Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | යේසුස් අපිව මුදවන්නේ මොකකින්ද?

අපිට මිදීමක් ඕන මොකකින්ද?

අපිට මිදීමක් ඕන මොකකින්ද?

“මව්කුසෙන් නික්මෙන මනුෂ්‍යයා ජීවත් වන්නේ ඉතා කෙටි කාලයකටය. එයත් දුක් කම්කටොලුවලින් පිරී ඇත. ඔහු මලක් මෙන් පිපී කඩා දමනු ලබන්නේය. සෙවණැල්ලක් මෙන් නැති වී යන්නේය.”—යෝබ් 14:1, 2.

එදා ඉඳන්ම මිනිසුන්ගේ සිහිනය වෙලා තියෙන්නේ නිරෝගීව තරුණ ශක්තිය ඇතුව හැමදාම ජීවත් වෙන්නයි. ඒත් අපි හැමෝම මරණයට ගොදුරු වෙනවා. අවුරුදු 3,000කට කලින් යෝබ් කියපු ඒ වචන අදටත් සත්‍යයක්.

නොමැරී ජීවත් වෙන්න තියෙන ආශාව අපි හැමෝටම තියෙනවා. බයිබලයේ කියන විදිහට දෙවියන් අපේ හිතේ හැමදාටම ජීවත් වෙන්න ආශාවක් ඇති කරලා තියෙනවා. (දේශනාකාරයා 3:11) ප්‍රේමණීය දෙවි කෙනෙක් කවදාවත් අත් කරගන්න බැරි ආශාවක් අපේ හිත්වල ඇති කරයි කියලා ඔබ හිතනවාද? නැහැ නේද? එහෙමනම් ඔබ හරි. දේවවචනයේ මරණය සතුරෙක්ට සමාන කරලා තියෙනවා. ඒ සතුරාව නැති කරලා දානවා කියලත් පොරොන්දු වෙනවා.—1 කොරින්ති 15:26.

මරණය හතුරෙක් කියන එකට හැමෝම එකඟ වෙනවා. සිහිකල්පනාව තියෙන කවුරුත් මැරෙන්න ආස නැහැ. අනතුරක් වෙයි කියලා දැනෙද්දී ඒක වළක්වගන්න එක්කෝ හැංගෙනවා, නැමෙනවා නැත්තම් දුවනවා. අසනීපවලට ප්‍රතිකාර ගන්නවා. මරණය වළක්වගන්න කරන්න පුළුවන් හැම දේම කරනවා.

කවදා හරි මරණය නැති වෙයි කියලා විශ්වාස කරන්න හේතු තියෙනවාද? ඔව්. අපි හැමෝගෙම නිර්මාතෘ වන යෙහෝවා දෙවියන් කෙටි කාලයක් ජීවත් වෙලා මැරිලා යන විදිහට අපිව නිර්මාණය කළේ නැහැ. ඔහුගේ අරමුණ වුණේ මිනිසුන් පොළොව මත හැමදාම ජීවත් වෙනවා දකින්නයි. ඔහු ඒ අරමුණ අනිවාර්යයෙන්ම ඉටු කරනවා.—යෙසායා 55:11.

දෙවියන් මරණයට නිමාවක් ගේන්නේ කොහොමද? සියවස් ගණනාවක් පුරා මරණය නැති කරන්න මිනිසුන් ගොඩක් උත්සාහ කරලා තියෙනවා. හැබැයි සාර්ථක වෙලා නම් නැහැ. මිනිස්සු තාමත් අත්හදා බැලීම් කරනවා. විද්‍යාඥයන් සමහර රෝග මර්දනය කරන එන්නත් සහ ප්‍රතිකාර හොයාගෙන තියෙනවා. ජීවීන්ගේ ජානමය සැකැස්ම ගැනත් පර්යේෂණය කරනවා. ඒ නිසා ගොඩක් රටවල මිනිස්සු ඉස්සරට වඩා වැඩිපුර කාලයක් ජීවත් වෙනවා. හැබැයි මැරෙන එක නම් වළක්වන්න මිනිසුන්ට බැරි වෙලා තියෙනවා. බයිබලේ කියන විදිහට “සියල්ලෝ දූවිල්ලටම හැරී යන්නෝය.”—දේශනාකාරයා 3:20.

ඒත් මරණයට විසඳුමක් මිනිසුන් ගෙනෙයි කියලා බලාගෙන ඉන්න ඕන නැහැ. මොකද යෙහෝවා දෙවියන් දැනටමත් අපිව මරණයෙන් ගලවගන්න සැලසුම් යොදලයි තියෙන්නේ. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න යේසුස් ක්‍රිස්තුස් ප්‍රධාන කාර්යයක් ඉටු කරනවා.