Skip to content

ආදාහනය කිරීම ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

ආදාහනය කිරීම ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ආදාහනය කරන එක හරිද වැරදිද කියලා බයිබලයේ නිශ්චිතවම සඳහන් වෙන්නේ නැහැ. මළ සිරුරක් ආදාහනය කරන එක ගැනවත් භූමදානය කරන එක ගැනවත් බයිබලයේ කිසිම ආඥාවක් සඳහන් වෙන්නේ නැහැ.

 දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් එයාලගේ නෑදෑයන් මිය ගියාම ඒ මළ සිරුරු සොහොන් බිමක තැන්පත් කරපු අවස්ථා ගැන බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණෙකට සාරා මිය ගියාට පස්සේ එයාගේ මළ සිරුර තැන්පත් කරන්න සොහොන් බිමක් වෙන් කරගන්න ආබ්‍රහම් හුඟක් මහන්සි වුණා.—උත්පත්ති 23:2-20; 49:29-32.

 දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්, මිය ගිය අයගේ සිරුරුවල කොටස් ගින්නෙන් පුළුස්සා දැමූ අවස්ථා ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණෙකට ඊශ්‍රායෙලය පාලනය කරපු සාවුල් රජ සහ එයාගේ පුතාලා තුන්දෙනෙක් යුද්දෙකදී මිය ගියාම ඒ මළ සිරුරු තිබුණේ සතුරන්ට අයිති ප්‍රදේශයේ. සතුරන් ඒවාට අගෞරව වෙන දේවල් කළා. ඒ ගැන ආරංචි වුණ නිර්භීත ඊශ්‍රායෙල් ජාතිකයන් ඒ මළ සිරුරු අරගෙන ගිහින් ගින්නෙන් පිච්චුවා. ඉතුරු වුණ කොටස් භූමදානය කළා. (1 සාමුවෙල් 31:8-13) එහෙම කරන එක බයිබලයට පටහැනි දෙයක් නෙමෙයි කියලා ඒ සිද්ධියෙන් පැහැදිලියි.—2 සාමුවෙල් 2:4-6.

ආදාහනය කිරීම ගැන තියෙන වැරදි මත

 වැරදි මතය: ආදාහනය කරන එකෙන් මළ සිරුරට අගෞරවයක් සිද්ධ වෙනවා.

 ඇත්ත මේකයි: බයිබලයේ කියන්නේ මිනිසා මිය ගියාම ‘දූවිල්ලටම හැරී යනවා’ කියලයි. ඇත්තටම මළ සිරුරක් දිරාපත් වෙද්දී සිද්ධ වෙන්නේ ඒ දේ තමයි. (උත්පත්ති 3:19) ආදාහනය කළාම මළ සිරුරක් අළු බවට පත් වෙන නිසා ඉක්මනින්ම දූවිල්ලට එකතු වෙනවා.

  වැරදි මතය: අතීතයේදි ගින්නෙන් පිච්චුවේ දෙවියන්ගේ අනුමැතිය අහිමි වුණ අය විතරයි.

 ඇත්ත මේකයි: ආකාන් සහ එයාගේ පවුලේ අය වගේ දෙවියන්ට අකීකරු වුණ සමහරුන්ගේ මළ සිරුරු ගින්නෙන් පිච්චුවා. (යොෂුවා 7:25) ඒත් එහෙම කරන්න ඕනෙ කියලා නීතියක් තිබුණේ නැහැ. (ද්විතීය කතාව 21:22, 23) අපි කලින් බලපු විදිහට සාවුල් රජගේ පුතෙක් වුණ යොනාතාන් වගේ දෙවියන්ට විශ්වාසවන්තව හිටපු අයගේ මළ සිරුරුත් පිච්චුවා.

 වැරදි මතය: ආදාහනය කරපු කෙනෙක්ව නැවත නැඟිටුවන්න දෙවියන්ට බැහැ.

 ඇත්ත මේකයි: මිය ගිය කෙනෙක්ව ආදාහනය කළත්, භූමදානය කළත්, එයා මුහුදේ ගිලිලා මැරුණත්, කැලේදී දරුණු සතෙකුට ගොදුරු වෙලා මැරුණත්, වෙන මොකක් වෙලා මැරුණත් එයාට ආයෙත් ජීවිතය දෙන්න දෙවියන්ට පුළුවන්. (එළිදරව් 20:13) ඒ කෙනාට අලුත් ශරීරයක් නිර්මාණය කරන එක සියළු බලැති දෙවිට එච්චර ලොකු දෙයක් නෙමෙයි.—1 කොරින්ති 15:35, 38.