Skip to content

පටුනට යන්න

සෝදිසියෙන් ඉන්න!

ලොවම කම්පා කරවන වෙඩි තැබීම් - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ලොවම කම්පා කරවන වෙඩි තැබීම් - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 2022 ජූලි මාසේදී ලොව පුරාම සිද්ධ වුණ සිත් කලඹන වෙඩි තැබීම් ගැන ආරංචි අහන්න ලැබුණා.

  •   “අවිආයුධ සම්බන්ධයෙන් දැඩි නීති පනවලා තියෙන, අපරාධ අඩුවෙන් සිද්ධ වෙන රටක් විදිහට සැලකෙන ජපානයේ ප්‍රසිද්ධම දේශපාලඥයා වන හිටපු අගමැති ෂින්සෝ අබේගේ ඝාතනය මුළු ලොවම කලඹවයි!”—2022 ජූලි 10, The Japan Times.

  •   “ඩෙන්මාර්කයේ කෝපන්හේගන්වල වෙළඳ සංකීර්ණයක සිද්ධ කළ වෙඩි තැබීමකින් තුන්දෙනෙක් මරුමුවට!”—2022 ජූලි 4, Reuters.

  •   “දකුණු අප්‍රිකාවේ සොවේටෝ නගරයේ බාර් එකකදී 15දෙනෙක්ව වෙඩි තබා ඝාතනය කරයි.”—2022 ජූලි 10, The Guardian.

  •   “ජූලි 4වෙනිදා ඒ කියන්නේ ඇමරිකාවේ නිදහස් දවසේදී 220කටත් වඩා වැඩිදෙනෙක් වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත් වෙයි.”—2022 ජූලි 5, CBS News.

 මේ වගේ අපරාධ කවදා හරි නැති වෙයිද? ඒ ගැන බයිබලේ කියන්නේ මොකක්ද?

අපරාධවලට නිමාවක්!

 බයිබලේ කියනවා අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” කියලා. මේ කාලේ ඉන්න මිනිස්සු අමානුෂික විදිහට වැඩ කරන, හිතක් පපුවක් නැති, දරුණු අය කියලත් ඒකේ කියලා තියෙනවා. (2 තිමෝති 3:1, 3) ඒ නිසා හුඟක් අය අද ජීවත් වෙන්නේ පණ ගැහිගැහී. (ලූක් 21:11) හැබැයි බයිබලේ කියනවා ළඟදීම මේ අපරාධ නැති වෙන දවසක් එනවා කියලා. එදාට මිනිස්සු ‘තම නිවහන්වල සාමකාමීව, කිසි බියක් සැකක් නැතුව සුවසේ ජීවත් වෙනවා.’ (යෙසායා 32:18) ඒත් අපරාධ නැති වෙන්නේ කොහොමද?

 දෙවියන් දුෂ්ටකම සහ අවිආයුධ නැත්තටම නැති කරනවා.

  •   “දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය.”—හිතෝපදේශ 2:22.

  •   ‘දෙවියන් පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්වා දමන්නේය. දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමන්නේය. යුධ රථ ගිනිබත් කරන්නේය.’—ගීතාවලිය 46:9.

 දෙවියන් සාමයට යන මඟ උගන්නලා සැහැසියාවට මුල් වෙන හේතු මුලිනුපුටලා දානවා.

  •   “මගේ ශුද්ධ කන්දේ කොතැනකදීවත් කිසිවෙක් හානියක් වන අයුරින් කටයුතු කරන්නේවත් විනාශයක් සිදු කරන්නේවත් නැත. මන්ද ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.”—යෙසායා 11:9.

  •   දැනුත් දෙවියන් ලෝකේ පුරාම ඉන්න ඔහුගේ සෙනඟට සැහැසියාවෙන්, අවිආයුධවලින් ඈත් වෙලා “කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්න” කියලා දෙනවා.—මීකා 4:3.

 කිසිම බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කාලයක් ගැන බයිබලේ තවත් විස්තර තියෙනවා. ඒ ගැන දැනගන්න “බියෙන් තොර ලොවක්—සිහිනයක්ද?” කියන ලිපිය බලන්න.

 සැහැසියාව සම්පූර්ණෙන්ම නැති වෙන විදිහ ගැන තවත් තොරතුරු දැනගන්න “සැබෑ සාමයක්! ලොව පුරා” කියන ලිපිය බලන්න.