Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

විවාහය දෙකඩ වෙන්න දෙන්න එපා

විවාහය දෙකඩ වෙන්න දෙන්න එපා

ස්ටීව් *: “ජෝඩි මට ද්‍රෝහි වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. මට එයා ගැන තිබුණ විශ්වාසය එහෙම්පිටින්ම නැති වුණා. එයාට සමාව දෙන්න මට ලේසි වුණේ නැහැ.”

ජෝඩි: “ස්ටීව්ට මං ගැන තිබුණ විශ්වාසය නැති වුණේ මං අතින් වුණ වරදක් නිසයි. මම ඒ ගැන ඇත්තටම පසුතැවෙනවා කියලා ඔප්පු කරන්න අවුරුදු ගානක් ගියා.”

දික්කසාද වෙනවාද නැද්ද කියා තීරණය කිරීමට බයිබලයේ දී තිබෙන එකම පදනම අනාචාරයේ හැසිරීම පමණයි. * (මතෙව් 19:9) ඉහත අදහස් දැක්වූ ස්ටීව් තම බිරිඳව දික්කසාද නොකිරීමට තීරණය කළා. කෙසේවෙතත් ජෝඩි අනාචාරයේ හැසිරුණු නිසා ඔවුන් අතර තිබූ විශ්වාසය සම්පුර්ණයෙන්ම පලුදු වී තිබුණා. එය නැවත ගොඩනඟාගැනීමට ඔවුන් දෙදෙනාම ලොකු උත්සාහයක් දැරිය යුතු වුණා. විවාහ ජීවිතය සතුටින් ගෙවීමට නම් එසේ කිරීම අත්‍යවශ්‍යයි.

ඔබ දෙදෙනාගෙන් කෙනෙක් අනාචාරයේ යෙදී ඇත්නම් විවාහය දෙකඩ වීමෙන් වළක්වාගැනීම පහසු නැහැ. විශේෂයෙන්ම එම සිද්ධිය ආරංචි වීමෙන් පසු ගත වන මුල් මාස කිහිපය ඉතා අසීරු කාලයක්. නමුත් ඔබ දෙදෙනා අතර කලින් තිබූ විශ්වාසය නැවත ඇති කරගන්න පුළුවන්. ඒ කොහොමද? බයිබලයේ ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් දී තිබෙනවා. දැන් අපි ඉන් කිහිපයක් බලමු.

1 අවංක වෙන්න.

බොරු කීමෙන්, සම්පූර්ණයෙන් සත්‍යය නොපැවසීමෙන් සහ නිහඬව සිටීමෙන් විශ්වාසය තවත් පලුදු වෙනවා. ඒ නිසා විවෘතව සහ අවංකව එකිනෙකා සමඟ කතා කරන්න. බයිබලයේ ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. ‘ඔබ දැන් සෑම වංචනික ක්‍රියාවක්ම අත්හැර දමා සත්‍යය කතා කළ යුතුයි.’—එෆීස 4:25.

අනාචාරයේ යෙදීම ගැන කතා කිරීම ඔබ දෙදෙනාටම පහසු කාර්යයක් නොවුණත් එය කිරීම ඉතා වැදගත්. සමහරවිට සිදු වූ සෑම දෙයක් ගැනම පැවසීමට ඔබ අදිමදි කරයි. නමුත් එය සුදුසු නැහැ. ඒ ගැන ජෝඩි මෙසේ පැවසුවා. “සිද්ධ වුණ දේ ගැන හැම තොරතුරක්ම කතා කරන එක මට ලේසි වුණේ නැහැ. මට ඕන වුණේ ඒ හැම දෙයක්ම අමතක කරලා දාන්න.” එසේ කිරීමෙන් සිදු වුණේ ප්‍රශ්න තවත් වැඩි වීමයි. “ජෝඩි හැම තොරතුරක්ම කිව්වේ නැති නිසා මට එයා ගැන තවත් සැක හිතුණා” කියා ස්ටීව් පැවසුවා. “හැම දෙයක්ම කතා නොකරපු එකෙන් වුණේ අපි අතර කලින් තිබුණ විශ්වාසය ඇති කරගන්න තවත් කල් ගිය එක විතරයි” කියා ජෝඩි සඳහන් කළා.

අනාචාරයේ හැසිරීම ගැන කතාබහ කරන එක වේදනාකාරී අද්දැකීමක්. තම පුරුෂයා වූ පෝල් ඔහුගේ ලේකම්වරිය සමඟ අනාචාරයේ හැසිරීම ගැන තමන්ට හැඟුණු ආකාරය ඩෙබී මෙසේ විස්තර කරනවා. “මට ගොඩක් ප්‍රශ්න මතු වුණා. ඇයි එහෙම වුණේ? කොහොමද ඒක වුණේ? ඒ දෙන්නා මොනවා ගැන කතා කරන්න ඇද්ද? ඒ දේවල් ගැන හිතන කොට මගේ ඔළුව තවත් අවුල් වුණා.” පෝල් මෙසේ පවසනවා. “සමහර වෙලාවට මම ඩෙබී එක්ක මේ ගැන කතා කරන කොට අපි දෙන්නා බැණගන්නවා. හැබැයි අපි දෙන්නම අන්තිමට සමාව ඉල්ලනවා. අමාරු වුණත් ඇත්ත කතා කරපු නිසා අපි දෙන්නා තවත් එකිනෙකාට ළං වුණා.”

එවැනි සාකච්ඡාවක් සාමකාමීව පවත්වන්න පුළුවන් කොහොමද? සිදු වූ දේ ගැන ඔබ දෙදෙනා කතා කළ යුත්තේ ඔබ අතර තිබෙන බැඳීම තවත් ශක්තිමත් කරගැනීමට මිස ඔහුට හෝ ඇයට දඬුවම් කිරීමට නොවෙයි. චල් සූ සහ ඔහුගේ භාර්යාව වන මී යැංගේ අද්දැකීම බලන්න. චල් සූ අනාචාරයේ යෙදුණා. ඔහු මෙසේ පවසනවා. “මම හැමතිස්සෙම උත්සාහ කළේ මං කැමති දේ කරන්න. මම කිට්ටුවෙන්ම ආශ්‍රය කළේ යාළුවන්ව. ඒ නිසා මගේ බිරිඳ එක්ක මට වැඩි වෙලාවක් ගත කරන්න ලැබුණේ නැහැ.” ගැටලුව අවබෝධ කරගත් පසු යම් වෙනස්කම් කිරීමට ඔවුන්ට හැකි වුණා.

මෙය අත්හදා බලන්න: වැරැද්ද කළේ ඔබ නම් ඒ ගැන නිදහසට කරුණු කියන්නවත් වරද අනික් කෙනා පිට පටවන්නවත් එපා. ඔබ ඒ දේට වග කිව යුතු බවත් ඔබ නිසා අනික් කෙනාට විශාල වේදනාවක් දැනෙන බවත් පිළිගන්න. ඔබ නිර්දෝෂ කෙනා නම් වරද කළ කෙනාට කෑගසන්නවත් අසභ්‍ය වචනවලින් බැණවදින්නවත් එපා. එවිට තමන් අතින් සිදු වූ වරද ගැන විවෘතව කතා කිරීමට වරද කළ කෙනාට හැකි වෙනවා.—එෆීස 4:32.

2 එකමුතුව වැඩ කරන්න.

පලුදු වූ විශ්වාසය නැවත ගොඩනඟාගැනීමේදී එකමුතුව වැඩ කිරීම ඉතා වැදගත්. බයිබලයේ ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය. මන්ද ඔවුන් දෙදෙනා වෙහෙස මහන්සි වී එකට වැඩ කරන විට ඉන් හොඳ ප්‍රතිඵල ලැබේ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා ඔහුව නැඟිටුවයි.”—දේශනාකාරයා 4:9, 10.

විශ්වාසය නැවත ගොඩනඟාගැනීමට ඔබ දෙදෙනාම වෙහෙසිය යුතුයි. විවාහ ජීවිතය සාර්ථක කරගැනීම ඔබ දෙදෙනාගේම වගකීමක්. නමුත් තනි තනිවම ප්‍රශ්නය විසඳාගැනීමට උත්සාහ කරන්න එපා. එසේ කිරීමෙන් තවත් ප්‍රශ්න වැඩි විය හැකියි. ඔබ දෙදෙනාටම එකිනෙකාව අවශ්‍ය බව මතක තබාගන්න.

ස්ටීව් සහ ජෝඩි එකමුතුව වැඩ කළා. ඒ ගැන ජෝඩි මෙසේ පවසනවා. “අපේ ප්‍රශ්නය විසඳගන්න හුඟක් කල් ගියා. හැබැයි අපි එකමුතුව වැඩ කරපු නිසා අපි අතරේ තිබුණ බැඳීම ශක්තිමත් වුණා. ආයේ කවදාවත් ස්ටීව්ට ද්‍රෝහි වෙන්නේ නැහැ කියලා මම හිතාගත්තා. මම කරපු දේ නිසා එයාට ලොකු වේදනාවක් දැනුණත් අපේ විවාහය දෙකඩ වෙන්න එයා ඉඩ දුන්නේ නැහැ. ස්ටීව්ට විශ්වාසවන්තව ඉන්නවා කියලා පෙන්නන්න මට පුළුවන් හැම දෙයක්ම මම කළා. ස්ටීව් මට දිගටම ආදරයෙන් සැලකුවා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.”

මෙය අත්හදා බලන්න: විශ්වාසය නැවත ගොඩනඟාගැනීමට දෙදෙනාම එකතු වී වැඩ කරන්න.

3 නරක පුරුදු අත්හරින්න.

අනාචාරය ගැන තම අනුගාමිකයන්ට අනතුරු ඇඟවීමෙන් පසුව යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබේ දකුණු ඇස නිසා ඔබ වරදක් කිරීමට පෙලඹෙනවා නම් එය උගුලා අහකට විසි කරන්න.” (මතෙව් 5:27-29) අනාචාරයේ යෙදුණේ ඔබ නම් ඊට බලපෑ සිතුවිලි හා ක්‍රියා ඉවත් කරන්න.

ඔබ අනාචාරයේ යෙදුණු කෙනා සමඟ නැවත කිසිම සම්බන්ධයක් පවත්වන්න එපා. * (හිතෝපදේශ 6:32; 1 කොරින්ති 15:33) පෝල් කළ දේ බලන්න. ඔහු තමන් කළ රැකියාවේ කාලසටහන වෙනස් කළා. ඔහුගේ දුරකතන අංකයත් වෙනස් කළා. ඒ වුණත් සමහර අවස්ථාවලදී ඔහුට ඇයව මුණගැසුණා. විවාහ දිවියේ පලුදු වූ විශ්වාසය නැවත ගොඩනඟාගැනීමට අවශ්‍ය වූ නිසා පෝල් වෙනත් රැකියාවක් සොයාගත්තා. පෞද්ගලික දුරකතනයක් භාවිත කරනවා වෙනුවට ඔහු තම බිරිඳගේ දුරකතනය භාවිත කළා. ඔහුගේ බිරිඳ මෙසේ පවසනවා. “ඒ සිද්ධිය වුණේ මීට අවුරුදු හයකට කලින්. හැබැයි අර ගෑනු කෙනා පෝල් එක්ක ආයෙත් කතා කරයිද කියලා දැනටත් මට බයක් දැනෙනවා. ඒත් පෝල් ආයෙත් මට ද්‍රෝහි වෙන එකක් නැහැ කියලා මට හොඳටම විශ්වාසයි.”

වරද සිදු වුණේ ඔබ අතින් නම් ඔබේ යම් පුරුදු නැති කරගැනීමටත් ඔබට සිදු වෙයි. උදාහරණයකට අනවශ්‍ය හැඟීම් ඇති වන ආකාරයෙන් ඔබ අන් අය සමඟ කතා කරනවා නම් හෝ වෙනත් අය සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගැනීම ගැන සිතනවා නම් ඒ දේවල් නතර කළ යුතුයි. ‘පරණ පෞද්ගලිකත්වයත් ඊට ආවේණික වූ ක්‍රියාත් ඉවත් කරන්න’ කියා බයිබලයේද සඳහන් වෙනවා. ඒ නිසා විශ්වාසය නැවත ගොඩනඟාගැනීමට දායක වන යහපත් පුරුදු වර්ධනය කරගන්න. (කොලොස්සි 3:9, 10) ඔබ හැදී වැඩුණු පරිසරය නිසා ආදරය ප්‍රකාශ කිරීමේ පුරුද්දක් ඔබට නැද්ද? එසේ කිරීමට උත්සාහ කිරීමේදී ඔබට ලැජ්ජාවක් දැනුණත් ඔබේ ආදරය දැනෙන්න සලස්වන්න. ස්ටීව් ඒ ගැන මෙසේ පවසනවා. “ජෝඩි මට ආදරෙයි කියලා හැමතිස්සෙම දැනෙන්න සලස්වනවා. ඒ විතරක් නෙමෙයි එයා ඒක මට කියනවා.”

කාලයක් යන තුරු සිදු වන සෑම දෙයක්ම සහකරුට හෝ සහකාරියට පවසන්න. මී යැං මෙසේ පැවසුවා. “දවස පුරා වෙච්ච හැම පුංචි දෙයක්ම චල් සූ මට කිව්වා. එයාට ඕනේ වුණේ එයා දැන් මගෙන් කිසිම දෙයක් හංගන්නේ නැහැ කියලා දැනෙන්න සලස්වන්න.”

මෙය අත්හදා බලන්න: පලුදු වූ විශ්වාසය නැවත ගොඩනඟාගැනීම සඳහා කළ හැකි දේවල් ගැන දෙදෙනාම එකතු වී කතා කරන්න. පසුව ඒ දේවල් කරන්න. දෙදෙනාටම එකතු වී විනෝද විය හැකි දේවල්ද කරන්න.

4 සාධාරණ වෙන්න.

හැම දෙයක්ම ඉක්මනින්ම යථා තත්වයට පත් වෙයි කියා සිතන්න එපා. සමහරවිට ඒ සඳහා අවුරුදු ගණනාවක් ගත වෙයි. බයිබලයේ සඳහන් මෙම උපදෙස මතක තබාගන්න. “දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි.”—හිතෝපදේශ 21:5.

ඔබ නිර්දෝෂ කෙනා නම් අනික් කෙනාට සමාව දෙන්න. මී යැං මෙසේ පැවසුවා. “මුලදී මම හිතුවා ස්වාමිපුරුෂයෙක් වෙන සම්බන්ධයක් පැවැත්වුවත් බිරිඳ එයාට සමාව දෙන්න ඕනේ කියලා. ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි කියලයි මම හිතුවේ. හැබැයි මගේ මහත්තයා ඒ වගේ දෙයක් කළාම තමයි තේරුණේ සමාව දෙන එක කොයි තරම් අමාරුද කියලා.” එවැනි තත්වයකදී සමාව දීමට සහ පලුදු වූ විශ්වාසය යළි ගොඩනඟාගැනීමට කාලයක් ගත වෙනවා.—දේශනාකාරයා 3:1-3.

ගැටලුව සිදු වූ මුල් කාලයේදී ඒ ගැන කිසිම දෙයක් කතා නොකර සිටීම හොඳයි කියා ඔබට සිතෙයි. නමුත් එසේ කිරීමෙන් පලුදු වූ විශ්වාසය යළි ගොඩනඟාගැනීමට හැකි වන්නේ නැහැ. ඒ නිසා සමාව දීමත් සමාව දුන් බව දැනෙන්න සැලැස්වීමත් ඉතා වැදගත්. එවිට වරද කළ තැනැත්තාට තම හැඟීම් අවංකව පැවසීමට අවස්ථාව ලැබෙනවා.

වරද කළ කෙනා ගැන වෛරසහගත සිතුවිලි ඇති කරගන්න එපා. (එෆීස 4:32) යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ක්‍රියා කළ ආකාරයෙන් අපට වටිනා පාඩමක් ඉගෙනගත හැකියි. ඔවුන් දෙවිට අකීකරු වූ විට ඔහුට මහත් වේදනාවක් දැනුණා. එය භාර්යාවක් තම පුරුෂයාව අත්හැර යන විට දැනෙන වේදනාවට සමානයි කියා දෙවි පැවසුවා. (යෙරෙමියා 3:8, 9; 9:2) නමුත් දෙවි ‘ඔවුන් සමඟ සදහටම අමනාපයෙන් සිටියේ නැහැ.’ (යෙරෙමියා 3:12) තමන් කළ වැරදි ගැන ඔවුන් අවංකව පසුතැවිලි වූ විට දෙවි ඔවුන්ට සමාව දුන්නා.

විශ්වාසය යළි ගොඩනඟාගැනීම සඳහා දෙදෙනාම අවශ්‍ය සකස් කිරීම් කර තිබෙනවා නම් එය විවාහ බැඳීම තවත් ශක්තිමත් කරගැනීමට උපකාරයක්. ඊට අමතරව දෙදෙනාටම එකතු වී කළ හැකි වෙනත් දේවල් ගැනත් කල්පනා කරන්න. ඔබ දෙදෙනාගේ බැඳීම මොන තරම් ශක්තිමත්ද කියා විටින් විට සෝදිසි කර බලන්න. නිතරම අනික් කෙනාගේ වැරදි සොයනවා වෙනුවට සමාව දෙමින් එකිනෙකාට ආදරයෙන් සැලකීමට උත්සාහ කරන්න.—ගලාති 6:9.

මෙය අත්හදා බලන්න: ගැටලුව ඇති වීමට කලින් කොතරම් සතුටින් සිටියාද කියා සිතමින් ලත වෙනවා වෙනුවට යළිත් ශක්තිමත් බැඳීමක් ඇති කරගැනීමට උත්සාහ කරන්න.

නැති වූ සතුට යළිත්

විවාහ සැලැස්ම ඇති කළේ යෙහෝවා දෙවියි. (මතෙව් 19:4-6) ඒ නිසා විවාහය සාර්ථක කරගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම් ඔහු දී තිබෙනවා. ඒවා අදාළ කරගැනීමෙන් ප්‍රීතිය අද්දැකිය හැකියි. මෙම ලිපියේ සඳහන් කළ යුවළයන් දෙවි දී තිබෙන ප්‍රතිපත්ති අදාළ කරගත් නිසා ඔවුන් විවාහ දිවිය සතුටින් ගත කරනවා.

ස්ටීව් සහ ජෝඩිගේ විවාහයට තර්ජනයක් ඇති වුණේ මීට වසර 20කට පෙරයි. ඔවුන්ගේ විවාහය සාර්ථක කරගැනීමට හැකි වූ ආකාරය ගැන ස්ටීව් මෙසේ පවසනවා. “සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න පටන්ගත්තට පස්සේ තමයි අපි දෙන්නා අතර තිබුණ බැඳීම තවත් ශක්තිමත් කරගන්න පුළුවන් වුණේ. ඒකෙන් ලැබුණ ප්‍රයෝජන නම් කියලා නිම කරන්න බැහැ.” ජෝඩි මෙසේ පවසවා. “අපි හිටිය අසීරු තත්වයෙන් ගොඩ එන්න පුළුවන් වුණේ දෙවිගේ උපකාරය නිසයි. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්ත නිසා අපි දැන් ඉන්නේ සතුටින්.”

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 5 ඡේ. තවත් තොරතුරු දැනගැනීම සඳහා 1999 මැයි 8 පිබිදෙව් කලාපයේ 6වන පිටුව සහ 1995 නොවැම්බර් 8 පිබිදෙව් කලාපයේ 10 සහ 11 පිටු බලන්න.

^ 17 ඡේ. යම් කාලයක් ගත වන තුරු අනාචාරයේ යෙදුණු කෙනා සමඟ කතා කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට නොහැකි විය හැකියි. නමුත් කතා කළ යුත්තේ අත්‍යවශ්‍ය කාරණා ගැන පමණයි. (උදාහරණයකට රැකියා ස්ථානයේදී) එසේ කිරීමේදී පිරිසක් සිටින තැනක කතා කිරීමට වගබලා ගන්න. එමෙන්ම ඒ ගැන සහකරුට හෝ සහකාරියට පවසන්න අමතක කරන්න එපා.

මේ ගැන හිතන්න

  • විවාහ සහකරු අනාචාරයේ යෙදුණත් දික්කසාද නොවීමට මම තීරණය කළේ ඇයි?

  • විවාහ සහකරු වර්ධනය කරගෙන තිබෙන යහපත් ගතිගුණ මොනවාද?

  • විවාහ වීමට කලින් පුංචි කාරණාවලදීත් මගේ ආදරය දැනෙන්න සැලැස්සුවේ කොහොමද? දැනුත් මට ඒ දේ කරන්න පුළුවන්ද?