Skip to content

පටුනට යන්න

දෙවිට ළං වෙන්න

“මම කිසිදා ඔබව අමතක නොකරන්නෙමි”

“මම කිසිදා ඔබව අමතක නොකරන්නෙමි”

යෙහෝවා දෙවි තම සෙනඟ ගැන සැලකිලිමත් වෙනවාද? එසේනම් එය මොන වගේ සැලකිල්ලක්ද? බයිබලයේ සඳහන් තොරතුරුවලින් එම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැකියි. දෙවි තමාට නමස්කාර කරන අය ගැන මොන තරම් සැලකිල්ලක් දක්වනවාද කියා අපට යෙසායා 49:15හි ඇති වදන්වලින් තේරුම්ගත හැකියි.

යෙහෝවා දෙවි පෙන්වන සැලකිල්ල කාවැද්දවීමට මවක් තම කිරිකැටි දරුවාට සලකන ආකාරය උදාහරණයක් ලෙස යොදාගෙන තිබෙනවා. එහි මෙසේ සඳහන් වෙනවා. “මවකට තම කිරි බොන දරුවාව අමතක කළ හැකිද? තම කුසේ දරා මෙලොවට බිහි කළ පුතාට ඇය අනුකම්පා නොකර සිටියිද?” එවැනි දෙයක් නම් විය නොහැකියි කියා ඔබට සිතෙයි. තම බිලිඳාගේ සියලුම අවශ්‍යතා සපුරාලිය යුත්තේ තමන් බව ඇය දන්නවා. ඒ වගේම සැලකිල්ල දැක්විය යුතු අවස්ථා මොනවාද කියාත් ඇය හොඳින් හඳුනනවා.

මවක් තම බිලිඳාගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වී ඒ සියලු අවශ්‍යතා පිරිමසන්නේ ඇයි? එසේ නොකළොත් දරුවා අඬයි යන බිය නිසාද? නැහැ. “තම කුසේ දරා මෙලොවට බිහි කළ පුතාට ඇය අනුකම්පා” කරන නිසයි. (නික්මයාම 33:19; යෙසායා 54:10) මවකට තම බිලිඳා කෙරෙහි ඇති සෙනෙහස මෙතෙකැයි කියා කිව නොහැකියි. නමුත් කනගාටුවට කරුණක් වන්නේ තම කිරිකැටි බිලිඳාව අමතක කර දමන මව්වරුද අප අතර සිටීමයි.

අප ජීවත් වන්නේ ‘ද්‍රෝහිකම් කරන, තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති’ මිනිසුන් සිටින සමාජයකයි. (2 තිමෝති 3:1-5) සමහර මව්වරු තම අලුත උපන් බිලිඳුන්ව අත්හැර දමා ගිය හෝ නොසලකාහැර ඇති අවස්ථා අපට අසන්න ලැබෙනවා. යෙසායා 49:15 ගැන එක් පොතක මෙවැනි දෙයක් සඳහන් වුණා. “මිනිසුන්ට පව්කාරකම උරුම වී තිබෙනවා. සාමාන්‍යයෙන් මවක් තම බිලිඳාට අසීමිත සෙනෙහසක් පෙන්නුවත් එසේ නොකරන මව්වරුද සිටිනවා.”

නමුත් යෙහෝවා දෙවි පවසන්නේ “මම කිසිදා ඔබව අමතක නොකරන්නෙමි” කියායි. ඉන් පැහැදිලි වන්නේ මවක් තම දරුවන්ට පෙන්වන සෙනෙහසට වඩා සෙනෙහසක් යෙහෝවා දෙවි තම සේවකයන්ට පෙන්වන බවයි. ඉහත සඳහන් පොතේ යෙසායා 49:15 ගැන මෙවැනි දෙයක්ද සඳහන් වුණා. “මෙම අවස්ථාව හැරුණු විට දෙවිගේ ප්‍රේමය කොතරම් ප්‍රබලද කියා පෙන්වන තවත් අවස්ථාවක් පරණ ගිවිසුමේ නැහැ.”

“දෙවිගේ අතිමහත් දයානුකම්පාව” අපට ලැබෙනවා කියා දැනගැනීම සහනයක් නොවේද! (ලූක් 1:78) අතිමහත් දයානුකම්පාවක් පෙන්වන යෙහෝවා දෙවිට වඩාත් ළං වෙන්න පුළුවන් කොහොමද කියා සොයා බලන්න ඔබ කැමතිද? එසේ කරනවා නම් ප්‍රේමණීය දෙවි යෙහෝවා ඔබට මෙම සහතිකය ලබා දෙනවා. “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි.”—හෙබ්‍රෙව් 13:5.

පෙබරවාරි මාසයට නියමිත බයිබල් කියවීම

යෙසායා 43 සිට 62 දක්වා