිත් රචනා කළ ගීතිකාවක ඔහු තමාව යෙහෝවා දෙවිගේ “දාසියගේ පුත්‍රයා” ලෙස හඳුන්වා තිබෙනවා. (ගීතාවලිය 86:16) ඉන් පැහැදිලි වෙන්නේ දාවිත්ට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට ඔහුගේ මවද බොහෝ සෙයින් උපකාර කර තිබෙන බවයි. බෝවස් සහ රූත් ඇතුළු “පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් සමඟ දෙවි කටයුතු කළ ආකාරය ගැන මුලින්ම දාවිත්ට කියා දුන්නේ ඔහුගේ මවයි” කියා එක් විශාරදයෙක්ද පවසා තිබෙනවා.

දාවිත් එඬේර කොලුවෙක් ලෙස පියාගේ සත්ව රැළ බලාගනිමින් සිටියදී තණබිම්වල දිවා රෑ බොහෝ වේලාවක් තනිව ගත කරන්න ඇති. ඒ කාලය තුළ ඔහු කුමක් කරන්න ඇද්ද කියා සිතා බලන්න.

දාවිත් සහ ඔහුගේ පවුලේ අය ජීවත් වූයේ යුදයේ බෙත්ලෙහෙම් නගරයෙයි. එය කඳුකර ප්‍රදේශයක්. එහි සරු පසක් තිබූ නිසා ධාන්‍ය වර්ග හොඳින් වැඩුණා. ඊට අමතරව ඔලීව සහ මිදි ඇතුළු විවිධ පලතුරුද එහි සරුවට වැඩුණා. වගා නොකළ බිම් බොහෝවිට තණබිම් ලෙස යොදාගත්තා.

එඬේරෙක් ලෙස දාවිත්ට යම් අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. ඇතැම් අවස්ථාවලදී බැටළුවන්ව ආරක්ෂා කරගැනීම සඳහා සිංහයන් හා වලසුන් වැනි සතුන්ව මරා දැමීමට ඔහුට සිදු වුණා. * එවැනි අවස්ථාවලදී ඔහු ඉතා නිර්භීතව ක්‍රියා කළ බව බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමුවෙල් 17:34-36) ගල්පටිවලින් විදීමට ඔහු පුහුණු වූයේ ඒ කාලයේදී විය හැකියි. ගල්පටිවලින් විදීමට ඉතා දක්ෂ සෙනඟක් වූ බෙන්ජමින්වරුන් සිටි ප්‍රදේශයද පිහිටා තිබුණේ දාවිත් විසූ නගරයට ආසන්නවයි. ඔවුන් ගල්පටිවලින් විදින්න කොතරම් දක්ෂද කියනවා නම් “කෙස්ගසක්වත් එහා මෙහා නොවන සේ” ඉලක්කයටම විදින්න ඔවුන්ට හැකියාව තිබුණා. දාවිත්ටත් ඒ දක්ෂතාව තිබුණා.—විනිශ්චයකරුවෝ 20:14-16; 1 සාමුවෙල් 17:49.

කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා

එඬේරුන්ට බොහෝවිට නිස්කලංකව කාලය ගත කරන්න අවස්ථාව ලැබුණා. දාවිත් එවැනි අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගත්තා. දෙවිගේ නිර්මාණ ගැනත් දෙවි ක්‍රියා කරන ආකාරය ගැනත් ගැඹුරින් කල්පනා කිරීමට දාවිත් එම කාලය යොදාගත්තා. පසු කාලයේදී ඔහු රචනා කළ ඇතැම් ගීතිකාවල සඳහන් වෙන්නේ එඬේරෙක්ව සිටි කාලයේදී ඉගෙනගත් දේවල් විය හැකියි. උදාහරණයකට, යෙහෝවා දෙවි “තම දෑතින් නිර්මාණය කළ” ඉර, සඳ සහ තරු ඇතුළු විශ්වයේ තිබෙන වස්තූන් ගැන දාවිත් කල්පනා කළෙත් එළුවන්, බැටළුවන්, ගවයන්, “වනසතුන්” සහ කුරුල්ලන් වැනි සතුන්ව කොතරම් පුදුමාකාර ලෙස දෙවි නිර්මාණය කර තිබෙනවාද කියා කල්පනා කළෙත් ඒ කාලයේදී විය හැකියි.—ගීතාවලිය 8:3-9; 19:1-6.

යෙහෝවා දෙවි තම සේවකයන් ගැන කොතරම් සැලකිල්ලක් දක්වනවාද කියා තේරුම්ගැනීමට එඬේරෙක් ලෙස ලැබූ අද්දැකීම් දාවිත්ට උපකාරවත් වෙන්න ඇති. ඔහු රචනා කළ මෙම ගීතිකාවෙන් එය පැහැදිලි වෙනවා. “යෙහෝවා දෙවි මාගේ එඬේරාය. මට කිසි හිඟයක් නොවන්නේය. ඔහු සරු තණබිම්වල මා සතපවන්නේය. සිසිල් දිය ගලා බසින නිසංසල තැන්වලට මා ගෙන යන්නේය. මම අඳුරු තැනිතලාවක ගමන් කළත් කිසිවකට භය නොවන්නෙමි. මන්ද ඔබ මා සමඟය. ඔබේ කෙවිටද සැරයටියද මට සැනසීමකි.”—ගීතාවලිය 23:1, 2, 4.

දාවිත්ට යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට හැකි වුණෙත් ‘දෙවිගේ සිත සතුටු කිරීමට’ හැකි වුණෙත් ඔහු යෙහෝවා දෙවිගේ නිර්මාණ ගැන සහ දෙවි සමඟ ඔහුට තිබුණු මිත්‍රත්වය ගැන ගැඹුරින් කල්පනා කළ නිසයි. ඔබටත් එසේ කළ හැකිද?

යෙහෝවා දෙවි නිර්මාණ කර තිබෙන දේවල් ගැන කල්පනා කිරීමට හා දෙවිට යාච්ඤා කිරීමට ඔබ කාලය ගන්නවාද? දෙවි මිනිසුන් සමඟ ක්‍රියා කර තිබෙන ආකාරය ගැන කල්පනා කළ විට දෙවි කෙරෙහි ඔබට තිබෙන ප්‍රේමය තවත් වැඩි වුණාද? ඇත්තෙන්ම එවැනි දේවල් ගැන අපට අගයක් ඇති වන්නේ ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීමට කාලය ගන්නවා නම් පමණයි. ඔබ එසේ කළොත් යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගැනීමටත් ඔහුට ප්‍රේම කිරීමටත් ඔබට හැකි වෙයි.

දාවිත්ව රජ ලෙස තෝරාගැනීම

දෙවිගේ සෙනඟව පාලනය කිරීමට සාවුල් රජ අසමත් වූ නිසා යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ පැවසුවා. “ඔබ තව කොපමණ කාලයක් සාවුල් ගැන දුක් වෙවී සිටිනවාද? මම ඔහුව ඊශ්‍රායෙල්හි රජු හැටියට ප්‍රතික්ෂේප කළෙමි. ඒ නිසා දැන් ඔබේ තෙල් බඳුන රැගෙන බෙත්ලෙහෙම්හි ජීවත් වන යෙස්සේ ළඟට යන්න. මන්ද ඔහුගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකුව රජු හැටියට මම තෝරාගත්තෙමි.”—1 සාමුවෙල් 16:1.

බෙත්ලෙහෙමට ගිය විට සාමුවෙල්ට යෙස්සේව සහ ඔහුගේ පුත්‍රයන්ව මුණගැසුණා. නමුත් ඔවුන් අතරින් රජ ලෙස පත් කිරීමට දෙවි තීරණය කර තිබෙන්නේ කාවද කියා සාමුවෙල් හඳුනාගන්නේ කොහොමද? යෙස්සේගේ වැඩිමල් පුත්‍රයා වූ එලියාබ්ට කඩවසම් පෙනුමක් තිබුණු නිසා දෙවි ඔහුව ඒ සඳහා තෝරාගෙන ඇති කියා සාමුවෙල් සිතුවා. නමුත් දෙවි, සාමුවෙල්ට මෙසේ පැවසුවා. “ඔහුගේ පෙනුම දෙසවත් ඔහුගේ උස මහත දෙසවත් නොබලන්න. මා තෝරාගත් තැනැත්තා ඔහු නොවෙයි. දෙවි දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි. මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය. නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.” සාමුවෙල්, ඒ අවස්ථාවේදී යෙස්සේ සමඟ සිටි සියලුම පුතුන්ව තමා ඉදිරියට කැඳෙව්වත් දෙවි ඒ කිසිම කෙනෙක්ව රජ ලෙස තෝරාගෙන නැති බව සාමුවෙල් තේරුම්ගත්තා. ඒ නිසා “ඔබේ පුතුන් සියලුදෙනාම මෙතැන ඉන්නවාද” කියා සාමුවෙල් යෙස්සේගෙන් ඇසුවා. එවිට “බාලම පුතා මෙතැන නැහැ. ඔහු බැටළුවන්ව බලාගන්න ගිහින්” කියා යෙස්සේ පැවසුවා.—1 සාමුවෙල් 16:7, 11.

‘පවුලේ බාලයා වූ දාවිත්ව නම් දෙවි කිසිම දිනක රජ ලෙස තෝරාගන්න එකක් නැහැ’ කියා යෙස්සේ සිතූ බව ඔහු දුන් එම පිළිතුරෙන් පැහැදිලි වෙනවා. නමුත් දෙවි රජ ලෙස තෝරාගත්තේ දාවිත්වයි. කොලුගැටයෙක් වූ දාවිත් තුළ තිබූ යහපත් ගුණාංග දෙවි දකින්න ඇති. සාමුවෙල් සිටි ස්ථානයට දාවිත් පැමිණි විට “ඔහුව අභිෂේක කරන්න. මා තෝරාගත් තැනැත්තා ඔහුයි” කියා දෙවි පැවසුවා. ඒ නිසා ‘සාමුවෙල් තෙල් භාජනය ගෙන, ඔහුගේ සහෝදරයන් ඉදිරියේ ඔහුව අභිෂේක කළා. ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා.’—1 සාමුවෙල් 16:12, 13.

එම සිද්ධිය සිදු වන විට දාවිත් කුමන වයසේ පසු වූවාද කියා බයිබලයේ සඳහන් වී නැහැ. එම සිද්ධිය සිදු වී ටික කාලයකට පසුව දාවිත්ගේ වැඩිමල් සොහොයුරන් තිදෙනෙක් වූ එලියාබ්, අබිනාදාබ් සහ ෂම්මාහ් සාවුල් රජගේ හමුදාවට බැඳී සිටියා. ඒ වන විට දාවිත් ඇතුළු අනිකුත් සොහොයුරන් සතරදෙනාට හමුදාවට බැඳීමට නොහැකි වුණේ ඔවුන් ඒ සඳහා සුදුසු වයසේ නොසිටීම නිසා විය හැකියි. ඒ කාලයේ සාමාන්‍යයෙන් හමුදාවට බඳවාගත්තේ වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි වයස්වල සිටි අයව පමණයි. (ගණන් කතාව 1:3; 1 සාමුවෙල් 17:13) කොහොමවුණත් දෙවි, දාවිත්ව රජ ලෙස තෝරාගත් විට ඔහු සිටියේ යෞවන කාලයේයි. ඒ වන විට දාවිත් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් වර්ධනය කරගෙන තිබුණා. එසේ කිරීමට ඔහුට හැකි වුණේ දෙවි ගැන ඔහු දැන සිටි දේවල් ගැඹුරින් කල්පනා කළ නිසයි.

දාවිත්ගේ එම ආදර්ශය අනුගමනය කිරීමට අද සිටින යෞවනයන්වද දිරිගැන්විය යුතුයි. දෙමාපියෙනි, දෙවි සමඟ තමන්ට තිබෙන මිත්‍රත්වය ගැන කල්පනා කරන්නත් දෙවිගේ නිර්මාණ අගය කරන්නත් බයිබලය අධ්‍යයනය කරන්නත් ඔබ ඔබේ දරුවන්ව දිරිගන්වනවාද? (ද්විතීය කතාව 6:4-9) යෞවනයෙනි, දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට ඔබ වෑයම් කරනවාද? බයිබලය මත පදනම්ව සකසා තිබෙන මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ඔබට ඒ සඳහා උපකාරවත් වේවි. *

වීණා වාදනයට දක්ෂයෙක්

දාවිත් ගැන සලකා බැලූ බයිබල් පදවලින් ඔහු එඬේරෙක් ලෙස ගත කළ ජීවිතය ගැන අපට යම් අවබෝධයක් ලැබුණා. ඒ වගේම ඔහු දක්ෂ ගීත රචකයෙක්. ඔහු තම ගීතිකා සඳහා යොදාගත් සංගීතය ගැන තොරතුරු අප නොදන්නවා වුණත් ඔහු රචනා කළ ගීතිකා අද වන තුරුත් තිබෙනවා. ඔහු සංගීත භාණ්ඩ වාදනය කිරීමටත් දක්ෂයෙක්. සාවුල් රජ දාවිත්ව තම මාලිගයට කැඳෙව්වේ ඔහු දක්ෂ වීණා වාදකයෙකු වූ නිසයි.—1 සාමුවෙල් 16:18-23. *

දාවිත් ඒ දේවල් ඉගෙනගන්න ඇත්තේ කුමන කාලයේදීද? සමහරවිට ඔහු එඬේරෙක් ලෙස ගත කළ කාලයේදී විය හැකියි. ඒ කාලයේදීම දෙවි ඔහුව රජ ලෙස තෝරාගත්තේ ඔහුට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබූ නිසයි.

අප මෙම ලිපියෙන් සලකා බැලුවේ දාවිත් යෞවනයෙක් ලෙස ගත කළ ජීවිතය ගැන පමණයි. නමුත් ඔහුගේ ජීවිතයේ ඉදිරි සිදුවීම් සලකා බලන විටත් පැහැදිලි වෙන්නේ ඔහුට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබුණු බවයි. ඔහු යෙහෝවා දෙවිට ගැයූ මෙම ගීතිකාව සලකා බලන්න. “අතීතය ගැන මම සිහි කළෙමි. ඔබේ සියලු ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කළෙමි. ඔබේ මහත් බලය විදහා ඔබ කළ දේවල් ගැන මහත් ආශාවකින් කල්පනා කළෙමි.” (ගීතාවලිය 143:5) එම ගීතිකාව ඇතුළු ඔහු රචනා කර තිබෙන තවත් බොහොමයක් ගීතිකා දෙවිගේ සිත සතුටු කිරීමට කැමති අයට මහත් දිරිගැන්වීමක්.

[පාදසටහන්වල]

^ 9 ඡේ. ඒ කාලයේ පලස්තීනයේ සිටි සිරියානු දුඹුරු වලහා කිලෝග්‍රෑම් 140ක් පමණ බරයි. එක පහරකින් මිනිසෙකුව හෝ සතෙකුව මරා දැමීමේ හැකියාවද ඌට තිබෙනවා. එම ප්‍රදේශයේ සිංහයන්ද බහුලව සිටියා. බයිබලයේ සඳහන් වෙන්නේ “තරුණ කේශර සිංහයෙක්” සතෙකුව අල්ලාගත් පසු “එඬේරුන් බොහෝදෙනෙකු” එකතු වුණත් එම සතාව සිංහයාගෙන් බේරාගත නොහැකි බවයි.—යෙසායා 31:4.

^ 20 ඡේ. එම සඟරා ප්‍රකාශයට පත් කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසිනුයි.

^ 22 ඡේ. සාවුල් රජට දාවිත් ගැන දැනුම් දුන් සේවකයා මෙසේද පැවසුවා. දාවිත්, “ශක්තිමත් කෙනෙක්. ඒ වගේම ඔහු දක්ෂ කථිකයෙක්. යෙහෝවා දෙවිගේ ආශීර්වාදයත් ඔහුට තියෙනවා.”—1 සාමුවෙල් 16:18.