Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | සැමියාට සහ බිරිඳට

නුරුස්සන ගතියෙත් හොඳ පැත්ත දකින්න

නුරුස්සන ගතියෙත් හොඳ පැත්ත දකින්න
  •   ඔයා ප්ලෑන් ගහලා වැඩ කරන කෙනෙක් නෙවෙයි. හැබැයි එයාට ඉතින් වැඩක් පටන්ගන්න කලින් හැම දේම තිතට තියෙන්න ඕනේ.

  •   ඔයා පාඩුවේ ඉන්න කැමති, නිහඬ චරිතයක්. හැබැයි එයා කැමති පාටි දාලා ජොලියේ ඉන්න.

 අපි කා ළඟත් අනිත් අයට රුස්සන්නේ නැති, අල්ලන්නේ නැති ගතිගුණ තියෙනවා. ඔයාට අල්ලන්නේ නැති ඒ වගේ දෙයක් ඔයාගේ සැමියාට හරි බිරිඳට හරි තියෙනවාද? හැබැයි ඒ ගැන ඕනෑවට වැඩිය හිතන්න ගියොත් ඒක පවුල් ජීවිතේට බලපාන්න පුළුවන්. බයිබලෙත් මෙහෙම කියනවා. “වරදක් ගැන හැම තැනම කතා කරන්නා කිට්ටු මිත්‍රයන්ව වෙන් කරයි.” (හිතෝපදේශ 17:9) ඒ කියන්නේ අඩුපාඩුවක් ආයේ ආයේ මතු කරනකොට ඒකෙන් ලොකු හානියක් වෙනවා කියන එකයි.

 ඔයා ආස නැති, ඔයාට දිරවන්නේ නැති ගුණාංගයක් නිසා ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඒක පවුලට ප්‍රයෝජනයක් වෙන පැත්තට හරවගන්න ඉගෙනගන්න. ඔයා ඒ ගැන හිතලා තිබුණාද?

අපි මේ ලිපියෙන් බලන්නේ මේ ගැනයි

 රුස්සන්නේ නැති ගුණාංගයක හොඳ පැත්ත දකින්න

 සමහරවිට ඔයාට දිරවන්නේ නැති ඒ ගුණාංගය සැමියාගේ නැත්නම් බිරිඳගේ ඔයා ආසම ගුණාංගයත් එක්ක ගෑවිලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ ගැන මේ තුන්දෙනා කියන දේ බලන්න.

 “මගේ මහත්තයා වැඩක් කෙරුවත් ගමනක් යන්න ලෑස්ති වෙන්න ගියත් ගාටනවා. හැම දේම කරන්නේ හිමීට. වෙලාවකට මට එපා වෙනවා. හැබැයි ඉතින් ඒ ගතියම තමයි මාත් එක්කත් කාත් එක්කත් ඉවසන්න එයාට උදව් වෙන්නේ. මගේ හිත ඇදිලා ගියෙත් ඒ ගුණාංගෙටම තමයි.”—චෙල්සි.

 “අපේ එක් කෙනාට හැම දෙයක්ම අකුරට ප්ලෑන් කරන්න ඕනේ. එහෙම කරගත්තේ නැත්නම් එයාට පිස්සු වගේ. ඒ ගැන හිතද්දී මට පිස්සු වගේ. හැබැයි හැම පුංචි දෙයක්ම ගාණට සැලසුම් කරගත්තාම ආයේ ඉතිං මුකුත් අතපහු වෙන්නේ නං නෑ. අන්න ඒකට මං කැමතියි.”—ක්‍රිස්ටොෆර්.

 “සමහර වෙලාවට මගේ මහත්තයාට ලෝකේ පෙරළුණත් ගාණක් නෑ, එයාට නෙවෙයි වගේ ඉන්නවා. ඒ වගේ වෙලාවට මට මාර කේන්තියක් එන්නේ. එහෙම කිව්වාට ඉතිං එයාගේ ඒ කලබලයක් නැති ගතිය නිසාම තමයි මගේ හිතේ දොර එයාට ඇරුණේ. පීඩනයක් එද්දී සන්සුන් විදිහට ඒකට මූණ දෙන්න එයාට හොඳට පුළුවන්. ඒක මට ගොඩක් වටිනවා.”—ඩැනියෙල්.

 සැමියාගේ නැත්නම් බිරිඳගේ රුස්සන්නේ නැති පැත්තයි, හිත ඇදිලා යන පැත්තයි එකම ගතිගුණේක දෙපැත්තක් කියලා ඒ තුන්දෙනා තේරුම්ගත්තා. ඒක හරියට එකම කාසියක දෙපැත්ත වගේ. ඉතින් අපිට පුළුවන්ද ආස පැත්ත තියාගෙන ආස නැති පැත්ත අයින් කරලා දාන්න? ඒක හරි යන්නේ නැහැ නේද?

 හැබැයි සමහර ගතිගුණවල නම් හොඳ පැත්තක් තියෙනවා කියලා කියන්න බැහැ. උදාහරණෙකට බයිබලේ කියනවා සමහර අය “කෝපාවිෂ්ට” වෙලා වැඩ කරනවා කියලා. (හිතෝපදේශ 29:22) ඒ වගේ අය “දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා” වගේ දේවල්වලින් ඈත් වෙන්න හුඟක් උත්සාහ කරන්න ඕනේ. aඑෆීස 4:31.

 හැබැයි ඔයාට තියෙන ප්‍රශ්නේ අනිත් කෙනාගේ ගති රුස්සන්නේ නැති එක නම් බයිබලේ දීලා තියෙන මේ උපදෙස අදාළ කරගන්න. “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න.”—කොලොස්සි 3:13.

 ඊට අමතරව ඔයාට අල්ලන්නේ නැති ඒ ගතියේ ඔයා අගය කරන පැත්ත දකින්න උත්සාහ කරන්න. සමහරවිට මුලින්ම ඔයාගේ හිත එයාට ඇදිලා යන්න ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති. සැමියෙක් වන ජෝසෆ් මෙහෙම කියනවා. “ඔයාට රුස්සන්නේ නැති ගුණාංගයක් දිහාම බලන් ඉන්න එක හරියට දියමන්තියක ලස්සන බලන්නේ නැතුව ඒකේ තියෙන තියුණු දාර දිහා බලන් ඉන්නවා වගේ දෙයක්.”

 දෙන්නා එක්ක කතා කරන්න පුළුවන් දේවල්

 මුලින්ම ඔය දෙන්නාටම පුළුවන් මේ ප්‍රශ්න ගැන වෙන වෙනම හිතන්න. ඊටපස්සේ දෙන්නා එකතු වෙලා ඔයාලගේ උත්තර ගැන කතා කරන්න.

  •   විවාහ ජීවිතේ ප්‍රශ්න ඇති කරන ගතිගුණයක් ඔයාගේ සැමියාට හරි බිරිඳට හරි තියෙනවාද? තියෙනවා නම් ඒ මොකක්ද?

  •   ඒක ගොඩක් බරපතළ එකක්ද? නැත්නම් ඔයාට රුස්සන්නේ නැති එකක් විතරද?

  •   ඒ ගතියේ හොඳ පැත්තක් තියෙනවාද? තියෙනවා නම් ඒ මොකක්ද? ඒ හොඳ පැත්තට ඇයි ඔයා ඒ තරම් කැමති?