Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

හිත රිද්දන්නේ නැතුව කතා කරන්නේ කොහොමද?

හිත රිද්දන්නේ නැතුව කතා කරන්නේ කොහොමද?

ප්‍රශ්නය

එකඟ නොවීමක් ඇති වෙන හැම අවස්ථාවක්ම කෙළවර වෙන්නේ දෙන්නාට දෙන්නා දිගට හරහට බැණගෙන. හිත රිදෙන විදිහට කතා කරන එක දැන් ජීවිතේ සාමාන්‍ය දෙයක් වෙලා.

ඔය දෙන්නා අතරෙ තියෙන්නෙත් ඒ වගේ තත්වයක්ද? එහෙම නම් ඒක වෙනස් කරගන්න පුළුවන්. මුලින්ම ඇයි එහෙම වෙන්නෙ කියලා අපි හොයලා බලමු. කතා කරන විදිහ වෙනස් කරගැනීමෙන් සිදු වෙන යහපත ගැනත් බලමු.

ඇයි එහෙම වෙන්නේ?

පවුල් පසුබිම. හුඟක් අය හැදිලා වැඩිලා තියෙන්නේ හිත රිදෙන විදිහට කතා කරන පවුල් පසුබිමක. සැමියා හෝ බිරිඳ එහෙමත් නැත්නම් දෙන්නම ආවෙ ඒ වගේ පවුල්වලින් නම් ඒ දෙන්නගේ පවුල් ජීවිතේදිත් ඒ විදිහටම කතා කරන්න ඉඩ තියෙනවා.

විනෝදෙට කරන දේවල්. හිත පෑරෙන විදිහට කතා කරන එක චිත්‍රපටිවල, නාට්‍යවල පෙන්නන්නෙ ‘විහිළුවක්’ විදිහට. ඒවා බලන අයට හිතෙන්නෙත් ‘ඒක විහිළුවක් විතරයි. හානියක් නෑ’ කියලයි.

සංස්කෘතිය. සමහර සංස්කෘතිවල කියන්නෙ ‘නියම මිනිහෙක්’ නම් අනිත් අයව පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනෙ, ගෑණියෙක් නම් කට ගහලා හරි තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී ඉන්න ඕනෙ කියලයි. ඒ වගේ හිතන කෙනෙක් රණ්ඩුවක් වුණාම බිරිඳව හෝ සැමියාව දකින්නෙ හතුරෙක් විදිහට, තමන්ගේ කෙනෙක් විදිහට නෙමෙයි. කතා කරන්නෙ හිත පෑරෙන විදිහට, සැනසෙන විදිහට නෙමෙයි.

හේතුව මොකක් වුණත් හිත රිදෙන කතා දික්කසාදය දක්වා දුර දිග යන්න පුළුවන්. හුඟක් ලෙඩ රෝගවලටත් හේතු වෙන්න පුළුවන්. සමහරු කියන්නේ මිට මොළවලා ගහන පාරකට වඩා කියන කියුම් දරුණුයි කියලයි. එක කාන්තාවක් සැමියා ගැන කියන දේ බලන්න. “එයාගෙන් ගුටි කනවාට වඩා අමාරු වුණේ එයා කියන දේවල් අහං ඉන්න එක. ඊට වඩා හොඳයි ගැහුවනං කියලා මට හිතුණා.”

හිත පෑරෙන කතා නිසා විවාහ බැම්ම දැනටමත් දෙදරලා නම් . . .

මොනවද කරන්න පුළුවන්?

තේරුම්ගන්න. ඔයා කියන දේ ඔයාගේ බිරිඳට හෝ සැමියට දැනෙන්නෙ කොහොමද කියලා හිතලා බලන්න. එහෙම කරන්න නම් එයාගේ තත්වෙට බහින්න වෙනවා. ඔයා කියපු දෙයක් හින්දා බිරිඳගේ හෝ සැමියගේ හිත පෑරුණු අවස්ථාවක් ගැන හිතන්න. එදා ඔයා කියපු දේ හරිද වැරදිද කියලා ඔප්පු කරන්න හදනවා වෙනුවට එයාට ඒක දැණුනේ කොහොමද කියලා ටිකක් හිතන්න. සමහරවිට කියපු දේ හරි වුණත් ඒක ආදරෙන් කියන්න පුළුවන්කමක් තිබුණද? බයිබලයෙත් කියන්නේ “මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි. නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි” කියලයි.—හිතෝපදේශ 15:1.

සැමියට හෝ බිරිඳට ගරු කරන අයගෙන් ඉගෙනගන්න. ඔයා හිත රිදෙන විදිහට කතා කරන්නෙ හැදී වැඩුණු පරිසරය නිසා නම් එකිනෙකාට ආදරෙන් හා ගෞරවෙන් කතා කරන යුවළයන්ව ආශ්‍රය කරන්න.—ෆිලිප්පි 3:17 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

මුලදි බැන්ද ආදරේ මතක් කරගන්න. කටින් පිටවෙන්නෙ හිතේ තියෙන දේවල්. හිත රිදෙන කතාවලට හේතුවත් ඒකයි. ඒ නිසා අනිත් කෙනාගේ හොඳ පැත්ත හිතලා ඒ දේවල්වලින් හිත පුරවගන්න. උදාහරණෙකට ඉස්සර එකට එකතු වෙලා කරපු දේවල්, විනෝදෙට කරපු දේවල් මතක් කරගන්න. පරණ ෆොටෝ බලන්න. ඔයාගේ හිත ඇදිලා ගියේ එයාගේ මොන ගුණාංගවලටද කියලා ආයෙත් හිතන්න.—ලූක් 6:45 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

දැණුනු විදිහ කියන්න. මොකක් හරි ප්‍රශ්නයක් වුණාම “ඔයා කවද්ද මගෙන් අහලා දෙයක් කෙරුවේ” වගේ හිත රිදෙන දෙයක් කියලා අනික් කෙනාට වරද පටවනවා වෙනුවට ඒ ගැන ඔයාට දැණුනු විදිහ කියන්න. උදාහරණෙකට “මගෙන් අහන්නැතුව සමහර දේවල් කරද්දී මට හිතෙන්නේ ඔයා මාව ගණන් ගන්නෑ කියලා” වගේ දෙයක් කිව්වොත් ප්‍රශ්නෙ දුර දිග ගෙනියන්නැතුව සාමකාමීව විසඳගන්න පුළුවන් වෙයි.—කොලොස්සි 4:6 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

දිග්ගස්සගන්න එපා. කතාව දුර දිග යනවා කියලා හිතෙනවා නම් හොඳම දේ තමයි කතාව නතර කරලා එතනින් ඉවත් වෙන එක. වෙන වෙලාවක ඒ ගැන නිවාඩු පාඩුවේ කතා කරන්න.—හිතෝපදේශ 17:14 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

කටින් පිටවෙන්නෙ හිතේ තියෙන දේවල්. හිත රිදෙන කතාවලට හේතුවත් ඒකයි