Skip to content

පටුනට යන්න

සිරියැක් පෙෂිට්ටා මුල් බයිබල් පරිවර්තනයක්

සිරියැක් පෙෂිට්ටා මුල් බයිබල් පරිවර්තනයක්

1892දී ඇග්නස් ස්මිත් ලුවිස් සහ මාග්‍රට් ඩන්ලොප් ගිබ්සන් යන නිවුන් සහෝදරියන් දෙන්නා ඔටුවන් පිට නැඟී කාන්තාරයක් හරහා දවස් නමයක ගමනක් ඇරඹුවා. ඔවුන් ගියේ ඊජිප්තුවේ සීනයි කන්ද පාමුල තිබුණ සාන්ත කැතරින් පූජකාරාමයටයි. අවුරුදු 49ක් වුණු ඒ දෙන්නා ඒ වගේ දුෂ්කර ගමනක් ගියේ ඇයි? ඒකට උත්තරේ දැනගත්තොත් බයිබලයේ නිවැරදිභාවය තහවුරු කරගෙන විශ්වාසය වැඩි කරගන්න පුළුවන් වෙයි.

ඇග්නස් ස්මිත් ලුවිස් හා සාන්ත කැතරින් පූජකාරාමය

යේසුස් ස්වර්ගයට යන්න කලින් ඔහුගේ ගෝලයන්ට කිව්වා “යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි” දරන්න කියලා. (ක්‍රියා 1:8) කිව්ව විදිහටම ඔවුන් නිර්භීතව සාක්ෂි දැරුවත් යෙරුසලමේදී ඔවුන්ට දරුණු පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කාලයේදිම ස්තේපන්වත් මරා දැම්මා. යේසුස්ගේ ගෝලයන් හුඟදෙනෙක් සිරියාවේ අන්තියෝකියට පලා ගියා. ඒ නගරය තියෙන්නේ යෙරුසලමට කිලෝමීටර් 550ක් උතුරින්.ක්‍රියා 11:19.

අන්තියෝකියේදී ගෝලයන් දිගටම යේසුස් ගැන ශුභාරංචිය දේශනා කළා. යුදෙව් නොවන හුඟදෙනෙක් යේසුස්ගේ අනුගාමිකයන් වුණා. (ක්‍රියා 11:20, 21) අන්තියෝකියේ ජනයා කතා කළේ ග්‍රීක භාෂාව වුණත් අන්තියෝකිය අවට හිටිය අය කතා කළේ සිරියැක් භාෂාවයි.

ශුභාරංචිය සිරියැක් භාෂාවට

දෙවෙනි සියවසේදී සිරියැක් භාෂාව කතා කරපු ක්‍රිස්තියානීන්ගේ ගණන වැඩි වෙන්න පටන්ගත්ත නිසා ඒ භාෂාවට ශුභාරංචිය පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟුණා. පෙනෙන විදිහට ග්‍රීක ලියවිල්ල මුලින්ම පරිවර්තනය කරලා තියෙන්නේ ලතින් භාෂාවෙන් නෙමෙයි සිරියැක් භාෂාවෙනුයි.

ක්‍රිස්තු වර්ෂ 170 විතර වෙද්දී සිරියානු ලේඛකයෙක් වුණ  ටේෂන් (ක්‍රි.ව. 120-173 පමණ) සුවිශේෂ පොත් හතර ග්‍රීක හෝ සිරියැක් භාෂාවට පරිවර්තනය කරලා “දියාටෙසාරොන්” ලියවිල්ල සකස් කළා. “දියාටෙසාරොන්” කියන ග්‍රීක වචනයේ අදහස “සුවිශේෂ පොත් හතරෙන් ගත්” කියන එකයි. පසු කාලයක සිරියානු ජාතික ඉෆ්‍රායිම් (ක්‍රි.ව. 310-373 පමණ) ඒ ලියවිල්ල ගැන සඳහන් කරලා තිබුණ දේකින් තහවුරු වෙන්නේ සිරියානු ක්‍රිස්තියානීන් ඒක බහුලව පාවිච්චි කරලා තිබුණා කියලයි.

“දියාටෙසාරොන්” ලියවිල්ල ගැන දැනගන්න එක වැදගත්ද? 19වෙනි සියවසේ හිටිය විශාරදයන් කිව්වේ සුවිශේෂ පොත් ලියන්න ඇත්තේ දෙවෙනි සියවසේ අගභාගයේදී ඒ කියන්නේ ක්‍රි.ව. 130ත් 170ත් අතර කාලයේදී කියලයි. ඒ නිසා යේසුස්ගේ ජීවිතය ගැන ඒවාවල සඳහන් වාර්තා පිළිගන්න බැහැ කියලා ඔවුන් කිව්වා. කොහොමවුණත් දෙවෙනි සියවස මැදභාගය වෙද්දී “දියාටෙසාරොන්” ලියවිල්ල තිබුණු එකෙන් ඔප්පු වෙන්නේ මතෙව්, මාක්, ලූක් හා යොහන් සුවිශේෂ ලියලා තියෙන්නේ ඊට කලින් කියන එකයි. ඊට අමතරව ශුද්ධ ලියවිල්ලට අයිති නැති වෙනත් ලියවිලි ටේෂන් “දියාටෙසාරොන්” ලියවිල්ලට එකතු කරලා නැහැ. ඒකට හේතුව ඒවා සත්‍යයි කියලා පොදුවේ පිළිගත්තේ නැති නිසයි.

බයිබලයේ මුල් පොත් පහ ඇතුළත් සිරියැක් “පෙෂිට්ටා” ලියවිල්ල කාල වකවානු සඳහන් දෙවෙනි පැරණිතම බයිබල් අත්පිටපත, ක්‍රි.ව. 464දී

5වෙනි සියවස වෙද්දී මෙසපොතේමියාවේ ජනයා සිරියැක් භාෂාවෙන් තිබුණු ශුද්ධ ලියවිල්ලේ පරිවර්තනයක් පාවිච්චි කළා. ඒක පරිවර්තනය කරලා තියෙන්නේ 2වෙනි හෝ 3වෙනි සියවස අතර කාලයෙදියි. බයිබලයේ තියෙන 2 පේතෘස්, 2 හා 3 යොහන්, යූද් සහ එළිදරව් පොත් හැරෙන්න අනිත් පොත් හැම එකක්ම ඒ පරිවර්තනයට ඇතුළත් කරලා තිබුණා. ඒක හැඳින්නුවේ “පෙෂිට්ටා” කියලයි. “පෙෂිට්ටා” කියන සිරියැක් වචනයේ අදහස “සරල” හෝ “පැහැදිලි” කියන එකයි. ඒ ලියවිල්ල මුල්ම කාලයේදී දේවවචනයේ ව්‍යාප්තියට දායක වුණ වැදගත්ම හා පැරණිතම ලියවිලිවලින් එකක්.

“පෙෂිට්ටා” අත්පිටපත සකස් කරපු කාලය ක්‍රි.ව. 459/460 කියලා සඳහන් කරලා තියෙනවා. ඒක කාල වකවානු සඳහන් පැරණිතම බයිබල් අත්පිටපතයි. ක්‍රි.ව. 508 විතර වෙද්දී කලින් එකට ඇතුළත් කරලා නැති පොත් 5 ඇතුළත් කරලා “පෙෂිට්ටා” ලියවිල්ලේ අනුවාදයක් සකස් කළා. ඒක හැඳින්නුවේ “ෆිලෝසෙනියන්” අනුවාදය කියලයි.

තවත් සිරියැක් අත්පිටපත් හොයාගත්තා

19වෙනි සියවස වෙද්දී තිබුණු බොහෝ ග්‍රීක ලියවිලි 5වෙනි සියවසේ හෝ ඊටපස්සේ ලියවුණු ඒවායි. ඒ නිසා මුල්ම කාලයේ ලියවුණු ලතින් “වල්ගේට්” සහ සිරියැක් “පෙෂිට්ටා” වගේ පැරණි පරිවර්තන හොයාගන්න බයිබල් විශාරදයන් උනන්දුවක් දැක්වුවා. ඒ කාලයේදී සමහරු හිතුවේ සිරියැක් භාෂාවෙන් මුලින් තිබුණු අනුවාදයකින් “පෙෂිට්ටා” අනුවාදය සකස් කළා කියලයි. ඒත් ඒ වගේ අනුවාදයක් හම්බ වෙලා තිබුණේ නැහැ. සිරියැක් බයිබලය පරිවර්තනය කළේ දෙවෙනි සියවසේ නිසා ඒ වගේ පැරණි ලියවිල්ලක් හම්බ වුණොත් මුල්ම අවදියේදී බයිබලය ලියලා තිබුණේ කොහොමද කියලා දැනගන්න බයිබල් විශාරදයන්ට ඒක ලොකු උදව්වක් වෙයි. ඒ වගේ ලියවිල්ලක් තිබුණාද?

සයිනයිටික් සිරියැක් ලියවිල්ල. පිටුවේ පැත්තකින් පේන්නේ යටින් ලියලා තිබුණු සුවිශේෂය

ඇත්තෙන්ම ඔව්. සිරියැක් භාෂාවෙන් තිබුණ ඒ වගේ අත්පිටපත් දෙකක්ම හම්බ වුණා. පළවෙනි එක 5වෙනි සියවසේදී සකස් කරපු එකක්. ඒක ලැබුණේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන්. 1842දී ඊජිප්තුවේ පූජකාරාමයකින් සිරියැක් භාෂාවෙන් තිබුණු අත්පිටපත් හුඟක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ගෙනැවිත් තිබුණා. ඒවා අතරේ ඒ අත්පිටපතත් තිබුණා. ඒක හැඳින්නුවේ කුරෙටෝනියානු සිරියැක් කියලයි. ඒකට හේතුව කෞතුකාගාරයේ අත්පිටපත් භාරව හිටිය විලියම් කුරෙටන් ඒක හොයාගත්ත නිසයි. ඒ ලියවිල්ලට මතෙව්, මාක්, යොහන් හා ලූක් යන පිළිවෙළින් පොත් ඇතුළත් කරලා තිබුණා.

අද දක්වා තියෙන අනිත් අත්පිටපත සයිනයිටික් සිරියැක් ලියවිල්ලයි. ඒක හොයාගත්තේ මුලින් සඳහන් කරපු ඇග්නස් කියන කාන්තාවයි. විශ්වවිද්‍යාල උපාධියක් තිබුණේ නැති වුණත් ඇය සිරියැක් භාෂාව ඇතුළු විදේශ භාෂා අටක් දැනගෙන හිටියා. 1892දී ඇග්නස් ඊජිප්තුවේ සාන්ත කැතරින් පූජකාරාමයෙන් වටිනා ලියවිල්ලක් හොයාගත්තා.

 අඳුරු තැනක තිබුණු අල්මාරියකින් හොයාගත්ත ඒ සිරියැක් අත්පිටපත ගැන ඇය කිව්වේ මේ විදිහටයි. සියවස් ගණනාවක් තිස්සේ “පෙරළන්නේ නැතුව තිබිලා ඒකේ කොළ එකට ඇළවිලා ඒක හොඳටම කිලුටු වෙලා.” බැලූ බැල්මට ඒක සාන්තුවරියන් ගැන ලියපු පොතක් වගෙයි. ඒත් හොඳට බැලුවම කලින් ලියලා තිබුණු අකුරු මකලා ඊට උඩින් සාන්තුවරියන් ගැන ලියලා තියෙනවා ඇය දැක්කා. පිටුවල ඉහළින් “මතෙව්,” “මාක්,” “ලූක්” යන වචනත් ඊට පහළින් සිරියැක් භාෂාවෙන් ලියපු අකුරුත් තියෙනවා දැක්කා. ඇත්තටම ඇයට ලැබිලා තිබුණේ සිරියැක් කෝඩෙක්ස් ලියවිල්ලක්. ඒකේ සුවිශේෂ පොත් හතරම වගේ තිබුණා. විශාරදයන් හිතන්නේ ඒක හතරවෙනි සියවසේ අගභාගයේදී ලියලා තිබුණා කියලයි.

කෝඩෙක්ස් සයිනයිටිකස් සහ කෝඩෙක්ස් වැටිකනස් කියන ග්‍රීක අත්පිටපත් තරම්ම සයිනයිටික් සිරියැක් ලියවිල්ල වැදගත් එකක් හැටියට සැලකෙනවා. ඒ වගේම කුරෙටෝනියානු සහ සයිනයිටික් සිරියැක් අත්පිටපත් දෙවෙනි සියවසේ අගභාගයේ හෝ තුන්වෙනි සියවසේ මුල්භාගයේ ලියවුණු සිරියැක් සුවිශේෂවල පිටපත් කියලා පොදුවේ පිළිගන්නවා.

“අපේ දෙවිගේ වචනය සදහටම පවතියි”

ඒ අත්පිටපත් අද ඉන්න බයිබල් ශිෂ්‍යයන්ට ප්‍රයෝජනවත් වෙයිද? ඇත්තෙන්ම ඔව්. උදාහරණයකට සමහර බයිබල්වල මාක් සුවිශේෂයේ 16:8න් පස්සේ දීර්ඝ අවසානයක් තියෙනවා. ඒක ලතින් “වල්ගේට්” හා වෙනත් ලියවිලිවලත්, පස්වෙනි සියවසේ ග්‍රීක ලියවිල්ලක් වූ කෝඩෙක්ස් ඇලෙක්සැන්ඩ්‍රිනස් ලියවිල්ලෙත් තියෙනවා. ඒත් හතරවෙනි සියවසේ ලියවුණු පිළිගත් ලියවිලි වන කෝඩෙක්ස් සයිනයිටිකස් සහ කෝඩෙක්ස් වැටිකනස් කියන ලියවිලි දෙකම අවසන් වෙන්නේ මාක් 16:8න්. දීර්ඝ අවසානයක් ඒ ලියවිලිවල නැහැ. සයිනයිටික් සිරියැක් ලියවිල්ලෙත් ඒ වගේ අවසානයක් නැහැ. ඒකෙන් පේන්නේ දීර්ඝ අවසානය, පස්සේ කාලෙක එකතු කරපු එකක් කියලයි. මුල්ම මාක් සුවිශේෂයේ ඒක තිබිලා නැහැ.

තවත් උදාහරණයක් බලමු. 1 යොහන් 5:7ත්‍රිත්ව ඉගැන්වීමට රුකුල් දෙන අදහසක් 19වෙනි සියවසේ තිබුණ බයිබල් පරිවර්තන වැඩිහරියක ඇතුළත් කරලා තිබුණා. ඒත් මුල්ම ග්‍රීක අත්පිටපත්වල ඒක තිබුණේ නැහැ. “පෙෂිට්ටා” ලියවිල්ලෙත් ඒක දකින්න නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ ඒ කාලයේදී 1 යොහන් 5:7 අදහස වෙනස් කරලා තිබුණා කියලයි.

යෙහෝවා දෙවියන් පොරොන්දු වුණ විදිහට ඔහුගේ වචනය අද දක්වාම ආරක්ෂා වෙලා තියෙනවා. “තණකොළ වියළී යයි. මල පරවී යයි. නමුත් අපේ දෙවිගේ වචනය සදහටම පවතියි.” (යෙසායා 40:8; 1 පේතෘස් 1:25) හැමෝටම බයිබලයේ තියෙන පණිවිඩය නිවැරදිව ලබා දෙන්න “පෙෂිට්ටා” ලියවිල්ල මහඟු කාර්යයක් ඉටු කරලා තියෙනවා.

සිරියැක් භාෂාව ගැන බිඳක්