Skip to content

පටුනට යන්න

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

“දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය”

“දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය”

තෑග්ගක් ලැබුණම අපි කාටත් ලොකු සතුටක් දැනෙනවා. තෑග්ග දීපු කෙනා අපිට තියෙන ආදරේ නිසයි ඒක දුන්නේ කියලා දැනෙද්දී ඒ සතුට තවත් වැඩි වෙනවා. හැබැයි කෙනෙක් අකමැත්තෙන් නැත්නම් දෙන්න ඕන නිසා තෑග්ගක් දුන්නොත් ඒ ගැන අපිට එච්චර සතුටක් දැනෙන්නේ නැහැ. අපි විතරක් නෙමෙයි එහෙම දෙනවට දෙවි පියාණනුත් කැමති නැහැ. ඒක තේරුම්ගන්න 2 කොරින්ති 9:7 පාවුල් කියපු දේ දැන් අපි බලමු.

යූදා ප්‍රදේශයේ හිටපු දුප්පත් ක්‍රිස්තියානීන්ට උදව් උපකාර කරන්න කියලා කොරින්තියේ හිටපු ක්‍රිස්තියානීන්ව දිරිගන්වමින් පාවුල් මෙහෙම කිව්වා. “කොපමණ ප්‍රමාණයක් දෙනවාද කියා එකිනෙකා තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය. අකමැත්තෙන් හෝ වෙනත් කෙනෙකුගේ බල කිරීම නිසා හෝ දීමෙන් ප්‍රයෝජනයක් නැත. මන්ද දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය.” පාවුල් කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

“තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය” කියලයි පාවුල් කිව්වේ. අනිත් අයගේ අවශ්‍යතාවන් ගැන අවංකව සැලකිලිමත් වෙන කෙනෙක් යමක් දෙන්නේ එයා ඒ දේ කරන්න හිතින්ම තීරණය කරලා තියෙන නිසයි. ග්‍රීක භාෂාවට අනුව “තීරණය කර” කියන යෙදුමෙන් අදහස් වෙන්නේ “හිතලා බලලා යමක් දෙන්න කල් ඇතුව සැලසුම් කිරීමයි” කියලා එක විශාරදයෙක් පැවසුවා. ඒ අනුව යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් අනිත් අයට අවශ්‍ය මොන වගේ උදව් උපකාරද කියන එක ගැන කල්පනා කරන අතර ඒ වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් දේ ගැනත් හිතනවා.—1 යොහන් 3:17.

ඊළඟට පාවුල් කිව්වේ “අකමැත්තෙන් හෝ වෙනත් කෙනෙකුගේ බල කිරීම නිසා හෝ දීමෙන් ප්‍රයෝජනයක් නැත” කියලයි. ග්‍රීක භාෂාවට අනුව ‘අකමැත්තෙන් දෙනවා’ කියන යෙදුමෙන් අදහස් වෙන්නේ දුකෙන් නැත්නම් ශෝකයෙන් යමක් දෙනවා කියන එකයි. එක පොතක සඳහන් වෙන ආකාරයට, අකමැත්තෙන් දෙන කෙනෙක් යමක් දෙන්නේ “තමන්ගේ සල්ලි වියදම් වෙන එක ගැන හරිම දුකෙන්” කියලයි. “බල කිරීම නිසා” කෙනෙක් යමක් දෙන්නේ නොදී බැරි නිසයි නැත්නම් යම් දෙයක් දෙන්න ඕනෙමයි කියලා ලොකු පීඩනයක් දැනෙන නිසයි. ඒ විදිහට අකමැත්තෙන් හරි බල කිරීම නිසා හරි දෙන තෑග්ගක් ගන්න අපි කැමතිද?

“දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය” කියලත් පාවුල් කිව්වා. අපි කාටහරි යම් දෙයක් දෙන්න තීරණය කළා නම් ඒක දෙන්න ඕන සතුටින්. එතකොට තමයි දීමෙන් සතුටක් ලබන්න පුළුවන් වෙන්නේ. (ක්‍රියා 20:35) අපි සතුටු සිතින් දෙද්දී තෑග්ග ලබන කෙනාටත් ඒක පැහැදිලිව පේනවා. එතකොට එයා විතරක් නෙමෙයි අපේ දෙවි පියාණනුත් සතුටු වෙනවා. එක බයිබලයක පාවුල් කියපු දේ පරිවර්තනය කරලා තියෙන්නේ “අන් අයට කැමැත්තෙන් දෙන අයට දෙවියන් ආදරෙයි” කියලයි.—Contemporary English Version.

“අන් අයට කැමැත්තෙන් දෙන අයට දෙවියන් ආදරෙයි”

පාවුල් දෙවිගේ මඟ පෙන්වීමෙන් කියපු දෙයින් අද ඉන්න යේසුස්ගේ අනුගාමිකයන්ට කොච්චර දේවල් ඉගෙනගන්න පුළුවන්ද! අන් අයට උදව් උපකාර කරන්න අපේ කාලය, ශක්තිය යෙදෙව්වත් අපිට තියෙන මුදල් හරි වෙනත් දේවල් හරි දුන්නත් අපි ඒක කැමැත්තෙන් කරමු. එතකොට තමයි අපිට නියම සතුට අද්දකින්න පුළුවන් වෙන්නේ. අපේ දෙවි පියාණනුත් ඒ ගැන කොච්චර සතුටු වෙයිද! මොකද ‘දෙවියන් ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටයි.’

සැප්තැම්බර් මාසයට නියමිත බයිබල් කියවීම

1 කොරින්ති සහ 2 කොරින්ති