Skip to content

පටුනට යන්න

පාඨකයන් අසයි

විශ්වාසය සාක්ෂි මත පදනම් වෙන්න ඕනෙද?

විශ්වාසය සාක්ෂි මත පදනම් වෙන්න ඕනෙද?

සමහර මිනිසුන් ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන්න භයයි. ඒ නිසා ඔවුන් ජීවිතයට මුහුණ දෙන්න යම් දෙයක පිහිට පතනවා. උදාහරණයකට සමහරු මත්පැන්වල පිහිට පතනවා. ප්‍රශ්නවලට මුහුණ දීමට යම් නිර්භීතකමක් මත්පැන්වලින් ලැබෙනවා වෙන්න පුළුවන්. නමුත් දිගුකාලීනව මත්පැන් පානය කිරීමෙන් ජීවිතය අනතුරේ වැටෙනවා. ආගම කියන්නෙත් ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන්න උපකාරවත් වෙන ආධාරකයක් විතරද?

බොහෝදෙනෙක් හිතන්නේ එහෙමයි. ඔවුන් හිතන්නේ දෙවි කෙනෙක්ව විශ්වාස කරන අය ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවාද නැද්ද කියලා සාක්ෂි හොයලා බලන්නේ නැතුව අන්ධ විශ්වාසයකින් ඉන්නවා කියලයි. දෙවි කෙනෙක්ව විශ්වාස කරන අය ජීවත් වෙන්නේ සිහින ලෝකයක කියලත් ඒ අයව ලෙහෙසියෙන්ම රවට්ටන්න පුළුවන් කියලත් ඔවුන් පවසනවා.

කිසිම දෙයක් ගැන හොයලා බලන්නේ නැතුව, කෙනෙක් කියූ පමණින් දෙවි ගැන විශ්වාස කරන්න කියා බයිබලයේ සඳහන් වී නැහැ. ඒ වෙනුවට එහි සඳහන් වෙන්නේ ‘අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරන්නේ අද්දැකීම් අඩු අය’ කියායි. (හිතෝපදේශ 14:15, 18) කිසිම දෙයක් ගැන සොයන්නේ බලන්නේ නැතුව යම් දෙයක් විශ්වාස කිරීම මොන තරම් අනුවණ දෙයක්ද? එය හරියට ඇස් දෙක වහගෙන ප්‍රධාන පාරක් හරහා යෑමට උත්සාහ කරනවා හා සමානයි.

දෙවි ගැන බොරු උගන්වන අයට නොරැවටී සිටීම සඳහා “සෝදිසියෙන් සිටින්න” කියා බයිබලයේ උනන්දු කර තිබෙනවා. (මතෙව් 16:6) බුද්ධිමත් ලෙස සිතා බලා කටයුතු කරනවා නම් අපි බොරු ඉගැන්වීම්වලට රැවටෙන්නේ නැහැ. (රෝම 12:1) සාක්ෂි ගැන හොයලා බලලා අවබෝධයෙන්, බුද්ධිමත් තීරණ ගන්න කියලා බයිබලයේ අපිට දිරිගන්වලා තියෙනවා.

බයිබල් ලේඛකයෙක් වූ පාවුල් ඒ ගැන මොනවද කියලා තියෙන්නේ? දෙවි කෙනෙක් ඉන්න බව නිකම්ම විශ්වාස කරන්නේ නැතුව ඒකට තියෙන සාක්ෂි ගැන හොයලා බලන්න කියලා රෝමවරුන්ට දිරිගැන්වූ ඔහු මෙහෙම කිව්වා. “දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි.” (රෝම 1:20) ඔහු හෙබ්‍රෙව්වරුන්ට ලියූ ලිපියක මෙහෙම සඳහන් කළා. “සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය” (හෙබ්‍රෙව් 3:4) තෙසලෝනිකයේ සිටි ක්‍රිස්තියානීන්ට ඔහු දිරිගැන්නුවේ ‘හැම දෙයක්ම සෝදිසි කරලා බලලා යහපත් දේ හඳුනාගෙන එය තදින් අල්ලාගන්න” කියලයි.—1 තෙසලෝනික 5:21.

ස්ථිර සාක්ෂි මත පදනම් වූ විශ්වාසය අපිට පලිහක් වගේ ආරක්ෂාව සපයනවා

කෙනෙක් දෙවි ගැන විශ්වාස කරන්නේ සාක්ෂි ගැන හොයන්නේ බලන්නේ නැතුව නම් ඒක අන්ධ විශ්වාසයක් වෙනවා. අනික් අය කියන කියන හැම දේම විශ්වාස කරන නිසා අන්තිමේදී දුක් විඳින්න වෙන්නේ ඒ අයටමයි. පාවුල්ගේ කාලයේ හිටිය ඒ වගේ අය ගැන ඔහු මෙහෙම කිව්වා. “දෙවිට සේවය කරන්න ඔවුන්ට මහත් උද්‍යෝගයක් තිබෙන බව මට ස්ථිරව කිව හැකිය. නමුත් එම උද්‍යෝගය නිවැරදි දැනුම මත පදනම් වූ එකක් නොවේ.” (රෝම 10:2) ඒ නිසා ඔහු රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට මේ අවවාදය දුන්නා. “ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න. එසේ කිරීමෙන් දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.” (රෝම 12:2) අපිත් ඒ අවවාදය පිළිපැදීම ඥානවන්තයි කියා ඔබට සිතෙන්නේ නැද්ද? දෙවි ගැන හොඳින් හොයලා බලලා ස්ථිර සාක්ෂි මත දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති කරගන්නවා නම් පලිහක් වගේ ඒක අපිට ආරක්ෂාවක් වෙනවා. එතකොට යක්ෂයා අපිට ගෙනෙන පීඩා පරීක්ෂාවලට සාර්ථකව මුහුණ දෙන්න අපිට පුළුවන් වෙනවා නිසැකයි.—එෆීස 6:16.